Colombo Today Local News

රට ආරක්ෂා කර ගැනීම සඳහා රටට ආදරය කරන ජන පවුරක් සැකසිය යුතුයි – ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ

රට ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධිමතුන් උගතුන් ඇතුළු රටට ආදරය කරන ජනතාවගෙන් ජන පවුරක් කඩිනමින් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් රටේ හෙට දවස විශාල අනතුරකට මුහුණ පාන බවත් සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක ආචාර්ය  ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ අද (05) පැවසූහ.

දඹුල්ල උයන්වත්ත රජමහා විහාරයේ පැවති  මාධ්‍ය හමුවකදී  මහනාහිමියෝ මේ බව පැවසූහ. එහිදී ආචාර්ය ඉනාමළුවේ සුමංගල මහා නාහිමියෝ කියා සිටියේ අධ්‍යාපනයක් නොමැති දේශපාලන අධිකාරිය නිසා රට වේගයෙන් විනාශ මුඛයට ඇද යන බවත් දීර්ඝ කාලයක් දේශපාලනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකර සිටි නිසා බොහෝ ජනතාව තමන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසීමක් කරන නිසා මෙම මාධ්‍ය හමුව කැඳවා  මෙම ප්‍රකාශය කරන බවත්ය.

ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන අය සඳහා   අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම කළ යුතු බවත් එසේම දේශපාලඥයන් සඳහා වෙනම ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ආරම්භ කොට එහි ඉගෙන ගැනීමෙන් පසු ලැබෙන සහතිකයත් සමඟ දේශපාලනය කිරීම සඳහා නාමයෝජනා බාර ගැනීමේදී විශේෂ සැලකිල්ල දැක්වීම නොකළ හොත් රට බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.
උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට පැමිණිය යුතු බවත් අවම තරමේ සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නොමැති දේශපාලඥයන් රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කරන්නට වූහ.

මන්ත්‍රීවරුන්ට මහ බැංකුව කැඩූ මුදල් බෙදා දී ඇලෝසියස් මහතා සරදියෙල් කෙනෙකු මෙන්  ක්‍රියා කළ බවත්  සරදියෙල් ඇති හැකි අයගෙන් මුදල් ලබාගෙන නැති බැරි අයට දුන් නමුත්  ඇලෝසියස් කර ඇත්තේ අහිංසක ජනතාවගේ මුදල් ගෙන ඇති හැකි දේශපාලනඥයන්ට බෙදාදීම බවත් මහනාහිමියෝ පැවසූහ.

පසුගිය කාලයේ කතාබහට ලක්වූ දින 100 වැඩපිළිවෙළ  මෙරට අසාර්ථක වැඩපිළිවෙළක් බවත් එහෙත් එය මීට වසර ගණනාවකට ඉහත දී ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙලක් බව ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

එය මීට වසර 85 ඉහත දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු විසින් ඉදිරිපත් කළ එකක් බව ද පෙන්වා දුන්හ .එය කොපි කිරීමක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු ශ්‍රි ලංකාවේ මෙතෙක් ජාතික නායකයකු බිහිවී නොමැති බවත් මෙරට දැනට ජාතික නායකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ පක්ෂ නායකයින් බවත් ඔවුන්ට ජාතික නායකත්වයක් හෝ රට ගැන නායකත්වයක් දීමට මනා දැනුමක් නොමැති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

වර්තමාන දේශපාලඥයන් කියා ගන්නා පිරිස් පක්ෂ නායකයින් පමණක්ම බවත් ඔවුන් ඡන්ද දායකයන් හා තමන්ගේ මැතිවරණ ආසනය පමණක් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා පිරිසක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙරට දේශපාලනඥයින් විරුද්ධ පක්ෂයේ සිටියදී කෙසේ හෝ උත්සාහ කරනු ලබන්නේ පවතින ආණ්ඩුව පෙරළා දමා බලය ලබාගැනීම පමණක්  බවත් බලයේ සිටින නායකයින් යැයි කියා ගන්නා පිරිස කරනු ලබන්නේ බලය තහවුරු කරගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට විවිධ තනතුරු ලබා දී බලය ආරක්ෂා කර ගැනීම සඳහා උත්සාහ ගැනීමක් පමණක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

Related posts

හොරුන්ට, දූෂිතයන්ට, තැබෑරුම්කාරයන්ට, නළු නිලියන්ට, ආගමික අන්තවාදීන්ට නාම යෝජනා දෙනු එපා – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගෙන් ජනපතිට සංදේශයක්

colombotoday

මංගලගේ මංගල අයවැයි “දේදුනු අනන්තයේ” සිට හැදෙයි !

colombotoday

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

ජනවාරියේ සිට වැට් බද්දට අයත් නොවන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

Admin

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin