Colombo Today Local News

ලිංගික චෝදනා එල්ල වූ මැටරඹ කපුවා අත්අඩංගුවෙන් බේරෙන්න කෝටි 10ක අල්ලසක් දෙන්න හදලා

බාලවයස්කාර පිරිමි දරුවන් ලිංගික ක්‍රියාවලට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උණවටුන, මැටරඹ සතර මහ දේවාලයේ කපුවා අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා රුපියල් කෝටි දහයක මුදලක් ලබා දීමට උත්සාහ කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

මෙවන් විශාල මුදලක් අල්ලස් ලෙස දීමටත් යානවාහන, ගොඩනැගිලි නිවාස රාශියක් සන්තකයේ තබාගෙන රුපියල් ලක්ෂ කෝටි ගණන් මුදල් වියදම් කිරීමට මොහුට හැකියාව ලැබී ඇත්තේ කෙසේ ද යන්න සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අවධාරණය කළේ ය.

අල්ලසට හෝ බලපෑම්වලට යට නොවී රහස් පොලිසිය ක්‍රියාකළ ආකාරය ඉතා පැසසුම්සහගත බව ත් සැකකාර දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පිළිබඳ විවිධ තොරතුරු සහ ඔහු රහසිගතව උපයා ඇති වත්කම් පිළිබඳ මහජනයා දිගින් දිගට ම තොරතුරු ලබා දෙන බව ත් මෙතෙක් කල් ඔහු සහ ඔහුගේ ගෝලබාලයන්ට බියෙන් බොහෝ පිරිස් තොරතුරු ලබානොදී ඇති බව ත් හෙතෙම කියා සිටියේ ය.

එමෙන් ම මේ වන විට සැකකාර කපුවා පරිහරණය කළ ජංගම දුරකතන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති අතර ඩිජිටල් වෝහාරික පරිගණක කොට්ඨාසය මගින් එම දුරකතනවල දත්ත නිරීක්ෂණය කරමින් සිටින අතර එම දත්තවලට අනුව ඔහු සමග සබඳකම් පැවැත්වූ උසස් පොලිස් නිලධාරීන් ලැයිස්තුව අනාවරණය කර ගැනීමට හැකි බව ද ඔහු පවසා සිටියේ ය.

මාස ගණනක දත්ත මේ අනුව ලබාගැනීමට කටයුතු කර ඇති බවත් ගාල්ල ආශ්‍රිතව රාජකාරි කරන ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් මෙන් ම කලක් ගාල්ල කොට්ඨාසයේ රාජකාරි කොට මාරුවීම් සහ උසස්වීම් ලැබ එම කොට්ඨාසයෙන් වෙනත් ප්‍රදේශවලට මාරුවීම් ලැබූ නිලධාරීන් ද ඒ අතර සිටින බවට සැක කෙරේ.

එමෙන් ම කලක් තිස්සේ මෙම දේවාලයට පොලිසියේ ආරක්ෂාව ලබා දී ඇති බව ද වාර්තා වන අතර කිසිදු හේතුවක් නොමැතිව මෙලෙස ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කෙරේ.

තව ද මෙම සැකකරු විසින් කොළඹ ප්‍රදේශයේ මිල දී ගනු ලැබ ඇති සුපිරි මහල් නිවාස කිහිපයක් සම්බන්ධයෙන් මහජන තොරතුරු ලැබී ඇති බව ත් ඒ සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව ත් එලෙස නිවාස මිල දී ගැනීමට මොහුට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ කෙසේ ද? යන්නත් මොහු විදේශ රටවල පුද්ගලයන් සමග කළ ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන බව ත් හෙතෙම කීවේය.

එමෙන් ම එක්තරා පොලිස් ලොක්කෙකු මෙය මාධ්‍යයෙන් වසන් කරන්නට දැඩි උත්සාහයක් ගත්ත ද මාධ්‍ය සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා පළකිරීම නිසා මහජන තොරතුරු ලැබීමට පටන් ගත් බව ත් ඒ නිසා සියලු මාධ්‍යවලට තම ස්තුතිය පළකරන බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

Related posts

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

පොලිස් හදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවේ

colombotoday

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

Admin

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday

මුහුදේ මාළු අල්ලමින් සිටියදී තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

Admin