Colombo Today Local News

තිරුපති යනු දන්ත ධාතුන් වහන්සේ වැඩ විසූ විහාරය බිඳ ගොඩනැංවූ කෝවිලයි. දඹදිවට එල්ලවූ ඉස්ලාම් ආක්‍රමණ නිසා බුදුසසුන අතුරුදන් විය.

දඹදිව රාජ්‍යයන් වෙත එල්ල වූ ඉස්ලාම් ආක්‍රමණ නිසා උතුරු ඉන්දියාවෙන් බුදුසසුන අතුරුදන් වූයේය. දකුණේ හින්දු පාලකයෝ හින්දු ආගම ආරක්ෂා කළහ. විජයනගර් අධිරාජ්‍යයේ සාමන්ත රජවරුන් වශයෙන් කටයුතු කළ නායක්කර් පාලකයන් හින්දු ආගමේ යහපතට කළ සේවය නිදසුනකි. මුහුදෙන් එපිට සිංහල රටෙහි පවා හින්දු ආගම පැතිරවීමට ඔවුහු සමත් වූහ. මේ කාලයේ හින්දුන්ගේ ‘රාමායන’, ‘මහාභාරත’ කතා ලංකාවේ පැතිරෙන්නට වූ හැටි, සිංහල සාහිත්‍ය කෘතිවලින් පැහැදිලි වේ.

පෘතුගීසින් මෙන්ම ඉන්දියාවේ නායක්කර් පාලකයන්ගේ වැඩපිළිවෙළ ද, ජයවර්ධනපුර රාජධානියේ විනාශයට හේතු වූයේය. උඩරට රාජ්‍යයේ නායක්කර් නායකයන් දෙවිවරුන් පිදීමට දකුණු ඉන්දියාවේ කෝවිල්වලට පැමිණි බව සඳහන් තොරතුරු දෙමළ පොතපතේ ඇත. වර්තමානයේත් ඒ ක්‍රියාව සිදු වේ. ඇතැම් දේශපාලනඥයෝ ඔවුන්ගේ පැවැත්ම සඳහා පූජා පැවැත්වීමට වසරක් පාසා ‘තිරුපති’ කෝවිලට යති. තිරුපති නමින් ප්‍රසිද්ධ වී ඇත්තේ කාලිංග රටේ දන්ත ධාතුන් වහන්සේ වැඩ විසූ විහාරය බිඳ ඒ මත ගොඩනැංවූ හින්දු කෝවිලකි. ආචාර්ය කේ. ජමන්දාස්ගේ ‘තිරුපති පැරණි බෞද්ධ විහාරයකි’Tirupati Balagi was a Buddhist Shrine ග්‍රන්ථය එය පැහැදිලි කෙරෙන අගනා ගවේෂණ වාර්තාවකි.

ආචාර්ය ජමන්දාස් පෙන්වා දෙන්නේ, හින්දු කෝවිලේ ශිව ලිංගය අශෝක කුලුනක් කඩා සකස් කරන ලද්දක් බවයි. කාලිංග රටේ දේශපාලන අර්බුදයක් ඇතිවූ අවස්ථාවේ හේමමාලි කුමරිය සහ දන්ත කුමරා දන්ත ධාතුන් වහන්සේ රැගෙන ලංකාවට පලා ආ විස්තරය ලංකාවේ වංශකතාවන්හි සඳහන් පුවතකි.

සීතාවක රාජසිංහගේ ප්‍රධාන උපදේශක අරිට්ඨ කීවේංඩු ශිවාගමික පූජකයෙකි. රජු බැරැන්ඩියා කෝවිල සාදා පූජාකර ඇත්තේ ඔහුටයි. කන්ද උඩරට සිංහල රජවරුන් දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් ගෙන්වීම නායක්කර් පාලකයන්ගේ දේශපාලන වැඩපිළිවෙළක කොටසකි. එය අවසාන වූයේ සිංහල සිංහාසනය නායක්කර් කුමරකුට උරුම වීමෙනි. බ්‍රිතාන්‍යයන්ට උඩරට සිංහාසනය අත්පත් කරගන්නට හැකිවූයේ නායක්කර් රජකු රට පාලනය කරමින් කළ විපත් නිසාය.

ඉස්ලාමික සුල්තාන්වරුන් පාලනය කළ උතුරේ, හින්දු ආගම ගොඩ නැගූ ශංකරාචාර්යතුමා, අවිහිංසාවාදය උපක්‍රමයක් වශයෙන් භාවිත කළේය. අවිහිංසාව බුදුදහමේ පදනමයි. බිලි පූජා පැවැත්වූ බ්‍රාහ්මණ දහම අවිහිංසාවාදී ආගමක් නොවේ. ‘කාලි, හරක් පූජාවලට කෑදර දේවතාවියකි. නේපාලයේ කාලි දේවාලයන්හි සෑම වසරකම කාලි වෙනුවෙන් මී හරකුන් දහස් ගණනකගේ බෙලි කැපීම සිදුවේ. උත්සව සමය අවසන් වන දිනයේ මුන්නේශ්වරමේ කාලි කෝවිලට එන ඕනෑම පුද්ගලයකුට කාලි කෝවිලේ සත්ව අවිහිංසාව දැක ගැනීමට පුළුවන. කාන්තාව පුරුෂයාගේ වහලියක කිරීම ද හිංසනයකි. ඉන්දියාවේ දාදු කෙළි පිරිමින් පරාජයේ කෙළවර තමන්ගේ භාර්යාවන් ඔට්ටු ඇල්ලූ පුවත් බ්‍රාහ්මණ සාහිත්‍යයේ තිබේ.

ගාන්ධි දේශපාලන බලය ලබා ගැනීම පිණිස අවිහිංසාවාදය උපායක් කරගත් හැටි රාජනීස් භගවාන් පැහැදිලි කරයි. ඔහු පවසන්නේ, අම්බෙඩ්කාර් තම ස්ථානය ගාන්ධිට දී දේශපාලනයෙන් ඉවත් වීමට හේතුව ගාන්ධිගේ අවිහිංසාවාදය බවයි. ගාන්ධි අවිහිංසාවාදය ප්‍රකාශ කිරීමට කෑම බීම නවතා උපවාස කළේය. එවැන්නක් නිසා පැල්පත්වල ජීවත්වූ හරිජනයන් අති විශාල පිරිසක් හින්දුන් අතින් එක රාත්‍රියකදී ඝාතනයවීම වැළැක්වීමට අම්බෙඩ්කාර්ට සිදුවූ බව ඔහු පැහැදිලි කරයි.

ශංකාරාචාර්ය, ඉස්ලාමිකයන්ගේ කනෙන් රිංගා හින්දුන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළේය. එහි ප්‍රධාන අංගය විෂ්ණු හා ශිව දෙවියන්ගේ ගුණ ගායනා කරමින් ඇවිදින සංස්කෘත කවි පරපුරක් බිහි කිරීමයි. මොවුන් දකුණේ ‘කිර්තනය’ කළ හින්දුන්ට වෙනස් පිරිසකි. කිර්තනයේ යෙදෙන්නන් කළේ, ශිව හෝ විෂ්ණු දෙවියකුගේ නම මතුරමින් මංමාවත්වල නැටීමයි. මොවුහු ඇතැම් විට නට නටා සෙනඟ රැගෙන දකුණේ බෞද්ධ විහාරස්ථානවලට කඩා වැදුණහ. එවිට ඒවායේ විසූ භික්ෂුන් වහන්සේට හින්දු ආගම හෝ ජීවිතය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවිය.

උතුරේ කවියන් හැඳිනුම් ලබන්නේ ‘භක්ති කවියන්’ වශයෙනි. ‘හරිදාස්’ නිදසුනකි. ඔහු ඉන්දියාවේ විසූ කීර්තිමත් භක්ති කවියෙකි. ජීවිත කාලයම අන්ධ යාචකයෙක් වූයේය. එවැන්නකු දෙවියන් ගැන කවි ගායනා කරමින් සිඟමන් යැදීම ඉස්ලාම් ආගමිකයන්ට ගැටලුවක් නොවීය.

‘සුරසාගර්’, හරිදාස් ගායනා කළ පද්‍ය අඩංගු ඉතා උසස් සංස්කෘත කවි සංග්‍රහයකි. එහි අඩංගු කවි, හරිදාස් වැනි අන්ධ යාචකයකු ප්‍රබන්ධය කළේය යි සිතීම හින්දු බැතිමතකුට ගැටලුවක් නොවිය හැකිය. බැතිමතකු නොවන්නකුට වැටහෙන්නේ, ‘සුරදාස්’ බ්‍රාහ්මණයන් ප්‍රබන්ධය කළ කවි කළ බවයි.

කෑගල්ලේ බණ්ඩාර වෙද මහතා කියන ආකාරයට ‘කොරෝනා පැණිය’, ‘කාලි අම්මා’ ඔහුට දුන් බෙහෙතකි. කාලි අදහන්නෝ මෙවැනි කතා කියති. මුන්නේශ්වරමේ කතාවකට අනුව කාලි දේවාලය තුළට රිංගූ කපුරාලගේ සිඟිති දුව, කාලි අම්මා සමග හුරතල් වෙමින් සිටියාය. දුව එළියට එවන්නැයි කපුරාල කාලිට කන්නලව් කරන්නට ගත්තේය. කෝපවූ කාලි, දේවාලයේ දොර ඇර සිඟිති දැරියගේ ශරීරයෙන් පළුවක් කපුරාල ළඟට විසිකර දොර වසා ගත්තාය. අනුරාධපුරයේ සිරි මහා බෝ සමිඳුන් කාලි අම්මාගේ වාසභවනක් නොවේ. පැණිය හැදූ වෙදමහතා උඩමළුවට යන්නට සැරසීම බෞද්ධයන්ට ගැටලුවකි.

මීට කලකට පමණ පෙර කොළඹ සහ ප්‍රධාන නගර කිහිපයකම බස් රථවලට ගොඩවී කවි ගායනා කරන අන්ධ යාචකයෝ සුලභ වූහ. ඒ කිසිවකු බෞද්ධ සංවිධානයකින් යෙදූ ධර්ම ප්‍රචාරකයන් නොවේ. නමුත් යාචකයෝ බුදු දහමේ දානය, ශීලය වැනි උතුම් ක්‍රියා ගැන සඳහන් කවි ගායනා කරමින් සිඟමන් ඉල්ලූහ.

“දීමෙන් හොඳ දීම දුගියට දන්දීම
යාමෙන් හොඳ යාම නිර්වානෙට යාම
අපත් මේ දුකට පත්වුණි පවින් පෙර
විපත් දුකක් පත් නොවෙවා මතු සසර”

නන්දසේන රතනපාල සමාජ විද්‍යා මයිස්ටර්වරයෙකි. ඔහු, තමා යාචකයකු සේ වෙස් මාරු කරගෙන යාචකයන්ගේ තොරතුරු සොයන්නට ගිය බව සඳහන් කරමින් පොත පත ලියා තිබේ. ඒවායේ යාචකයන්ගේ කාම ජීවිතය ගැනද තොරතුරු ඇත. නමුත් යාචකයන් කවි ගායනා කරමින් බෞද්ධයන්ගේ දානය ශීලය ගැන කීම ඔහුගේ අවධානයට ලක් වී නැත.

යුරෝපීන්ගේ සමාජ විද්‍යාව මිනිසුන්ගේ ජීවන තොරතුරු සෙවීමට භාවිත කෙරුණු හොඳ උපක්‍රමයකි. ලංකාවේ බොහෝමයක් සමාජ විද්‍යා මයිස්ටර්වරුන් සිංහල බෞද්ධයන්ට පහර ගසන්නේ, ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් සෙවූ බලපත්‍ර ඇති පර්‌යේෂකයන් පරිද්දෙනි.

‘අශ්වඝෝෂ’ කවියා ගැන ලියවුණ පොත පත තිබේ. මේ මහාචාර්ය සෙනරත් පරණවිතාන, ‘සිංහල බෞද්ධයා’ පත්‍රයට, ‘බෞද්ධ මහා කවි අශ්වඝෝෂයෝ’ නමින් සැපයූ ලිපියේ ඡේදයකි.

“බෞද්ධ කාව්‍ය පමණක් නොව ධර්ම ග්‍රන්ථයන් ද ලියූ බුද්ධ ධර්මය ලෝකයෙහි පැතිරීමට උපකාරි වූ මොහු බෝධිසත්වවරයෙකැ යි ද ලෝකය ආලෝක කළ සූර්යයන් සතර දෙනාගෙන් එක් කෙනෙකැ යි ද මහායානිකයෝ සලකත්. ලෝකයේ සිටින බෞද්ධයන් අතුරෙන් වැඩි දෙනෙකුගේ ආදර ගෞරවයට මේතාක් ම භාජනය වෙන හෙයින් සියලු බෞද්ධයන් විසින් ද සංස්කෘත මහා කවීන් අතුරෙන් උසස් ස්ථානයක් ගිණිය හැක්කෙකු හෙයින් සංස්කෘත කාව්‍ය රසිකයන් විසින් ද අශ්වඝෝෂයන් ගැන දැනුමක් ඇතුව සිටීම ප්‍රයෝජනවත් වේ”.

නේපාලය, සිකීම්, ටිබෙටය හා චීනය ආදී රටවල ආරක්ෂා වන බෞද්ධ පොත පතින් පැහැදිලි වන්නේ අශ්වඝෝෂයන් බුදුදහම මහජනයාට ඉගැන්වීමට දෘශ්‍ය කාව්‍යය (නාට්‍යය) යොදාගත් බවයි. මේ ක්‍රියාව දඹදිව කිසිම රටක පෙර නොවූ අලුත් දෙයකි. බ්‍රාහ්මණ ආචාර්යවරුන්ගේ අදහස වූයේ නාට්‍යයේ පරමාර්ථය ප්‍රේක්ෂකයන්ට ආනන්දය ලබාදීම බවයි.

දඹදිව, චීනය සහ අපරාගෝයානය එක් කළ පුරුෂ පුරය වෙත පැමිණි නොයෙකුත් ජනයාට ධර්ම ඥානය ලබාදීම අශ්වඝෝෂයන්ගේ නාට්‍යය සහ කාව්‍යය මගින් සිදුවිය. එතුමාගේ දර්ශනය බෞද්ධ ලෝකයේම පැතිර ගියේය. ඊට කොතරම් සාක්ෂ්‍ය ඇතත් බුදුදහම නාට්‍ය ශාස්ත්‍රයට කළ සේවය ගැන සඳහන් නොකිරීම ඇතැම් මයිස්ටර්වරුන්ගේ සිරිතකි. බ්‍රෙෂ්ට්ගේ ‘හුනුවටයේ කතාව’ ගැන විචාර ලියන්නෝ, බෞද්ධ නාට්‍යකරුවන් මෙම ජාතක කතාව මුල්කොට නාට්‍ය නිපදවූ බව සඳහන් නොකරති. ථෙරවාදී බුද්ධාගම නිසා ලංකාවේ නාට්‍ය කලාවක් බිහිනොවූ බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පැවසුවේය. මාර්ටින් වික්‍රමසිංහ, ‘සාහිත්‍ය විචාර සංග්‍රහ’ ලියමින්, සංස්කෘත බෞද්ධයන්ට අකැප බ්‍රාහ්මණයන්ගේ භාෂාවක් බව කීවේය. ඔහු හැම විටම මවා පෙන්වූයේ සංස්කෘත බ්‍රාහ්මණයන්ගේ භාෂාවක් බවයි.

ගීතය, නාට්‍යය, වාදනය, සංගීතය, කාව්‍යය ආදි විවිධ නම්වලින් හැඳුනුම් ලබන කලාවේ හැම කොටසක්ම දෙවියන්ගෙන් මිනිසුන්ට ලැබුණ බව හින්දු ආචාර්යවරුන්ගේ අදහසයි. යුරෝපීන්ට මෙවැනි මතයක් දැරීමට නොහැකි වූයේ ආබ්‍රහමික ආගමේ සඳහන් මැවුම්කාර දෙවියන් කලාව නොරිස්සූවකු බැවිනි. ඇතැම් යාඥා කල්ලිවල සාමාජික කාන්තාවෝ ශරීර ආභරණ නොපලඳිති. කතෝලිකයන් කලාවට සමීප වන්නේ මිසදිටු සංස්කෘතීන් ගොදුරු කරගැනීමෙනි. ඔවුන් පෙර සිතූ ලෙසට ග්‍රීක හා රෝම සංස්කෘතීන් දෙකම මිසදිටු (පැගන්) ඒවාය. ඒ සංස්කෘතීන් දෙකේම පදනම යට, බෞද්ධ උරුමයක් තිබූ බව තේරුම් ගැනීමට බෞද්ධයන්ට පුළුවන් විය යුතුය.

කොලට් සේනානායක නාරද කරුණාතිලක

Related posts

ශ්‍රී ලංකන් වෙත වතුර කෝප්ප ඩුබායි සමාගමකින් මිලට ගැනීම අත්හිටුවයි…. දේශීය සමාගම්වලට ප්‍රමුඛ තැන !

colombotoday

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

Admin

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

colombotoday

රජයේ එන්නත් කරණවැඩපිළිවෙලෙන් විපක්ෂය දේශපාලනය කරයි. – අවශ්‍යතාවය මුලින්ම කිවේ සජිත් යැයි මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කරති.

colombotoday

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

colombotoday

අගමැතිතුමා කියන්නේ මෝඩ කතාවක් – විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

colombotoday