Colombo Today Local News

පළාත් සභා ඡන්ද පවත්වා බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා. | බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

මේ අවස්ථාවේ දී පළාත් සභා මැතිවරණයක් පවත්වා බෙදුම්වාදීන්ගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට ඉඩ ලබා දෙන්නේ මන්දැයි සිතාගත නොහැකි බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් ප්‍රමුඛ නායක සහ බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ නායක ස්ථවිරයන් වහන්සේලා එකොළොස් නමකගේ සහ ප්‍රධාන තනතුරු දරන ගිහි පිරිස දහ අට දෙනකුගේ අත්සනින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

එහි මෙසේද සඳහන් වේ.

පසුගිය මැතිවරණයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීම සඳහා ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යන තේමාව යටතේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනවරමක් ඉල්ලා සිටින ලදී. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මැතිවරණයේ දී තුනෙන් දෙකක ජනවරමක් ලබා දෙන ලද්දේ ඒ සඳහාය. එකී ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනවරම රජය ඉල්ලා සිටියේ මෙසේය.

‘‘වත්මන් ව්‍යවස්ථාව පිළිබඳ සමාජයේ ඇත්තේ ප්‍රබල විවේචනයකි. එහි අඩුපාඩු දුරු කිරීමට ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් සිදු වූයේ ප්‍රශ්න නැති කිරීමට ගොස් නැති ප්‍රශ්න ඇති කිරීමකි. එබැවින් ලෝක බලවතුන්ගෙන් සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල අභිලාෂයන් වෙනුවට ජනතාවගේ අභිලාෂයන් මත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට අපි කටයුතු කරන්නෙමු.’’ (09 වැනි පිට) මහ මැතිවරණයෙන් පසු නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා දුන් උක්ත පොරොන්දුව ඉටු කිරීම සඳහා විශේෂ විද්වත් මණ්ඩලයක් පත් කිරීමට රජය කටයුතු කිරීම ගැන අපි සතුටු වෙමු. එහෙත් එම බලාපොරොත්තු විනාශ කරමින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කිරීම අපගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත.

විද්වත් සභාවට ස්වකීය වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇත්තේ සය මසක කාලයකි. දැනට තුන් මසක් ඉකුත් වී ඇත. එම වාර්තාව ඉදිරි තුන් මස ඇතුළත ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. එසේ තිබිය දී තව අවුරුදු පහකට නව පළාත් සභා පත් කිරීමට පියවර ගැනීමෙන් නව ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳ රජයේ අරමුණෙහි සද්භාවය පිළිබඳ සැකයක් ජනතාව තුළ ඇති වී තිබේ. එම නිසා විද්වත් වාර්තාව ඉදිරිපත් වන තෙක් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සඳහා නව නීති ගෙන ඒමට හෝ වෙනත් පියවර ගැනීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාව සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධ සිය යෝජනා දැනටමත් එම විද්වත් සභාව වෙත ඉදිරිපත් කොට ඇත. එසේම ජනාධිපති, අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයටද ප්‍රතිපක්ෂ නායකයාට ද එම යෝජනාවලිය මේ වන විට ඉදිරිපත් කර ඇත.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනු ලැබුවේ ජනතාවගේ අනුමැතියකින් තොරවය. ජාත්‍යන්තර බලපෑම් මත හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරටට සිදු කර ඇති හානිය පිළිබඳව අප සවිස්තරව කරුණු ඉදිරිපත් කර ඇත. මේ නිසා 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන් පළාත් සභා ව්‍යුහයෙන් අප රටෙහි පවතින පළාත් පාලන ආයතන ව්‍යහය දුර්වල වූවා පමණක් නොව රට බෙදීමට ද ජාතීන් අතර සමගිය, සහජීවනය හා සුහදත්වය බිඳ දැමීමට ද එය ඉවහල් විය. එහෙයින් ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බව බහුතර ජනතාවගේ මතය වී ඇත.

බලය විමධ්‍යගත කිරීම සඳහා විශාල වියදමක් දරා මැතිවරණ පැවැත්වීමත් ඒ සඳහා පත් කරන ජනතා නියෝජිතයන්ගේ පැවැත්මට විශාල මුදලක් වියදම් කිරීමත් අපට දරා ගත නොහැකි අනවශ්‍ය වැය බරකි. රටේ ජනතාව දරුණු වසංගත උවදුරකින් පෙළෙන මෙවන් වකවානුවක එබඳු වැය බරක් දැරීම ජනතාව තව තවත් පීඩාවට පත් කරන්නක් හෙයින්ද පළාත් සභා කෙරෙහි මහජනතාවගේ විශ්වාසය හා අභිමතය දෙදරා ගොස් ඇති හෙයින් ද ජනතා පරමාධිපත්‍යය හා ජනතා පරමාභිලාෂය සපුරාලීමට පළාත් සභා අසමත් ව ඇති හෙයින්ද මෙම පළාත් සභා ව්‍යුහයෙන් ඉවත් වී අපේ රටට ගැළපෙන පළාත් පාලන ආයතන හා ගම් සභා ක්‍රමය නැවත යථාවත් කොට ශක්තිමත් කරන ලෙස රජයෙනුත් ප්‍රතිපක්ෂවලිනුත් අපි මහජන හිතානුකම්පීව ඉල්ලා සිටිමු.

මේ අවස්ථාවේ දී කඩිමුඩියේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමෙන් විද්වත් සභාවක් පත් කොට නිර්මාණය කිරීමට උත්සාහ කරන නව ව්‍යවස්ථා සම්පාදනය ද කඩාකප්පල් වීමට බෙහෙවින් හේතුවනු ඇත. දේශ හිතෛෂි ජනතාවගේ වරමින් බලයට පැමිණි රජය පළාත් සභා මැතිවරණයක් මේ අවස්ථාවේ දී පවත්වා බෙදුම්වාදීන්ගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට කටයුතු කරන්නේ මන්දැයි අපට සිතාගත නොහැකිය. විද්වත් සභාවේ වාර්තාව මත නැවත සලකා බැලීමකින් තොරව බෙදුම්වාදීන්ට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බලය ලබා දීම හා තහවුරු කිරීම රටේ භෞමික අඛණ්ඩතාවටත් ජාතික ආරක්ෂාවටත් බලවත් තර්ජනයකි. මේ නිසා ඇතැම් දේශපාලකයන්ගේ අවශ්‍යතා මත සිය නෑදෑ හිත මිතුරන්ට තනතුරු හා වරප්‍රසාද සකස් කර ගැනීමේ හා මැතිවරණවල දී ජනතා දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීමේ අභිලාෂයෙන් වත්මන් රාජ්‍ය යාන්ත්‍රණයේ වියවුලක් ඇති කිරීමට ඉඩ නොදෙන ලෙස අපි රජයෙන් තරයේ ඉල්ලා සිටිමු.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

ගිනිගන්නා MSC Messina නැවේ සේවකයෙක් අතුරුදන්. | ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය නැවට ලඟා වෙයි.

colombotoday

කුඩ්ඩන්ට මත් කරල් දුන් පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි

Admin

වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා – ජී. එල්. පීරිස් කියයි

Admin

සංශෝධන රහිතව සම්මත වූ අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට අපි විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday