Colombo Today Local News

අන්තර්ජාලයෙන් ගණිකා වෙළඳාම කළ Lanka-Ads නැවතුනේ මෙහෙමයි.

මාස කිහිපයකට ඉහතදී බම්බලපිටිය ප‍්‍රදේශයේදී තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී පාසල් සිසුවෙකු බරපතළ තුවාල ලැබුවේය. බම්බලපිටිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

 පරීක්ෂණවල දී හෙළි වූයේ මෙම සිසුවා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු බවයි. මෙම සිසුවාට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා දෙමව්පියන් විසින් නවීන පන්නයේ ජංගම දුරකථනයක් ලබාදී තිබේ. ඔහු එම දුරකථනය ඔස්සේ මෙරට ගණිකාවන්ගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියකට පිවිස තිබුණි.

 එම වෙබ් අඩවියට පිවිසි ඔහු එහි ගණිකා සේවය සපයන තරුණියක් සමග තොරතුරු හුවමාරු කරගෙන තිබුණි. ඉන්පසු එම තරුණියගේ කීමට අනුව මුදලට ලිංගික පහස ලැබීම සඳහා පෙර කී බම්බලපිටියේ තෙමහල් ගොඩනැගිල්ල වෙත ගොස් තිබුණි.

 නියමිත දිනයේ ලිංගික සේවය ලබාගැනීමට එම ස්ථානයට ඔහු ගොස් තිබුණි. තරුණිය ඔහු පාසල් සිසුවෙක් බව දැනගෙන ඇත්තේ ඒ මොහොතේදීය. පාසල් සිසුවකු වුවත් තරුණියට එය අදාළ වූයේ නැත. ඇයට අවශ්‍ය වූයේ තම ශරීරය විකුණා මුදල් ලබා ගැනීමටයි.

 එම තරුණිය සිසුවාගෙන් මුදල් කොපමණ තිබෙනවා දැයි විමසා තිබේ. එවිට එම සිසුවා පවසා ඇත්තේ රුපියල් දාහක් ඇති බවයි. තරුණිය එම සිසුවා කාමරය තුළට ගෙන මුදල් ද ඉල්ලාගෙන ටික වෙලාවකින් ”පොලිසියෙන් පොලිසියෙන්” යනුවෙන් කෑගසා කාමරයෙන් එළියට පැන තිබේ. තරුණිය එලෙස කර ඇත්තේ පාසල් සිසුවා බිය කිරීමටය.

 ඉන් බොහෝ සේ කලබලයට පත්වූ සිසුවා පඩි පෙළෙන් පහළට නොගොස් අසල වූ ඉනිමගක් ඔස්සේ පහළට බැසීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුවී තිබුණි.

ganika2

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමේදී හෙළිවූයේ lanka-ads නමින් පවත්වාගෙන ගිය මෙම වෙබ් අඩවිය කුඩා ළමයෙකුට වුවත් පිවිසිය හැකි ආකාරයට සකසා ඇති බවයි. එම වෙබ් අඩවියේ විවිධ ප‍්‍රදේශවල ලිංගික සේවය සපයන තරුණියන්ගේ දැන්වීම් 150 ක් පමණ දිනපතා පළවේ. දැන්වීමට වැඩි අවධානයක් ලබාගැනීම සඳහා මුදල් ගෙවා එම දැන්වීම් වෙබ් අඩවියේ ප‍්‍රමුඛ ස්ථානයක ද රැඳවිය හැකිය. තවද මෙම වෙබ් අඩවියේ හිමිකරු දිනකට එක් ලක්ෂ පනස්දහසක් පමණ මුදලක් උපයාගෙන තිබුණි. ඒ අනුව ඔහුගේ මාසික ආදායම ආසන්න වශයෙන් ලක්ෂ 45ක් පමණ වෙයි.

 මෙම පැමිණිල්ල විභාග වූ දිනවලම එනම් 2021 ජනවාරි මුල් සතියේම බම්බලපිටිය පොලිසිය විසින් lanka ads නමැති මෙම වෙබ් අඩවිය අවහිර කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා තිබුණි. එහෙත් එය ලංකාව තුළ අවහිර කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම කටයුතු කර තිබුණේ නැත.

 ලංකා ඇඞ්ස් නමැති මෙම වෙබ් අඩවිය එහි හිමිකරු විසින්ම හදිසියේම පසුගිය වෙසක් පොහොය දා නවතා දැමුවේය. ඒ ඔහුගේ අනන්‍යතාවය ලංකාවේ සුප‍්‍රකට අන්තර්ජාල සමාජයක් ඔස්සේ හෙළිදරව් කිරීමත් සමගයි. ඔහු ප‍්‍රකට සමාගමක ප‍්‍රධාන තාක්ෂණික නිලධාරියා වශයෙන් සේවය කළ අයෙකු වේ.

 පුදුමයට කරුණ වන්නේ ලංකාවේ අන්තර්ජාල ගණිකා සේවය වෙබ් අඩවිය මෙහෙයවූ තැනැත්තාම ලංකාවේ ජනප‍්‍රිය ධර්මය බෙදාහරින පිරිත් වෙබ් අඩවියක් ද පවත්වාගෙන යෑමයි. සිය අනන්‍යතාවය හෙළිවීමත් සමග වෙසක් පොහොය දිනයේ වෙබ් අඩවිය නවතා දමන ඔහු එහි අම්බපාලි ජාතකය ප‍්‍රදර්ශනය කොට තිබේ. එමෙන්ම එහි ”බොහෝ ලස්සන දවස් පවා නිමවන දවසක් ඇති බව” ඡායාරූපයකින් පෙන්වා ඇත්තේ සමාජයට විශාල සේවයක් කළ වෙබ් අඩවියක් නවතා දමා ඇති අයුරිනි.

 සමාජයට මහත් පිළිලයක් වූ ලංකා ඇඞ්ස් නමැති මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ පුද්ගලයා ගැන අන්තර්ජාල ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක්ද මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කර තිබුණි. පහතින් පෙළ ගැසෙන්නේ ඉන් උපුටා ගත් කොටසකි.

 ”ලිංගිකත්වය සොයා යන අවුරුදු 15-24 ත් අතර තරුණ පරම්පරාව ඉලක්ක කරගෙන ලංකා ඇඞ්ස් https(//lanka-ads.com නමින් වෙබ් අඩවියක් දුමිඳු සම්පත් පෙරේරා නම් අයෙකු පවත්වාගෙන යයි. මෙය සාමාන්‍ය ලැයිස්තුගත වෙබ් අඩවියක් ලෙස පෙනෙන්නට තිබුණත් මෙය ගණිකාවන්ගේ සහ තමන්ගේ ලිංගික ආශාව සන්තර්පණය කරගන්නට වෙර දරන්නන්ගේ තෝතැන්නකි.”

 ”මෙම වෙබ් අඩවිය පිටට පෙනෙන්නේ තවත් එක් දැන්වීම් වෙබ් අඩවියක් ලෙසිනි. එහෙත් එහි ඇත්තේ ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ගේ, සම්බාහන මධ්‍යස්ථානයන්වල සේවය කරන්නන්ගේ සහ සංක‍්‍රාන්තික ලිංගිකයන්ගේ දැන්වීම් පමණි.”

 වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවිවල අනිවාර්යෙන්ම අවුරුදු 18 ට වැඩි ද නැද්ද යන්න පරික්ෂා කළ යුතු නමුත් මේ ගණිකා වෙබ් අඩවියෙන් එලෙස පරීක්ෂාවක් සිදු කරන්නේ නැත. එනම් කුඩා දරුවෙක්ට පවා වැරදීමකින් හෝ මේ වෙබ් අඩවියට බාධාවකින් තොරව පිවිසීමට හැකියාව උදා කරදී තිබේ.”

 ”මෙම වෙබ් අඩවි නිර්මාතෘ පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ පානදුර නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ පිරිමි විද්‍යාලයකිනි. පසුව ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා තිබේ. වර්තමානයේ ඔහු ඔස්ටේ‍්‍රලියානු අනුබද්ධ සමාගමක මෘදුකාංග සංවර්ධන කළමනාකරුවෙක් ලෙස සේවය කරයි. විවාහ වී සිටින මොහු දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.”

 ”මෙම වෙබ් අඩවිය මොහු පටන් ගන්නේ 2009 සිටයි. එතැන් පටන් ක‍්‍රමිකව ගණිකාවන්ගේ තොරතුරු සපයන වෙබ් අඩවියක් බවට පත් කරගන්නවා. මොහුගේ ඉලක්කගත පිරිස වන්නේ අවුරුදු 15-24ත් අතර පාසල් දරුවන් ඇතුළු තරුණ පරම්පරාවයි. පැහැදිලිවම මොහු මේ ප‍්‍රවර්ධනය කරන්නේ මිනිස් ජාවාරමයි.”

 ”මෙම වෙබ් අඩවිය තුළ දැන්වීම් පළ කළ හැකිය. එහිදී දැන්වීම් පළකරන තැනැත්තා විසින් මුදල් ගෙවා පළ කළ යුතුය. එය කෙලින්ම ඊසි කෑෂ් මගින් මොහුගේ ගිණුමට බැරවෙයි. ඉන්පසු මෙම අඩවියට පැමිණ සේවය ලබාගන්නන් ගණිකාවන්ට මුදල් ගෙවීම කළ යුතුය. කොරෝනා වසංගතය තියෙද්දී පවා මොහුගේ මෙම මිනිස් ජාවාරම කරගෙන යයි.”

 ”මෙරට ප‍්‍රචලිත ෆෝරමයක මෙම වෙබ් අඩවිය ගැන කතාබහක් ඇතිවිය. එහිදී අප කළ සොයාබැලීමේදී දැනගත්තේ මොහු කලින් පිරිත්ගදරට http(//pirith.org/ නම් වෙබ් අඩවිය ද පවත්වාගෙන යන බවයි. එහි තිබූ දත්ත ලංකා ඇඞ්ස්වල ඇති දත්ත හා සසඳා බැලූ විට ඒවායේ අයිතිය එකම පුද්ගලයෙකුගේ බව තහවුරු වේ. මොහුගේ මේ සටකපට සෙල්ලම හෙළිදරව් වූ වහාම මොහු ඔහුගේ සමාජ ජාල ගිණුම් ඉවත් කරගත් අතර පිරිත් වෙබ් අඩවියේ ඔහුගේ නම සඳහන් වූ ස්ථානය නැවත සංස්කරණය කරගෙන තිබුණි.”

 ”අවුරුදු 11ක් තිස්සේ මොහුගේ මෙම මිනිස් ජාවාරම හා ගණිකා ජාවාරම් ජයටම පවත්වා ගෙන ගොස් ඇත්තේ නීතියේ හිඩැස් තුළිනි. මොහු සිතන්නට ඇත්තේ මෙම සමාජය වල් වද්දන ක‍්‍රියාවලිය ගැන අන් අය ගෙන් සැඟවී කළ හැකි බවයි.”

 වසර ගණනක් තිස්සේ පවත්වාගෙන ගිය සමාජයට හානිකර ලංකා ඇඞ් නමැති මෙම වෙබ් අඩවිය පිළිබඳව සහ එය පවත්වාගෙන ගිය පුද්ගලයා ගැන සියලූ තොරතුරු දැන් හෙළි වී තිබේ. වගකිවයුතු නිලධරයනි වහාම මේ පිළිබඳව සොයා බලා ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනු.

Divaina

Related posts

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin

මහ සෑ අභියස ජනපති ගෝඨාභයගේ ඓතිහාසික කතාව අති විශිෂ්ඨයි, අභිමානනීයයි – අස්ගිරි මහ විහාරයෙන් පැසසුම්

colombotoday

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

colombotoday