Colombo Today Local News

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

කොළඹ ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගින් පිරිසක් බලන්ගොඩ සමනල වැව කෝවිඩ් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙනයමින් සිටියේ බලන්ගොඩ කල්තොට මාර්ගය හරහාය. ඒ මොහොතේ බලන්ගොඩ ජාතික පාසල අසල දී එහි සිටි කෝවිඩි ආසාදිත කාන්තාවක් එකවරම බස් රථයෙන් පිටතට බුලත් කෙළ ගසා තිබුණාය. ඒ බුලත් කෙළ පහර වැදී තිබුණේ බස් රථය අසලින් ගමන් කරමින් සිටි යතුරු පැදි රියැදුරෙකුගේ ඇඟටයි. ඒ සමග ඔහු පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ සිද්ධිය පවසා තිබුණි. ඒ දැනුම් දීමත් සමග ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සිදු විය.

එවන් සිදුවීම් කීපයක්ම පසුගිය දින කිහිපයේදීම ලංකාවේ නොයෙක් තැන්වලින් අසන්නටත් දකින්නටත් ලැබුණි. ඒවා අතර අටළුගම ප්‍රදේශයේදී ආසාදිතයකු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසීමේ සිදුවීමක් වාර්තා වුයේය. මේ සිදුවීමේ උණුසුම යාමටත් මත්තෙන් අටළුගමින් තවත් එවැනිම ආකාරයේ සිදුවීමක් අසන්නට ලැබුණි. ඒ අටළුගම ප්‍රදේශයේ සිටින ‘කෝවිඩ් 19’ වයිරසය ආසාදනය වුවන් බස් රථවලින් අදාළ ස්ථානවලට රැගෙන යද්දී පොලිස් මුරපොළ දෙපසට කෙළ ගැසීම පිළිබඳවයි. එවන් කතාබහක් මාධ්‍ය වෙත අනාවරණය වුවත් අටළුගම පල්ලි භාරකාර මණ්ඩලයේ සභාපති නජිබ් හජ්ජියාර් කීවේ එම අවස්ථාවේ එවන් සිදුවීමක් සිදු නොවූ බවයි.

‘‘මේක ඇත්තටම පට්ටපල් බොරුවක්. එහෙම දෙයක් සිදුවුණේ නැහැ. අනික කවුරු හරි ඒ විදිහට පාරට හරි පොලිස් මුරපොළට හරි කෙළ ගහනවා නම් ඒ අයව සෞඛ්‍ය නිලධාරීන්, පී.එච්.අයි. මහත්වරු වළක්වන්න ඕනේ. එහෙම නැත්තන් ඒ වගේ වැඩ කරන අයට දඩ ගහන්න ඕනේ. අපි කියන්නේ මේ වෙනකල් ඒ වගේ සිදුවීමක් වෙලා නැහැ.”

මේ ආකාරයේම තවත් පුවතක් පසුගිය විසි දෙවැනිදා වාර්තා විය. ඒ, වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් වයිරසය ආසාදනය වූ පුද්ගලයකු පැනයාමත් සමගයි. එම පුද්ගලයා රෝහලෙන් පැනයාමට හේතුව ලෙස කියා තිබුණේ බුලත් විටක් ගැනීම සඳහා තමන් නගරයට ගිය බවයි.

මේ අයුරින් ඇතැමුන් නොසැලකිල්ලෙන් කළ ක්‍රියාවන් නිසා අපි පළමු කොවිඩ් රැල්ලෙන් දෙවැනි කොවිඩ් රැල්ලටත් හසු වුණෙමු. එයින්, ‘කන්දකාඩු පොකුර‘, ‘නාවික හමුදා පොකුර‘, ‘මිනුවන්ගොඩ පොකුර‘ සහ ‘පෑලියගොඩ පොකුර‘ බිහිවිය. දැන් ඒ පොකුරු කෙමෙන් පහව යද්දී මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඉදිරියේදී ‘ඛේට පොකුරකුත්‘ බිහි වන්නට ඉඩකඩ ඇතැයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන කියයි. කොරෝනා ආසාදිතයකු ‘තමන් රෝග වාහකයෙක්’ යැයි සිතා කටයුතු කරන්නේ නම් අනාගතයේ එසේ පැමිණීමට ඉඩ ඇති ‘ඛේට පොකුරෙනුත්’ බේරීමට හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් කීවේය.

‘‘මේ කෝව්ඩ් වසංගතය මුලින්ම ආවේ චීනයේ වූහාන් නගරයෙන්. එහෙත් හිටියා ලංකාවේ අය වගේ කෙළ ගහන පිරිස්. ඔවුන් ඒ දේ කළේ රෝගය අනෙක් අයටත් පතුරවන්න හිතාගෙනයි. ඒත් ලංකාවෙත් මේ වගේ දෙයක් වුණොත් අපිට බේරීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන්, ඔය එක කෙළ බිඳිත්තක තියනවා කොවිඩ් වයිරස මිලියනයක් විතර. එතකොට අපි හැම තැනම කෙළ ගහන්න පටන් ගත්තොත් එයින් කී දෙනෙක්ට වයිරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්ද කියලා හිතන්න ඕනේ. ඒ නිසා අපි ගැන වගේම අනෙක් අයගේ ආරක්ෂාවත් හිතුවොත් අපිට මේ කොරෝනා වයිරසයෙන් ඉක්මනින්ම බේරෙන්න පුළුවන් වෙයි.”

එය එසේ ​ෙවද්දී, පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන්ගෙන් නිතරම පාහේ අසන්නට ලැබෙන්නේ බස් රථ රියදුරුන් සහ කොන්දොස්තරවරුන් අතින් සිදුවන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීම් පිළිබඳවයි. ඒ අතර මුහුණු ආවරණ නිසි ලෙස නොපැලඳීම, තැන තැන බුලත් කෙළ ගැසීම, මගීන් අතර මීටරයේ දුර පවත්වා නොගැනීම යන දෑ නිරන්තරවම දකින්නට ලැබෙන සෞඛ්‍ය නීති කඩ කිරීම්ය. ඒත් එවැනි නීති කඩ කිරීම්වලට විසඳුමක් හෝ දඬුවමක් නම් දකින්නට නොමැත.

මෙවන් පසුබිමක් රට පුරා පවතිද්දී පසුගියදා කුරුණෑගල නගරාධිපතිවරයා අපුරු තීරණයක් ගෙන තිබුණි. ඒ කුරුණෑගල නගර සභා සීමාව තුළ කිසිදු පුද්ගලයකු මහා මාර්ගයට, පොදු ස්ථානවලට සහ බස් නැවතුම් පොළවල් අසල කිසිම හේතුවක් මත කෙළ ගැසීම සපුරා තහනම් කිරීමයි.

‘‘අපිට අලුත් අවුරුද්දේදී පාසල් විවෘත කරන්න නම් දරුවන්ට පාසල් එන්න පුළුවන් විදිහේ වාතාවරණයක් අපි සකස්කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මිනිස්සුන්ට එයාලගේ ව්‍යපාර කටයුතු ආරම්භ කරන්න, රැකි රක්ෂාවලට යන්න පුළුවන් විදිහේ වාතාවරණයක් තිබීමත් අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි අපි මේ විදිහේ තීරණයකට ආවේ. අනික, මිනිස්සු තැන තැන කෙළ ගහනවා. ඔවුන් හිතන්නේ නැහැ අපි ඉන්නේ කොවිඩ් අවදානම් තත්ත්වයක් එක්ක කියලා. ඒ නිසා අපි කණ්ඩායමක් දාලා තියනවා මේ වගේ වැඩ කරන මිනිසුන්ව අල්ල ගන්න පුළුවන් වෙන්න. ඒ කණ්ඩායමේ කුරුණෑගල පොලිස් මූලස්ථානය, නගර ආරක්ෂක බළකාය, බස් නැවතුම් මුරපොළේ පොලිස් එ්කක සහ වෙළෙඳ සංගම් නියෝජිතයන් වගේ පිරිසක් ඉන්නවා.’’

එසේම කුරුණෑගල නගරයේ කෙළ ගසා හසුවුවහොත් රුපියල් පන්දහසේ සිට විසි පන්දහස දක්වා දඩ මුදලක් අය කිරීමටත් බලාපොරොත්තු වන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතාරණ කීවේය. මේ නීතිරීති ක්‍රියාත්මක කිරීමට කොවිඩ් මර්දන කමිටුවේ අනුමැතිය ලැබෙන තෙක් සිටින බවත් නගරාධිපතිවරයා කීවේය.

මෙවැනි ආකාරයේ නිරෝධායන නීතින් කඩකරනු ලබන පුද්ගලයන්ට නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ දඬුවම් හිමිවන්නේ ද? ඒ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කීවේ මෙැවැන්නකි.

‘‘යම්කිසි කෙනෙක් නිරෝධායන නීතින් උල්ලංඝනය කරමින් මුහුණු ආවරණ, අත් වැසුම්, අනෙකුත් සෞඛ්‍ය උපකරණ නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට බැහැර කළොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම තැන තැන කෙළ ගහන අයටත් වාහනවල යන ගමන් බුලත් කෙළ ගහන අයටත් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත උල්ලංඝනය කිරීම යටතේ මාස හයක සිර දඬුවම් සහ රුපියල් දසදහසක දඩයක් නියම කරන්න පුළුවන්.”

ඉදිරියේදී යම්කිසි පුද්ගලයකු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.

හර්ෂණී දිසානායක

Related posts

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි 2ක්

colombotoday

“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපති

colombotoday

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Admin

පාර්ලිමේන්තු ගුටි කෙළියේ සංස්කරණය නොකල සජීවී දර්ශන මෙන්න (VIDEO)

colombotoday