Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුමෙන් ලංකාව න්‍යෂ්ඨික අපද්‍රව ගබාඩවක් වෙයි.. උග්‍ර විෂ රසායනික මූලද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවසර

නකල්ස් කඳුකරයේ දුම්බර අඩවියේ අක්කර 21,000 කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ගේ හිතවතුන්ට ලබාදීම වෙනුවෙන් සිදු වන මහා පාරිසරික විනාශයක් සහ ලෝකයේ තිබෙන න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පිරවීමට අවසර ලබාදෙන සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් හොර රහසේම අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් අපට මෙවර පරිසර දිනය සැමරීමට සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කපිල ගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය.

දුම්බර වන විනාශය

ජාතික පාරිසරික පනත ආදී රටේ පවතින නීති රීති උල්ලංඝනය කරමින් සිදුකරන මේ සංවේදී පරිසර පද්ධති විනාශය නිසා ඇතිවිය හැකි විනාශය ඉතා බරපතල යි. නකල්ස් නැතහොත් දුම්බර කඳුකරයේ වැදගත්කම සලකා බලමු. මේ මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයයි. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ, උඩුදුම්බර, පාතදුම්බර, පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් ආවරණය වන පරිදි මෙම තර්ජිත භූමිය පිහිටා තිබෙනවා.

1873 දී දේශගුණික රක්ෂිතයක් ලෙසත් 2000 දී වන සංරක්ෂණ පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙසත් ප්‍රකාශයට පත්කර සංරක්ෂණය කළයුතු බව තහවුරුකර ඇති මෙම දුම්බර කඳුකරය 2010 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙනවා. මීටර 760 සිට 1900 දක්වා උස් කලාපයක විහිදෙන දුම්බර අඩවිය, තෙත් කඳුකර හෙවත් වළාකුළු වනාන්තර, කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර,තෙත් පතන හා තෘණ බිම්, වියළි පතන හා තෘණ බිම් ළඳු කැලෑ ආදී වශයෙන් වූ විවිධත්වයෙන් පොහොසත්.

මෙහි ඇති ශාක විශේෂ 1033න් 160ක් ලංකාවට ආවේණික ඒවා යි. ලොව වෙනත් කිසි තැනක දැකිය නොහැකි මෙම අඩවියටම ආවේණික වූ ශාක විශේෂ 6ක් මේ අතර තිබෙනවා. මීවන ශාක විශේෂ 42ක් මෙහිදී හමුවන අතර ඉන් 6ක් ලංකාවට ආවේණික යි. ලංකාවේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ව විශේෂ 813 අතරින් 272ක් දුම්බර අඩවියේ දී හමු වෙනවා. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ව විශේෂ 310න් 16ක්ම දුම්බර අඩවියට ආවේණික යි. ලංකාවට ආවේණික කුරුලු විශේෂ 33න් 30ක්ම දුම්බර අඩවියෙන් වාර්තා වෙනවා.

‘රජයේ ඉඩම් බැංකු පනත’

මේ කිසිවක් බලලෝභී දේශපාලකයින්ටත් ඔවුන්ගේ බත් බැලයන්ටත් වටිනා දේ නොවෙයි. මේ ජාතික සම්පත් හිතවතුන්ට කැබලි කඩා ලබාදීමට අමතරව මහා පරිමාණ විදේශ සමාගම්වලට මෙම සම්පත් විකුණා දැමීම සඳහා වගන්ති 33කින් සමන්විත නව පනතක් සම්මත කිරීමටත් නියමිතයි. ඒ ‘රජයේ ඉඩම් බැංකු පනත’ නමින්. මේ පනතේ ඉලක්කය වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විදේශ වෙළදපොළට හඳුන්වා දීමයි. මේ අන්කිසිවක් නොවෙයි සම්පත් විකුණා දැමීමේම තවත් ආකාරයක්. වික්කම – සිංහයකු වන බව විශ්වාස කරන නායකයින්ගේ දැක්මේ දුර මේකයි. ඔවුන් සංවර්ධනය යනුවෙන් හඳුන්වන්නේ, ස්වාභාවික සත්ව ගහනය විනාශ කර සත්ව ගොවිපළ ආරම්භ කිරීමයි, භූ විෂමතාවන්ට එරෙහිව යමින් මහා පරිමාණ ඛනිජ කැණිම්වලට අවසරය ලබා දීමයි. ඡන්දයට උදව් කළ තම හිතවතුනට අල්ලස් හා කප්පම් ලෙස රටේ ස්වාභාවික සම්පත්වල ඇති ගස් ටික කපා ගැනීමට ඉඩ හැරීම ආදියයි.

නගරයේ අපි මැදපෙරදිග රටවල මෙන් බෝතල් වතුර බොන තත්වයට පත්ව සිටිනවා. රජරට ගොවි ජනතාව පෙරන ලද ජලය පානය කිරීමේ තත්වයට පත්ව තිබෙනවා. තමන්ගේ ළිදෙන් ඇළ දොළෙන් ජලය පානය කිරීමේ වරදට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව ඇති ජනතාවක් කාල සටහනකට අනුව දින ගණිමින් මියයන දිනය එනතුරු රුධිර කාන්දුකරණය කරමින් ගේදොර විකුණා මරණයට සූදානම් වන තත්වයට පත් වෙලා. ඒ, මේ එක් එක් සමාගම්වල අරමුණු වෙනුවෙන් මෙරට පසට, ජලයට සහ වායුගෝලයට එක් කරන ලද උග්‍ර විෂ සහ අපද්‍රව්‍ය හේතුවෙන්. ඒ සමහර ව්‍යසනයන් වැළැක්වීමට යම් තරමකට හෝ නීති රීති සකස්කර තිබුණත් ඒ නීතිරීතිවලින් රිංගා තම ලාභය කරා යා හැකි වන ආකාරයට කටයුතු සම්පාදනය කරදෙන පාවාදෙන්නන්ගෙන් සමන්විත නිලධාරි පැලැන්තියකත් ඒ සමග හවුලේ කටයුතු කරන දේශපාලක පැලැන්තියකත් අත්අඩංගුවට රට පත්ව තිබෙනවා. පසුගියදා එවැනි එක් නිලධාරියෙකුගෙන් (ඔහු විල්පත්තුවට අදාළ විනාශයට වගකිවයුතු පුද්ගලයකු වන අතර එවකට අදාළ අමාත්‍යාංශයක ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙක්) කරන ලද ප්‍රශ්න කිරීමක දී සඳහන් කර තිබුණේ ‘දැන් මම පෙන්ෂන් – දැන් මට ඕවා අදාළ නෑ’ යන පිළිතුරයි. එවැනි නිලධාරීන්ටත් එවැනි ප්‍රකාශ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන නිලධාරීන්ටත්, තමන් විශ්‍රාම ගිය පසු හෝ රටින් පැන ගිය පසු සියල්ල අවසන් වේ යයි සිතා සිටින නිලධාරීන්ටත් අපි සිහිපත් කළ යුත්තේ ජාතියේ දරුවන්ගේ සාපයෙන්, තම අපරාධ නිසා වැනසී යන අනාගත පරම්පරාවන්ගේ සාපයෙන් මේ අයටත් ඔවුනගේ දරුපවුල්වලටත් ගැලවීමක් නොමැති බවයි. ඔවුන්ගේ දරු මුනුපුරන් පවා අනාගතයේදී හඳුනාගනු ඇත්තේ ඔවුන්ගේ පාවාදීම සිහිපත් කරමින් බවයි.

ලොව පුරා තහනම් කරන ලද, වසවිස පිරි ආහාර වැඩි මිලක් දී භාවිතා කරන තත්වයට අපගේ පාරිභෝගික මනස කුරුවල් කර තිබෙනවා. පසුගියදා දකුණු පළාතේ හිස එසවූ උණ රෝගය උපයෝගී කරගනිමින් ඇමරිකාවේ තහනම් කළ, ප්‍රතිඵල සම්බන්ධයෙන් සියයට තිහක පමණ විශ්වාසයක් පමණක් ඇති බවට තහවුරු වූ එන්නතක් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් වැඩි මිලට විකුණා විශාල ලාභයක් ලැබූ බවට ගාල්ල ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා. ඒ මේ ආර්ථික රටාවේ ප්‍රතිඵලයයි. අපට පරිසරය ගැන සාකච්ඡා කිරීමට සිදුව ඇත්තේ මේ තත්වය තුළයි.

‘න්‍යෂ්ටික අපද්‍රව්‍ය සඳහා පාවාඩ එළන සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම’

මේ සියලු දේ අතර අපි කවුරුත් නොදැන සිදුවන තවත් අනතුරක් ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ මෑතදී අත්සන් කළ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඇතුළුව ලෝකය පුරා ඇති වෙනත් අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් මෙරටට බැහැර කිරීමට අවස්ථාව සැලසී තිබීමයි. මේ අපට සෘජුව නොපෙනෙන පාරිසරික විනාශයක්. මීට හේතු වී ඇත්තේ මෙතෙක් චීනය විසින් ව්‍යාපාරික වශයෙන් ලබාගත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය තවදුරටත් භාරගැනීම නව චීන අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි. මේ ප්‍රතික්ෂේප කිරීමත් සමගම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන සඳහා අතිවිශාල ඉල්ලුමක් ක්ෂණිකව ඇතිව තිබේ. අපේ අගමැතිවරයාත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාත් ඉතා හදිසියේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළද ගිවිසුම අත්සන් කර මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බවට රේගුවට හදිසියේ දැනුම් දෙන්නේ මෙවන් තත්වයක් යටතේ යි. දැනටමත් කොළඹ අවට තිබෙන බහාලුම් නවාතැන් හෙවත් කන්ටේනර් යාඞ්වල දීර්ඝ කාලයක් තිස්සේ ගොඩගසා තිබෙන බහාලුම් යනු එක් ආකාරයක අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමයක් බව පරිසරවේදීන්ගේ විශ්වාසයයි. එසේම අප රටට ආනයනය කරන යූරියා පොහොරවල ප්‍රමිතිය පසුගියදා කෘෂිකර්ම ඇමතිවරයා විසින් වෙනස් කරන ලදුව අවශ්‍ය ප්‍රමාණය මෙන් දසගුණයක් අඩු ප්‍රමිතියේ යූරියා මෙරටට ගෙන්වීම පසුපස ඇත්තේ ද මෙවැනිම අපද්‍රව්‍ය පිළිබද කාරණයක් බව පරිසරවේදීන් සැක කරනවා. යූරියා පොහොර සමග මිශ්‍ර කර න්‍යෂ්ටික අපද්‍රව්‍ය අප වැනි රටවලට පටවා අපද්‍රව්‍ය ගැටලුවෙන් නිදහස් වීමට යම් යම් සමාගම් ගත් උත්සාහයන් නිසා මේ සැකය ඇතිව තිබෙනවා.

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ඇමුණුම 2 ඒ 1 යටතේ මෙම කාරණය දක්වා තිබෙනවා. එහි දැක්වෙන එච් එස් සංකේතය 28444000 වන අතර ඒ යටතේ ඇත්තේ රේඩියෝ ඇක්ටිව් එලිමන්ට්ස් යනුවෙන් හඳුන්වන න්‍යෂ්ටික අපද්‍රව්‍ය බව රේගුවේ වෙබ් අඩවිය පරීක්ෂා කරන ඕනෑම කෙනෙකුට සරලව තහවුරු කරගත හැකියි. මීට අමතරව තවත් පිළිකා කාරක සහ උග්‍ර විෂ සහිත සංයෝග බොහෝමයක් සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට ඇතුළත් කර තිබෙනවා. ඒ අතර ක්රෝමියම්, බෙරිලියම්, මැන්ගනීස්, තැලියුම්, ඉන්ඩියුම්, ගැලියුම්, නියෝබියුම් , රේනියුම්, වැනේඩියුම්, ජර්මේනියුම් ආදී පිළිකාකාරක ලෙස හඳුනාගත් මුලදුව්‍ය සහ සංයෝග විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබෙනවා. අප රටක් ලෙස ඒ සියලු අපද්‍රව්‍ය ‘බද්දෙන් ද නිදහස් කොට’ භාර ගැනීමට මේ ගිවිසුම යටතේ එකග වී තිබෙනවා.

අපට තිබෙන පරිසර සම්පත විනාශ කරගන්නා ගමන් පරිසරයට අදාළ සංවේදීම ඒකකයක් වන පසත්, ජලයත් විනාශ කිරීමට අදාළ පියවරයන් අත වනා ගෙන්නා ගන්නා මෙවැනි පාලකයින් සමග පරිසර දිනය සමරන්නට සිදුවීමම අවාසනාවක්. ලෝක පරිසර දිනයේදී දුම්බර අඩවිය රැක ගැනීමට ස්වේච්ඡාවෙන් පෙරට පැමිණිමට අද මේ රටේ තරුණ පරම්පරාවට සිදුව තිබෙනවා. මේ රටට න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහ බැර ලෝහ ඇතුළු වෙනත් පිළිකා කාරක දහස් ගණනක් ගෙන්වා ගැනීමට රජය අත්සන් කරන ගිවිසුම්වලට එරෙහිව නඩු මගට බැසීමට වෘත්තිකයන්ට සිදුව තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ පරිසර දිනය සමරන අපි පරිසරයට ගරු කරන මිනිසුන් බවට පත්විය යුතුයි. ඒ වර්ගයේම රජයක් අප පත්කරගත යුතුයි. ඒ සඳහා තව තවත් ස්වේච්ඡා බල සේනා රැස් කළ යුතුයි. දැනටමත් ඒ වෙනුවෙන් කැපවී සිටින අවංක ස්වේච්ඡා බල සේනාවලට අපගේ ගෞරවය පුද කළ යුතුයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් දිවයිනට

colombotoday

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

colombotoday

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin

“කෝටි 800 ක් වටින නිවසක් ශ්‍රී ලංකාවේ නැ.. මඩ ගැසීම ගැන කනගාටුයි”

colombotoday

65ක් සමග මෝදි එයි.. අගමැති රනිල් ගුවන්තොටේදී පිලිගනී (Photo)

colombotoday