Colombo Today Local News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: මෛත්‍රී,හේමසිරි,පූජිත ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන මා⁣ර්තු 08, 09 සහ 10 වැනිදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)තීන්දු කළේය.

මෙම පෙත්සම් අද (15) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී දෙහිදෙණිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එදිනට පෙත්සම් විභාග කිරීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට නියෝග කරන ලදී.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන හෙයින් ඔවුන් වෙනුවෙන් තමා අධිකරණය හමුවේ කරුණු දක්වන බව සඳහන් කළේය.

තම සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනුකර නොමැති හෙයින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව එම විරෝධතා ලබන පෙබරවාරි මස 8 වැනිදා ගොනු කිරීමට පියවරගන්නා ලෙස වගඋත්තරකාර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපතිවරයාට කල් ලබාදුන් අධිකරණය , එම විරෝධතා වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි මස 15 වන දාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුනි.
ඊට අමතරව පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මස 24 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙන ලදී.

පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි අංශවලින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සදහන් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කර ඇත.

එම ප්‍රහාරය නිසා අගතියට පත් වූ පාර්ශ්වයන්, කිතුනු පූජකතුමන්ලා ඇතුළු පාර්ශ්ව 12 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත්කළහ.

Related posts

“බස් ගාස්තු 15%කින් වැඩි කරණු.. නැතිනම් ජූලි 4 සිට ස්ට්‍රයික්” – බස් ගැමුණුගෙන් තර්ජණ

colombotoday

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

colombotoday

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday

“පිං මන්ත්‍රීකම” Facebook කොමෙන්ටුවෙක් නිසා පත්කළ මන්ත්‍රී පහරදීලා

colombotoday

දයාසිරි සහ රවී පැටලේ – කැබිනට් රැස්වීම නොසන්සුන්

colombotoday