Colombo Today Local News

මඩකලපු සිංහලයන්ගේ ඛේදජනක ඉරණම ගැන අම්පිටියේ හිමියෝ හඩ අවදි කරයි !

12365ghgh56අම්පිටියේ සුමනරතන හිමි යන නම ඇසෙත්ම අපට සිහිවෙන්නේ මඩකලපුව මංගලාරාමය විහරස්‌ථානයයි. නැඟෙනහිරින් අතුගාවන්නට හදන බෞද්ධ උරුමය රැකගන්නට උන්වහන්සේ මහත්වූ වෙහසක්‌ ගනිමින් සිටින්නේය. ඇතැම් විට සිංහල ජනයා වෙනුවෙන් දැඩිසේ හඬ නඟන උන් වහන්සේ නිරන්තරයෙන්ම අන්දෝලනයක්‌ ඇතිකළ හිමි නමකි, මේ ‘ඉරිදා දිවයින’ සමග උන් වහන්සේ දොඩමළු වූ ආකාරයයි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ මඩකලපුව මංගලාරාමයට පැමිණෙන සමයේ තත්ත්වය කෙබඳුද?

මම මඩකලපුව මංගලාරාමයට පැමිණෙද්දී මංගලාරාමය මුළුමනින්ම විනාශ කරලා. ආවාසගේ බුද්ධ මන්දිරයේ පිළිම වහන්සේට පවා බෝම්බ ගහලා විනාශ කරලායි තිබ්බේ. බෝධීන් වහන්සේ කපලා කොටලා දාලා තිබ්බා. යුද්ධය උපරිමයෙන් තියෙද්දි මම මංගලාරාමය නැවත ගොඩ නඟන්න කටයුතු කළා. අපේ රණ විරුවෝ කොටි ප්‍රහාරවලට ලක්‌ව මගේ දෑතේ මියගිය අවස්‌ථාවත් තිබුණා. මම රණවිරුවන්ටත් ශත්කියක්‌ වෙමින් ත්‍රස්‌තවාදීන්ගේ තාඩන පීඩන මැද දිගටම මංගලාරාමය රැකගනිමින් සිටියා.

ප්‍රශ්නය – මඩකලපුවේ එදා සහ අද සිංහල ජනතාවගේ තත්ත්වය කොහොමද?

ඉස්‌සර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහලයන් හතළිස්‌ දහසකට අධික ප්‍රමාණයක්‌ සිටියා. නමුත් අද මඩකලපුව නගරයේ තිබෙන පන්සලේ ඉන්න අපිට දන් හැන්දක්‌ බෙදන්න දායකයන් කවුරුවත් නැහැ. යුද්ධ කාලයේ කොටසක්‌ මැරුවා. ඉතිරි අය පණ බේරාගෙන 85,87 කාලයේ ගියා. ඒරාවුර් නගරයත් මේ ආකාරයෙන් සිංහලයන්ගෙන් තොර වුණා. දැන් කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතන ආදී ගම් කිහිපයක දහසක්‌ පමණ ප්‍රමාණයක්‌ තමයි සිටින්නේ. 2002 සාම ගිවිසුම් කාලයෙත් ඉන් පසුව යුද්ධය නිමාවූ පසුත් සිංහල ජනයා තමන්ගේ පදිංචි ස්‌ථාන සොයන් ආවා. නමුත් එතකොට ඒ ඉඩම් නිවාස දෙමළ සහ මුස්‌ලිම් ජනයා අත්පත් කරගෙන වෙනස්‌ කරලා. මේවා අත්පත් කරගන්න රාජ්‍ය නිලධාරීන්ට කොච්චර කීවත් ලිපි ලේඛන දුසිම් ගණන් දුන්නත් ඔවුන් කිසිවෙක්‌ මෙම සිංහල ජනයාට සිදුවූ අසාධාරණය ගැන කිසිදු පියවරක්‌ ගන්නේ නැහැ.

ප්‍රශ්නය – මඩකලපුව මහ දිසාපතිතුමිය මේ ගැන දැනුවත් කළේ නැද්ද?

වසර කිහිපයක සිට ඇය මඩකලපුව රාජකාරි කටයුතු කරනවා. නමුත් සෑම වසරකම අවස්‌ථා කිහිපයක්‌ මෙම මඩකලපුව සිංහල ජනයා විඳින දුක සහ මඩකලපුව සිංහල ජනයා වෙසෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කිසිදු පියවරක්‌ නොගැනීම පිළිබඳව ඇයව දැනුවත් කරනවා. උපවාස උද්ඝෝෂණ කරා. නමුත් සිංහල ජනතාවගේ ගැටලුවලට කිසිම විසඳුමක්‌ නැහැ.

ප්‍රශ්නය – මීට සති කිහිපයකට ඉහතදී ඔබ වහන්සේ මංගලගමදී ග්‍රාමසේවා නිලධාරිවරයකුට තදින්ම බැණ වදිනවා. ඒක භික්‌ෂුන් වහන්සේ කෙනකුට ඔබින්නේ නැහැ නේද?

මම භීක්‌ෂුවක්‌ විදිහට කටයුතු කරනවා. මට කිලෝ මීටර් 80 ක්‌ 90 ක්‌ යනකම් බෞද්ධයෙක්‌ නැහැ. ඒදා ඒ ගම්මානවලට මායිම් ගම්මාන කිව්වා. මම ඒ අසරණ සිංහල ජනයා වෙනුවෙන් මැදිහත් වෙලා පදිංචි කරවා ගත්තා පුළුවන් උදව්වක්‌ කරන්නම් කියලා. මම එදා ඉඳන් මේ දක්‌වාම වග කිවයුත්තන්ට මේ ගැටලුව ගැන දැනුවත් කළා. නමුත් මේ ජනතාව පිsළිබඳ පට්‌ටිපොළ, වෙල්ලාවලි ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දරන්නේ වෙනත් මතයක්‌.

අපේ ජනතාව මෙම ප්‍රදේශවලින් පන්නා දාන්න හදද්දී, ජනතාවගේ ගැටලුවලට විසඳුමක්‌ නැතිවුණාම, අඩුම තරමින් සමෘද්ධි කුපනයක්‌ නොදීම, ග්‍රාම සේවක වාර්තාවක්‌ ලබා නොදීම, හැඳුනුම්පතක්‌ ලබා ගැනීමට නොහැකිවීම, වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් තණ භූමි කියලා අල්ලා ගන්න හදද්දී ඒවාට කිසිම බලධාරියෙක්‌ කතා කරන්නේ නැහැ. ඒ වෙලේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරන විට අපටත් මැදිහත් වෙන්න වෙනවා. ඒ මොහෙතේ අදාළ නිලධාරීන් පැමිණ තමන්ගේ මතයේ දැඩිව සිටිද්දී ඇතැම් වේලාවට මේ වන මහා අසාධාරණකම් හමුවේ මගේ මුවින් තද වචන පිටවූ අවස්‌ථාත් තිබෙනවා ඒ මොනදේ කරන්නෙත් මේ අසාධාරණයට පිළිසරණක්‌ නොමැති වූ විටයි. බලධාරින්ට හොඳින් කියලා ලියුම් පිට ලියුම් දීලා බැරිම වූ විට, අපේ ජනතාවට උසාවි දමලා පිටවෙන්න නියෝග දෙන්නට මේ නිලධාරීන් කටයුතු කරද්දී අපටත් නීති කඩන නිලධාරීන්ට හට හොඳින් කතා කරලා බැරිම තැන අපට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ අකමැත්තතෙන් හරි ඒ විදිහටයි.

දැනට මඩකලපුව පොලිස්‌ බල ප්‍රදේශයේ බුදුපිළිම තැන්පත් කිරීම තහනම් කරලා මට අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ කරලා තියෙනවා. සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කරලා තියෙනවා. ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට යන්න බැරි වෙන්න තහනම් නියෝග මට කරලා තියෙනවා. ඔය දේවල් මතක්‌ වෙන වේලාවට මගේ කටින් නොකිය යුතු දේවල් කියවෙනවා. ඇතැමුන් මට පිස්‌සු කියලත් කියනවා.

ප්‍රශ්නය – දැනට සති කිහිපයකට කලින් කරදියන්ආරු ප්‍රදේශයේදී සිදුවුණේ කුමක්‌ද? ඇත්තටම එතන පැරණි බෞද්ධ පුදබිමක්‌ද?

මට දැනගන්න ලැබුණා වසර සියදහස්‌ ගාණක්‌ පැරණි පුද බිමක්‌ විනාශ කරලා තියෙනවා කියලා. මම ගිහින් බලද්දී ගල් කණු, සිරිපතුල් ගල් ආදී ඉපැරණි පුරා වස්‌තු ඩෝසරයකින් ගලවලා ගොඩ ගහලා. ඉපැරණි දාගැබක්‌ මුදුනින් කණු සිටුවලා කටුකම්බිවලින් වැට ගහලා. එම පුදබිම සීසාල වී වපුරලා ඒ හැම තැනම ඉපැරණි ගඩොල් කැටයි පුරා වස්‌තුයි විසිරිලා තියෙනවා. මේ ස්‌ථානයට සිදුකර තිබෙන හානිය දැක්‌කාම මම දැඩි කම්පනයට පත් වුණා. එම නිසා මම එතනට කුඩා මඩුවක්‌ හෝ සකසා ආරක්‌ෂා කරන්න ගියා. එතකොට පොලිසියෙන් මට එතෙනට ඇතුළුවීම වළක්‌වන්න තහනම් නියෝගයක්‌ ගෙනාවා. මම එතන හිටියොත් මාව අත්අඩංගුවට ගන්නවා කීවා. මම කිවා කමක්‌ නැහැ මාව අත්අඩංගුවට ගන්න. මාත් එක්‌කම මේ ස්‌ථානය විනාශ කළ පිරිසත් අත්අඩංගුවට ගන්න කියලා. ඒ අය අත්අඩංගුවට ගන්න විදිහක්‌ නැහැ කියලා පොලිසියයි, පුරා විද්‍යාවයි කිව්වා. ඕක තමයි සැබෑ තත්ත්වය. අද පුරා වස්‌තු ආරක්‌ෂා කරන්න යන අය අත්අඩංගුවට ගන්න හදනවා. පුරා වස්‌තු වනසන අය රකිනවා. මේක තමයි තත්ත්වය. පස්‌සේ මම කරදියන්ආරු පොලිසියට මෙම පුරා වස්‌තු හානිය පිළිබඳව පැමිණිලි කළා. නමුත් අද වෙනකම් කිසිවෙක්‌ අත්අඩංගුවට ගත්තේ නැහැ.

අපේ සිංහල ජනතාවට බඩගින්න නිවාගන්න බඩ ඉරිඟු ඇටයක්‌ ඉන්දන්න දෙන්නේ නැහැ. තණ භූමි කියලා පන්නන්න හදනවා. හැබැයි අපේ රජමහා විහාර ඩෝසර් කරලා වී වපුරද්දී බලධාරීන් නිහඬ වෙලා ඉන්නවා.

ප්‍රශ්නය – පසුගිය යුද සමයේ ද එසේ නැතිනම් සාමය උදාවූ පසුද නැඟෙනහිර පළාතේ පුරා වස්‌තුවලට වැඩි වශයෙන් හානි සිදුවූයේ?

වෙලාවකට හිතනවා යුද්ධය තවමත් තිබ්බා නම් හොඳයි කියලා. පසුගිය යුද සමයේ මෙම පුරා වස්‌තුවලට විශාල හානියක්‌ වුණේ නැහැ. පසුගිය රජය සමයේ සිංහල, දෙමළ මුස්‌ලිම් යන සැම ජන කොට්‌ඨාසයටම ඒ සමයේ රාජකාරි කටයුතු සිදුවුණා. නමුත් ඒ සමයෙත් මඩකලපුවේ සිංහලයන්ට යම් අසාධාරණයක්‌ සිදුවුණා. ඒවා ඒ රජය විසඳුවානම් අද මේ අකාරයෙන් මඩකලපුව සිංහල ජනයා දුක්‌ විඳින්නේ නැහැ. නමුත් ඒ සමයේ පොලිසියට ආරක්‌ෂක අංශ, රටේ ජනතාව යන සියල්ලටම එක්‌ වුණා. රට ජාතිය රැකගන්න සියලු දෙනාම එකට එකතු වුණා. නමුත් ඒක දැන් වෙනස්‌ වෙලා. අද බොහෝ දෙනකුට රට ජාතිය ආගම ගැන හැඟීමක්‌ නැති වෙලා තියෙනවා. ඒ වාගේම යුද්ධයෙන් පස්‌සේ පුරා වස්‌තු සංහාරයක්‌ සිදු වෙමින් තියෙනවා. ඉතිං මට වේලාවකට හිතෙනවා යුද්ධය තිබ්බානම් මේ ආකාරයෙන් නැඟෙනහිර පුරා වස්‌තුවලට මේ තරම් දැන් හානියක්‌ සිදුවෙන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය – මේ වන විට ඔබ වහන්සේට විරුද්ධව ඇතැම් අය මඩකලපුවේ විරෝධතාවන් දක්‌වනවා. ඇයි එහෙම විරෝධතාවක්‌ ඔබ වහන්සේට විරුද්ධව ඇති වෙලා තියෙන්නේ.

පසුගියදා උතුරු පළාත් සභාවේ වැඩි ඡන්දයෙන් පනතක්‌ සම්මත කරගෙන තිබ්බා උතුරු නැඟෙනහිර පළාතේ වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න. අම්පිටියේ සුමනරතන හෙවත් මාවත් ඉවත් කරන්න පනතක්‌ සම්මත කරගෙන තිබෙනවා. රටේ ජනාධිපති, අගමැති, පොලිස්‌පති ඇතුළු පිරිස එය නිවරැදි කරගන්න කිසිම පියවරක්‌ ගත්තේ නැහැ. පසුගිය දිනවල දෙමළ ග්‍රාමසේවා නිලධාරිවරු සහ ටී.එන්.ඒ. සංවිධානයේ පිරිස්‌ මට එරෙහිව විරෝධතාවන් පවත්වා තිබෙනවා. ඊට අමතරව මේ වන විට මට විරුද්ධව නඩු 33 ක්‌ මඩකලපුවේ දිස්‌ත්‍රික්‌කයේ විවිධ උසාවිවල පවරලා තියෙනවා. මමත් පවරපු නඩුත් එක්‌ක නඩු 48 ක්‌ ඒ අධිකරණවල විභාග වෙනවා. මේ වන විට මඩකලපුවේ දෙමළ සහ මුස්‌ලිම් ජනයා මාත් සමඟ සුහදව කටයුතු කළත් ටී.එන්.ඒ. වැනි අන්තවාදී සංවිධාන තමයි ඔවුන්ගේ ක්‍රියාකාරම් වලට මා බාධාවක්‌ නිසා මාව මඩකලපුවෙන් ඉවත් කරන්න හදන්නේ. ඒ අය තමයි සාමාන්‍ය ජනතාව මට විරුද්ධව කුලප්පු කරවන්න හදන්නේ.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මේ වන විට ජීවිත තර්ජන තිබෙනවාද?

දැඩි ජීවිත තර්ජනයක්‌ තියෙනවා. පසුගිය සති කිහිපයේ සිට මට දුරකථනය සහ අන්තර්ජාලය ඔස්‌ස්‌ දිගින් දිගටම ලෝකයේ විවිධ රටවලින් දුරකථන අංක දෙතුන් සියයකින් එකදිගටම ප්‍රභාකරන් මැරුණේ නැහැ යනුවෙන් පවසමින් මාව මරා දමන බවට දිගින් දිගටම තර්ජනය කළා. මම එහෙම තර්ජනය කළ දුරකථන අංක සියයකට වැඩියෙන් අදාළ තොරතුරු දීලා මඩකලපුව පොලිසියේ පැමිණිල්ලක්‌ද දැම්මා. පසුගිය 27 වැනිදා මාගෙන් රැකියාවක්‌ අවශ්‍ය බව පවසමින් සැකකටයුතු පුද්ගලයෙක්‌ මාව සොයාගෙන පන්සලට ආවාම ඒ පිළිබඳව සැක සිතී ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසූ උත්තර පරස්‌පරයි. ඒ නිසා මඩකලපුව පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ නිසා මා කර හෝa මඩකලපුවෙන් සිංහල ජනයා පන්නා දැමීමට විවිධ කුමන්ත්‍රණයන් සිදුවෙනවා. ඔවුන් දන්නවා ඒ අයගේ අන්තවාදී කටයුතු මා මෙහි සිටිනා විට සිදු කිරීමට අපහසු බව.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මඩකලපුවේ හුදෙකලාවෙ සිට මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද?

මම පැවිදි වෙලා වසර 33 ක්‌ වෙනවා. මම යුද්ධ කාලේ වැහෙන්නට ගිය විහරස්‌ථාන රැකගනිමින් විහරස්‌ථාන 22 ක්‌ ගොඩනැඟුවා. මඩකලපුව සිංහල ජනයා වෙනුවෙන් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්‌ ඉදිකළා. ළිං වැසිකිළි හදලා දුන්නා. වතුර පොදක්‌ ගන්න වැව් හදලා දුන්නා. ඒ අයට හැකි සෑම මොහොතකම මට පුළුවන් උපරිම ආකාරයෙන් උදව් උපකාර කළා. මඩකලපුවට පැමිණෙන ජනතාවට පා තියන්න පුළුවන් ආකාරයට මංගලාරාම විහාරස්‌ථානය සංවර්ධනය කළා. ඒ ආකාරයෙන් මට කිsරීමට හැකිවූයේ මේ ස්‌ථානය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගත් යම් පිරිසකගේ සහයෝගය නිසා. නමුත් මේ වනවිට යුද්ධයෙන් බැරිවූ ඊළම නැවත ගොඩනඟන්න කොටි හිතවාදීන් ප්‍රබලවම උත්සාහ දරන මේ මොහෙතේ මට විනාඩියෙන් විනාඩිය මරණ තර්ජන එන කාලයක රට ජාතිය ගැන කතා කරන බොහෝදෙනකු මඩකලපුව ගැන අවධානය නිසිසේ යොමු නොකිරීම කනගාටුවට කරුණක්‌.

මේ වන විට මට ලැබෙන සියලුම මුදල් මඩකලපුව විහාරස්‌ථානයේ සහ ජනතාව වෙනුවෙන් යොදවා තිබෙනවා. නමුත් ඉදිරියේදී මට ඒ වෙනුවෙන් කටයුතු කරන්න හැකියාවක්‌ නැතිව ගොස්‌ තිබෙනවා. සියලුම දේට මුදල් අවශ්‍ය මොහොතක මට ඒ ජනතාව වෙනුවෙන් රට ජාතිය ගැන කැක්‌කුමක්‌ තිබෙන හැඟීමක්‌ තිබෙන ඔබගේ සහයෝගය අවශ්‍යව තිබෙනවා. තව දුරටත් මාහට සිංහල ජනයා වෙනුවෙන් කළ මෙහවර කිරීම අපහසු වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – කොහොමද ඔබ වහන්සේට යම් සහයෝගයක්‌ දෙනවා නම් ලබා දිය හැක්‌කේ.

065 2222104, 077 1791883, 072 9902907 දුරකතන අංක ඔස්‌සේ මා සම්බන්ධ කරගෙන සහයක්‌ දිය හැකියි. ඒ සමගම මා කරනා මෙම සද්කාර්ය සඳහා ඔබ දායක වන්නේ නම් ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනමේ මඩකලපුව සම්පත් බැංකුවේ 1139 6100 2363 ගිණුම් අංකයට ඔබගේ සහයෝගය ලබා දෙන්න පුළුවන්.

ප්‍රශ්නය – යහ පාලන ආණ්‌ඩුව මගින් මඩකලපුව සිංහල ජනයාට සහනයන් දෙනවනේ.

සහජීවනයට මුවාවෙලා අන්තවාදීන් මේ වන විට සිංහල ජනයා ඉවත් කරලා නැඟෙනහිර බොදු උරුමය නැත්තටම නැති කරලා විනාශ කරලා දාමින් සිටිනවා. අපටත් අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනයා සමඟ සාමයෙන් සිටිය හැකි වටපිටාවක්‌. නමුත් අන්තවාදීන්ගේ වුවමනාවන් මත අහිංසක ජනතාව අවුස්‌සලා ඒ හරහා මේ වනවිට අන්තවාදීන් තමන්ගේ වැඩ හොඳින් කරගෙන යනවා. මේ වන විට මඩකලපුව සිංහල ජනයාට වත්මන් රජයෙන්ද කිසි සහනයක්‌ නොමැතිව කල්ලතෝනියන්ගේ තත්ත්වයට පත්ව තිබෙනවා. අසරණ සිංහලයා ගැන සහ විනාශ වන වසර සියදහස්‌ ගණනක අපේ උරුමය ගැන කතා කරද්දී අපිට ජාතිවාදී ලේබලය අලවනවා. එහෙම කරලා ඊළම ගැන කතා කරන ජාතිවාදීන්ව හුරතල් කරනවා යෑයි පවසමින් සුමනරතන හිමියෝ ‘ඉරිදා දිවයින’ සමඟ මඩකලපුවේ වත්මනේ සිංහලයාගේ ශෝකාන්තය පිsළිබඳ පවසා සිටියහ.

සුසන්ත අමර බන්දු

Related posts

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

Admin

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

Admin

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට

colombotoday

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday