Colombo Today Local News

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

පාතාලයේ බිහිසුණු ක්‍රියාකාරකම් නිසාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් හා සමස්‌ත ජනතාවගේ ජීවිතවලට තර්ජනයක්‌ එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

බොරැල්ලේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (28 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් අධිකරණයට ගෙන යමින් සිටි සමයං නමැති පාතාල සාමාජිකයා ඇතුළු තවත් සැකකරුවන් පිරිසක්‌ පාතාල සාමාජිකයන් පිරිසක්‌ විසින් මරා දමා ඇත්තේ බිහිසුණු අයුරින් බවද ඒ මහතා කීවේය.

”බස්‌නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ පාතාලය සහ උතුරේ ත්‍රස්‌තවාදය අවසන් කිරීමට පසුගිය රජය ක්‍රියාකළ හෙයින් පාතාල නායකයන් තොග පිටින් රට අතහැර ගියා. නමුත් වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රට අතහැර ගිය පාතාල සාමාජිකයන්ව ආණ්‌ඩුවේම සමහර නායකයන් විසින් නැවතත් මෙරටට ආනයනය කර ඇතැයි” ද ඒ මහතා පැවසීය.
පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තමන් ප්‍රශ්න කළ අවස්‌ථාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා 2015 වසරේදී පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් ඝාතන 443 කුත් 2016 සැප්තැම්බර් වන විට ඝාතන 334 කුත් සිදුව ඇති බව ප්‍රකාශ කළ බවත් එම ඝාතනවලින් 156 ක්‌ ම ස්‌වයංක්‍රීය ගිනි අවි මගින් සිදු කළ ඝාතන බව ඇමැතිවරයා පැවසූ බවත් එහිදී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ දිනවල පොලිසිය රාජපක්‍ෂ පවුලේ රත්තරන් අශ්වයෝ, අයථා වාහන භාවිතය ආදී ආණ්‌ඩුවේ දේශපාලන ඉලක්‌ක දඩයම් කිරීමේ යෙදී ඇති හෙයින් පොලිසියේ රාජකාරි ඉටුනොකරන බවත් මෙම සිද්ධියට හේතු වූයේ පොලිස්‌ ආරක්‍ෂාව නොදීම යෑයි බන්ධනාගාර විෂය භාර අමාත්‍යවරයාම චෝදනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

පොලිස්‌ නිල ඇඳුමින් සැරසී, ස්‌වයංක්‍රීය ගිනි අවි ගෙන පාතාල සාමාජිකයන් පැමිණ මේ ආකාරයෙන් ඝාතනය කිරීම් නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා, මෙන්ම රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාත් අනාරක්‍ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ද ඒ මහතා පැවසීය.

සමයංගේ සහ අංගොඩ ලොක්‌කාගේ ගැටුමකට පමණක්‌ මේ සිද්ධිය ලඝූ නොකොට පාතාලයේ හිස එසවීම හේතුවෙන් සමස්‌ත පුරවැසියාම පාතාල ක්‍රියාකාරකම් වැඩිවීම හේතුවෙන් අනාරක්‍ෂිත තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නංවාලීමට උතුර දකුණ කියා වෙනසක් නෑ-අගමැති

colombotoday

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin

මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට

Admin

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin

හිස්බුල්ලා දිවයින පුරා ඉඩම් අක්කර 3000ක් අරන්. CID විමර්ශනයෙන් හෙළිවෙයි !

colombotoday