Colombo Today Local NewsHot News

“උපන් මවත් වැදූ මවත් ස්වර්ගයට වඩා වටී” එනිසා මේ රටේ මිනිසුන්ට හිනාවෙන්න පුළුවන් පරිසරයක් හදන්න – ඥානසාර හිමි

සීයාගේ කාලේත්, තාත්තගේ කාලේත්, අදත්… ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි, යනුවෙන් මෙරට නිර්වචනය කරන බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද(20) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

“බුදු සරණයි” කියලා දාලා හරක් පටවන් යන ලොරියක් වගෙයි යහපාලනය යන බෝඩ් එක දාලා යන මේ ආණ්ඩුව” යැයි සඳහන් කර සිටි ඥානසාර හිමි මේ අය ගවයෝ රකින ගොපලු වගේ කියවනවා… කියවනවා… ඉවරයක් නෑ අපිට තියෙන්නේ සංදර්ශන බලාගෙන ඉන්නදැයි සඳහන් කර සිටියේය.

උපන් මවත් වැදූ මවත් ස්වර්ගයට වඩා වටී කියන ආදර්ශය ගෙන මේ රටේ මිනිසුන්ට හිනාවෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන ලෙස රටට ආදරේ කරන දේශපාලන ධාරාවේ සිටින සෙන්පතියන්ගෙන් ඉල්ලා සිටින බව මෙහිදී ඥානසාර හිමි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි…

අද අපි ඉන්නෙ මීට අවුරුදු 200කට කලින් 1918 මාර්තු 17 වෙනිදා කන්ද උඩරට, ඌව වෙල්ලස්ස කැරැල්ල, ඒ ජාතික විමුක්ති අරගලය පරාජයට පත්වෙලා හරියටම අවුරුදු දෙසීයයි. අපිට පේනවා 2015 ජනවාරි 08 වෙනිදා ඉදලා මේ ගතවුනු කාලසීමාව තුල 1818 වුනා වගේම සිංහල සෙන්පතියන්ගේ ඉවරයක් නැති බල ලෝභය අදූරදර්ශී භාවය අසමගිය ඒ ඒ බල කදවුරු වල ඉදගෙන මේ රට හසුරුවන්න යෑම නිසා එදත් අපිට මේ රට අහිමි වුනා. සම්පූර්ණයෙන්ම මේ රට යටත් විජිතයක් වුනා. දහ දාහක් එදා අපේ රණශූර මී මුතුන් ජීවිත දුන්නා.

අපිට පේනවා හරියටම අවුදුරු 200 කට පස්සෙ පටිගත කල රූප රාමු පෙලක් චිත්‍රපටයක් අපි ඉදිරිපිට ප්‍රදර්ශනය කරනවා වගේ ඇත්තටම අර 1918 ජාතික විමුක්ති අරගලයෙදි බෙදිලා රටත් ජාතියත් අනාථ කරලා එදා ඒ බෙදුනු සෙම්පතියො ද අදත් මේ දේශපාලන භූමිකාව කරන්නෙ කියලා. මොකද අපි බෞද්ධයො හැටියට නැවත ඉපදීම පුනර්භවය විශ්වාස කරනවනෙ. අපිට පේනවා ආත්ම භාව ගානකින් මැරි මැරී ඉපදුනු මිනිස්සු වෙන්න ඕනි මේ නැවත ඉපදිලා මේ භූමිකා රගදක්වන්නෙ කියලා.

අපි මේ රටේ ජනාධිපතිවරයට කියනවා කරුණාකරලා මේ රටට ජීවයක් දෙන්න. පහුගිය කාලෙම 94 ඉදලම සාකච්ඡා වුනා විධායක බලතල වැඩියි කියලා. අපි අහන්න ඕනි මේ විධායක බලතල කොස් කොටන්නද කියලා. දෙයියනේ තමන් නං මේ රටේ නායකයා ඒ විධායක බලතල පාවිච්චි කරලා තමුසෙලා ආණ්ඩුවක් හදාගන්නවා. මෙන්න මෙච්චරයි ඇමති මණ්ඩලය. මේ  ප්‍රජාතන්ත්‍රවාදය කිය කියා මේ බටහිරෙන් ආපු මේ කසිකබල් මතවාද වලටයි සිවිල් සංවිධාන කියන සිවල් සංවිධාන වලට ඕනි විදිහට මේ රට කරන්න ගියොත් අපිට මේ රටක් නැතිවෙනවා.

ඒ නිසා දේශපාලන පක්ෂ වල උදවියටත් අපිට කියන්න තියෙන්නෙ, හරියට ගෙයක් විදිහට සැලකුවොත් මේ රට කාමර වලට රණ්ඩුවෙලා වැඩක් නෑ. මොකද කාමර බෙදාගන්න කලින් ගේ බේරගෙන ඉන්න එපෑ. ඒ නිසා මේ එක එක නගරං පාන, හයිරං පාන චණ්ඩි වාක්‍ය දොඩන මේ දේශපාලන නායකයන්ට අපි කියනවා කරුණාකරලා ඔය ඉන්න ලෙවල් වලින් බැහැලා මේ රට ගැන හිතන්න කියලා.

අපි දන්නවා අපි මේ කුණු ප්‍රජාතන්ත්‍රවාදී මායාව ඇතුලෙ සිංහලයො එක්ක වැඩක් කරන්න පුලුවන් ද? අවම තරමින් ගරාජ් එකක්, වැඩපලක් තියා පන්සලක්වත් කරන්න බෑ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය තියාගෙන ගියොත්. ඒ නිසා මේ බහුබූත නරි නාටක සපයන්නෙ නැතුව අපිට රටක් ඕනි. ඒ රට ගෙනියන්න ආණ්ඩුවක් ඕනි. ඒ ආණ්ඩුව ගෙනියන්න මිනිස්සු ටිකක් ඕනි. ඒකයි අපි ඇහුවෙ මේ විධායක බලතල කොස් කොටන්නද කියලා. කරුණාකරලා යූඑන්පී ද, ශ්‍රී ලංකා ද, ඒකාබද්ධ ද, ඒ එකක්වත් අපට අදාල නෑ. අපි මේ රටේ සිංහල නායකයන්ට ආරාධනා කරනවා අර වලිගය විසින් බල්ලා නටවන න්‍යායට යන්නෙ නැතුව තම තමන්ගේ උද්ධච්චකම්, දඩබ්බරකම්  එකිනෙකාට තියෙන ඇරියස් කවර් කරගන්න රට බිල්ලට දෙන්නෙ නැතුව එකතුවෙන්න කියලා.

දැන් බලන් ඉන්නවා සමහරු පලිගන්න වෛරය ක්‍රෝධය දෙන්නං උඹලට බැටේ කියලා කොහෙද බුද්ධාගම තියෙන්නෙ? උදේ හවස පන්සිල් අරගෙන සුදු රෙදි ඇදගෙන පන්සල් යන මිනිස්සුන්ට කෝ බෞද්ධාගමේ භාවිතාව ? අපි ඊයෙ දැක්කා රාමඤ්ඤ නිකායෙ මහ නායක හාමුදුරුවො, ඒ වගේ රට වෙනුවෙන් පෙනී හිටපු හාමුදුරුවරු, ඒ වගේම අස්ගිරියෙන් මල්වත්තෙන් හැම පැත්තෙන්ම එකම විධානයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ ඉල්ලීමට කන්දීලා මේ රට නිවැරදි දිශාවකට යොමුකරගන්න කියලා අපි කියනවා. වහාම මේ සිංහල සෙන්පතියන් සිංහල දේශපාලකයන් සාමග්‍රියට පත්විය යුතුයි. මොකද මේක ඇතුලෙ එහෙම සමගියකට පත් නොවුනොත් ඉතාම දරුණු අගාධයකට මේ රට යමින් තියෙනවා. මොකද නොයෙක් විදිහෙ රට බෙදුම්වාදයට තල්ලු කරන විජාතික බලවේග පිරබාහරන් මරණයට පත්කිරීමෙන් ඇතිවෙච්ච ඒවෛරය ක්‍රෝධය මුල්කරගත්තු කල්ලි කණ්ඩායම්. අපි දැක්කා ඊයෙ ජාතික පුවත්පතක් වාර්තා කරලා තියෙනවා රාජ්‍ය නොවන සංවිධායක් ඩොලර් මිලියන ගණනක් ගෙනහල්ලා තියෙනවා මේ රටේ සංහිදියාව මේ වැඩපිලිවෙලවල් අඩපණ කරලා මත හදන්න. කොයි කාලෙත් එහෙමයි අපිට මතකයි ඒ කාලේ ගොර්බෝෆ්, ඉන්ටර්නැෂනල් ඇලර්ට් වගේ සංවිධාන තිබුනා. ඒ සංවිධාන හැමදාම සිංහලයන්ගේ මතය මොට කරන්න වැඩපිලිවෙලවල් හැදුවා. එන්න එන්න රුපියල කඩා වැටෙනවා. ඩොලර් එක නගිනවා කොටස් වෙලදපොල වැටිලා. ව්‍යාපාරිකයො අපිට කථා කරලා කියනවා දැන් හාමුදුරුවනේ බෙල්ලෙ වැල දාගන්න වෙලා තියෙන්නෙ කියලා.  දේශපාලකයො කයිවාරු ගහයි. ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑනේ. උන්ට කව්රු හිටියත් එකයි. ඒ අය එයාලගෙ පදනම් හදාගෙන තියෙන්නෙ. දැන් ඔය ඉන්න කණ්ඩායමේ ඕනි නං 10-15ක් ඇති අමාරුවෙන් ජීවත්වෙන. අනෙක් අය තමන්ගේ පසුබිම හදගෙන ඉවරයි. ඒත් මේ රටේ මිනිස්සු මොකද්ද මේ කරලා තියෙන කරුමෙ. අර කථාවක් තියෙන්නෙ කන්දක් විලිලාලා මොකද්ද එකක් වැදුවා වගේ කියලා. දැන් නහයෙන් අඩලා අඩලා චන්දයක් ඉල්ලා ගත්තා. දැන් ප්‍රාදේශීය සභා ටික පිහිටුවා ගන්න බෑ. ඒක කරගන්න බැරි උන් කොහෙන්ද ආණ්ඩුවක් හදන්නෙ ?  ඒ නිසා අසාර්ථක සෙබලු පැත්තකට වෙන්න ඕනි. එක්කො මේක රනිල්ට කරන්න දෙන්න ඕනි ඇගිලි ගහන්නෙ නැතුව. එක්කො මේක කරයි, එක්කො ඉවර කරයි.

එහෙම නැත්තං මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ සාතිශය බහුතරයකගෙ අප්පච්චි බවට පත්වෙලා ඉන්නවනෙ, ඒ මනුස්සයට විතරයි මේක කරන්න පුලුවන් කියලා. එක්කො මහින්ද මහත්තයට මේක දීලා සිරිසේන මහත්තයා පැත්තකට වෙලා ඉදලා හරි මොකක් හරි ආණ්ඩුවක් රටට ඕනි. මෙහෙම ගන්ධබ්බ අවස්ථාවක් හැටියට මේක යන්න දෙන්න බෑ. මේ රටේ තැලෙන, පොඩිවෙන, දුක් විදින බඩගින්දර උහුලගන්න බැරුව ඉන්න, බෙහෙත් පෙත්තක් ගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් අපි ඒ ඉල්ලීම කරනවා. සමහර විට මිනිස්සු එක වේලයි කන්නෙ. මේ යක්කු මේ බයිලා ගහනවා. මොකද වැටෙන්න රට. පක්ෂ හදාගන්න පුලුවන්. රට ආපස්සට ගිහින් තියෙනවා ගව් ගානක්. මේක මෙතනින් බේර නොගත්තොත් මිනිස්සුන්ගේ සිත්වල තියෙන ආතතිය ඉතාම දරුණු විදිහට පුපුරායන්න පුලුවන්. ඒ අනුව තමයි කැරලි කෝලාහල රටවල් වල ඇතිවෙන්නෙ. ඒ නිසා මේ රටේ තරුණ ජීවත තවදුරටත් අපිට ඉඩදෙන්න බෑ. තරුණයො අපිට ඇහෙනවා කථා කරනවා මුන්ට ගහලා දාන්න ඕනි. වෙඩිතියලා දාන්න ඕනි මේක හරියන්නෑ මුන් මේ විනාශ කරන්නෙ අපේ අනාගතය කියලා එහෙම තැන් තැන්වල කදවුරු බදිමින් ඉන්නවා. අපිට ඒවා ඇහෙනවා. ඒ නිසා මේ අර්බුදය ඛේදවාචකය හමුවේ කව්රු කියන එකද මේ මිනිස්සු අහන්නෙ ? ඒ නිසා එක සම්මුතියකට ඇවිත් රට එකට කියන අරමුණ යටතේ වහාම සමගියට පත්වෙලා වැඩකරන්න කියන ඉල්ලීම අපි කරන්න කැමතියි.

ඊලගට දෙවනි කාරණාව තමයි මේ රට ඉතාම දරුණු විදිහට පිරිහිලා. අපි ජාතියක් විදිහට සමස්ථ ජතියේම අධ්‍යාත්මයම පිරිහිච්ච වෙලාවකයි මේ කථා කරන්නෙ. ශාසනික පරිහානිය, ස්වයං පරිහානිය කෙලවරක් නැති සංස්කෘතික ආක්‍රමණ ඒ විතරක් නෙවෙයි නොයෙක් විදිහේ පිරිහීමේ දොරටු විවර කරමින් ඇති වැඩපිලිවෙලවල් විසින් මේ රට වෙලා ගෙන ඉන්නවා. ඉතින් අපි කල්පනා කලා සංවිධානයක් විදිහට මේ අවුරුද්දෙ ඉතාමත් දියුනු ආධ්‍යාත්මික වැඩපිලිවෙලක් ශක්තිමත් පදනමක් ඇතුව පිහිටුවන්න ඉතිහාසයේ දෙවනි වතාවට විශාල පිංකමක් සිද්ධ කරන්න අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයේ. මොකද මේ රට වැටෙනවා දවසින් දවස අපිට බලාගෙන ඉන්න බෑ. අපි මේ රටට ආදරෙයි. සිංහලයන් හැටියට අපිට තියෙන එකම රට මෙච්චරයි අවුරුදු දෙදදහස් ගානක් මේක රැක්කා. අවුරුදු දහස් ගානක් එක දිගට බණ අහපු ජාතියක් අපි. මේ මිනිස්සුන්ගෙ මතය විනාශ කරන්න මේ මිනිස්සුන්ගේ දර්ශනය අරමුණු පරමාර්ථ මොට කරන්න සමත්වෙලා තියෙනවා මේ අවුරුදු 70 තුල මේ දේශපාලන නායකයො තම තමන්ගේ බලය වෙනුවෙන්.

ඒ නිසා අපි කල්පනා කෙරුවා ඉතිහාසයේ එකම එක වතාවයි අපි මේ සිද්ධ කරන්නට යන පිංකම සිද්ධවෙලා තියෙන්නෙ. සංඝානුභාවේන.. සංගායනාවට කාලයයි. .ජාතියේ චීවර පූජාව.. ශාසානාභිවෘද්ධිය උදෙසා වූ සම්මා වායාමය. අපි ඉලක්කයක් තබාගෙන තියෙනවා මැයි 19 වෙනිදා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ලග මේ චීවර පූජාව කරන්න. මේ වැඩපිලිවෙලේ තේමාව සංඝානුභාවෙන.. සංගායනාවට කාලයයි. මේ ජාතියේ ඉදිරි පැවැත්ම පිලිබද විශ්වාසයක් ඇතිකරගන්න නම් හැම ක්ෂේත්‍රයක් කෙරෙහිම ජාතික, ආගමික, අධ්‍යාපනික, නීති, කෘෂිකාර්මික, ආර්ථික මේ හැම ක්ෂේත්‍රයක් පිලිබදවම අපි යම්කිසි සංගායනාවක් කල යුතුයි. මේ රට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට නතු කලයුතුයි. මොකද හැම අතින්ම රෝගී වූ ආකල්පමය අතින් රෝගී වුනු කම්මැලි ජාතියක් ‍වෙලා. මේ රටේ ගෑනු ටික නැත්තං මේ රටත් නෑ, ශාසනයත් නෑ, අපිත් නෑ. ඒ ගෑනුන්ගෙ ධෛර්ය නැත්තං. පිරිමි ටික ඔහේ බිබී ඇවිදිනවා, කාලය නාස්ති කරනවා, වැඩ කරන්නෙ නෑ. ටයි කොට් දාගත්තු මහත්තුරු වගේ, කම්කරුවෙක් නෑ. ඉතින් කොහොමද අපි මේ රට නගන්නෙ ?

අපි කල්පනා කලා ඉස්සර වෙලා මේ රටේ පොදුවේ සිංහල දමිල මුස්ලිම් බර්ගර් කියලා කිසි බේදයක් නෑ. අපිට කිසි ජනවර්ගයක් කෙරෙයි වෛරයක් නෑ. හැබැයි අපිට අනාගතේ අනතුරක් වියහැකි මූලධර්මවාදී ආගමික කල්ලි පිලිබද කියවීම එහෙමමයි. එක්කො ඒ අය වෙනම හදුනාගෙන නිවැරදි මගට ගන්න ඕනි. එහෙම නැත්තං නීති අනපනත් මගින් ඒවා නතර කරගන්න ඕනි. ඒ අනතුර අපි රටට පෙන්නලා දුන්නා. එතනින් එහාට ඒවට වැඩපිලිවෙලවල් හදන එක අපේ රාජකාරිය නෙවෙයි. ඒ නිසා මේ රට තුල උපන් සියලුම සිංහල දෙමල මැලේ මුස්ලිම් බර්ගර් ආදී සියලුම මිනිස්සුන්ට ආදරණීය ලෙස අපි ආරාධනා කරනවා මේ අති දැවැන්ත පින්කමත් එක්ක එකතුවෙන්න කියලා.

මේ පිංකමට නිදානයක් තියෙනවා. අනුරාධපුර යුගයේ වලගම්බා රජතුමා සතුරු ආක්‍රමණ නිසා අවු 14 ක් හැංගිලා හිටියා මේ රට පුරාම තැන් තැන්වල. ඒ කාලෙ මේ රටේ හාමුදුරුවරු තමයි එතුමව රැකගත්තෙ පිණ්ඩපාතෙ කරලා තමයි එතුමට කුසට ආහාර දුන්නෙ. එතුමගෙ කාලෙ ආපු බැමිණිතියාසාය කියන දරුණු නියගය කෙලවර වුනේ මහා විනාශයකින්. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මුඛ පරම්පරාවෙන් ගෙනාපු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන්න අවශ්‍ය පසුබිම හැදුනෙ. ඒ රජතුමාගෙ මල්ලිගෙ පුතා තමයි මහසිලුමහතිස් රජතුමා හැටියට වලගම්බා රජතුමාගෙන් පස්සෙ රජවෙන්නෙ. ඒ රජතුමා පහුගිය රජ කාලෙ වුනු සතුරු අනතුරු ස්වභාවික විපත් දැකලා මගේ රාජ්‍ය කාලයතුල එවැනි අතුරු ආන්තරා නොවේවා  කියන ප්‍රාර්ථනාවෙන් මහා පිංකමක් කරලා තියෙනවා හාමුදුරුවරු සාමග්‍රියේ පිහිටුවලා ඒ ආධායාත්මක ඒ පදනම මත පිහිටුවලා දැහැමෙන් සෙමෙන් අවුරුදු 14ක් රට පාලනය කරලා තියෙනවා. මහා වංශයේ 33 වෙනි පරිච්ඡේදයේ හරි අපූරුවට මේ පිංකම ගැන විග්‍රහ කරලා තියෙනවා පමණක් නෙවෙයි එහි සාක්ෂි දරලා තියෙනාව ඒ කාලය තුල එවැනි කිසිදු විපතක් හෝ සතුරු අනතුරක් සිදුනොවුනු බව. ඒ කිව්වෙ ජාතිය සමගියට පත්වුනා. හාමුදුරුවරු ඒකට ආධයාත්මික නායකත්වය දුන්නා. රට සශ්‍රීක වුනා.

මේ සංසිද්ධිය යටත්විජිත යුගයේ දී මේ ජාතියට පණ දෙන්න පෑන හසුරවපු සිකීම් ජාතික එස් මහින්ද හාමුදුරුවො සිංහලයො වෙනුවෙන් ලියපු ජාතික තොටිල්ල කියන පොතේ මේ මහසිලු මහතිස් රජතුමා කරපු පිංකම ගැන මෙහෙම ලස්සන කවියක් ලියනවා.

මහසිලු මහතිස් නිරිදා
සග සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කල පිංකම සිතනු සොදා

ඉතින් අපි මේ රට වැටෙන තැන් වලදි ඉතිහාසයේ අපේ රණශූර මී මුතුන් කරපු මේ වගේ කරපු කැපකිරීම් ගැන මහාවංශයේ 33 පරිච්ඡේදයත් මේ කවියත් විමසලා බලන කොට මේ වගේ කරුණු සම්පූර්ණ කරලා තියෙනවා.

අපේ පරමාර්ථ කිහිපයක් තියෙනවා මේ පින්කමේ. අවුරුදු 200ක් පිරෙනවා මේ අවුරුද්දට යටත් විජිතයක් වෙලා. ඒ විමුක්ති අරගලයේ දී මැරුණු අපේ රණශූර ආදි මුතුන් මිත්තන්ට පින් පැමිණවීම එක අරමුණක්. ඒ වගේම අවුරුදු 70 ක් දැන් අපි නිදහස ලබලා. මේ කාලය තුල කී දාහක් මැරුණද අපේ මිනිස්සු අභ්‍යන්තර කෝලාහල නිසා. අපේ සූත්‍ර දේශනාවල තියෙනවා වෛරයෙන් ද්වේශයෙන් පටිඝයෙන්, පලි ගැනීමේ චේතනාවෙන් කව්රු හරි මැරුණොත් ඒ අය, මිනිස්සුන්ට, මේ පරිසරයට හානි පමුණවනවා කියලා. ඉතින් අපිට හිතෙනවා එහෙමදෝ මේ වෙන්නෙ කියලා දැන්. ඔය තිරෝකුඩ්ඩ ආදී සූත්‍ර වල දක්වලා තියෙනවා එහෙම වෛර චේතනා වලින් මැරුණහම ඒ අය ඔය හන්දිවල වගේ තැන්තැන් වල පලිගැනීමේ චේතනාවෙන් ඉන්නවා කියලා. ඒකනෙ බුදුහාමුදුරුවො මේ හාමුදුරුවරුන්ට ඕනි ඕනි විදිහට අතපය වත් එහෙ මෙහෙ විසි කරන්න එපා කියලා කායසංවරයේ පිහිටෙව්වෙ. මොකද සිවුරට හරි බයයි ඒ ආත්ම. හිත දියුනු කරපු අයට ඒ අයව පේනවා ඒ සද්ධ ඇහෙනවා. ඉතින් අපිට හිතෙනවා මේ රජමැදුරු වල වෙන දේවල් බලනකොට මුන්ට මේ ආත්මභාව ආරූඩ වෙලා වත්ද කියාල.

ඉතින් ඒ අනුව අපි තීරණය කලා ඒ කරපු සංඝ සාමග්‍රිය ගොඩ නගලා කරපු පිංකම නැවතත් කරලා මේ වැටුනු රටට ආධාත්මික මගපෙන්වීමක් කරන්න. මේ රටම ඉතාම දරුණු ගණයේ අධර්මවාදීන් අතට මේ බලය හසුරුවන්නන් හා ඔවුන්ට උපදෙස් දෙන්නනං අතට පත්වෙලා තියෙනවා. මේක බුද්ධ භූමියක්. එහෙම කිව්වා කියලා අනෙක් ආගමිකයන්ට හිත් රිදෙන්න ඕනි නෑ. මොකද බුදුහාමුදුරුවො තුන් වතාවක් මේ රටට වැඩම කරලා මේක බුද්ධාභිෂේකයට පත්කලා. ඒ නිසා මේ රටේ  දෙමල මුස්ලිම් හැමෝගෙම වගකීම මේ බුද්ධභෝග ටික රකින එක මිසක් බුද්ධ භෝග කොල්ලකන එක නෙවෙයි. ඒ පදනම ආරක්ෂා කරගත්තොත් හැමෝටම සහජීවනයෙන් ඉන්න පුලුවන්.

ඒත් බලන්නකො අදත් මේ නායකයො මිනිස්සු වර්ග කරනවා බෙදනවා. කව්ද මොන නායකයද ආරාධනා කරන්නෙ එන්න අපි එකතුවෙලා රට හදමු කියලා ? තමන්ගේ දේශපාලනය කරගන්න දෙමල මිනිස්සු එහෙන් පැත්තකට කරනවා මුස්ලිම් මිනිස්සු එහෙන් පැත්තකට කරනවා.

දැන් මේ දවස්වල අපි නිහඩව ඉන්නකොට මුස්ලිම් නායකයො අපෙන් අහනවා හාමුදුරුවනේ අපිට පොඩ්ඩක් ගහන්නකො. ඇයි කියලා අහපුවහම, නෑ එතකොට අපිට පුලුවන්ලු ලිස්ට් එකේ උඩට එන්න. මොන තරම් තුච්ඡ ද මේ දේශපාලන ක්‍රමය ?

ඒ නිසා අපි කල්පනා කෙරුවා තරුණ තරුණියො 60000 ක් එක්ක සිවුරු 60000 ක පූජාවක් පවත්වලා සංගායනාවට කාලයයි නමින් මේ වැඩපිලිවෙල රට තුල ක්‍රියාත්මක කරන්න දැන් සියලු කටයුතු අපි සංවිධානය කරගෙන යනවා. අපෙ මාධ්‍ය මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ සදහා අවශ්‍ය මාධ්‍ය සහයෝගය අපිට දෙන්න කියලා. මේ හරහා රට තුල විශාල ආධයාත්මකි ප්‍රබෝධයක් ඇතිවෙයි කියලා අපි හිතනවා.

මේ රට නගන්න උවමනා කරන වැඩපිලිවෙලවල් බොහෝමයක් මේ තුල සාකච්ඡා කල හැකියි. තායිලන්තය වගේ රටවල හාමුදුරුවරු තමන්ගේ පන්සල් ඉඩම් සහ රජයේ ඉඩම් වල තරුණ ලමයි විශ්වවිද්‍යාල දරුවො එක්ක එකතුවෙලා දැන් සදුන් ගස් වවනවා. කයිවාරු ගහ ගහ මේ වගේ උද්ඝෝෂණය කර කර ඉන්නෙ නෑ. ඇයි ඒවා ඒ රටේ අනාගත සංචිත.

ඉතින් අපිට මේ රටේ සියලු දේශප්‍රේමී බලවේග එකතුකරගෙන මේ රටට සෙත ප්‍රර්ථනා කරලා ඒ වගේම රටේ නායකයන්ගේ සාමග්‍රිය ප්‍රාර්ථනා කරලා මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනවා. අපි දැන් සංවිධානයක් හැටියට විනයවත් වෙලා අපි බොහෝ අත්දැකීම් ලබලා පන්නරය ලබලා කව්රුවත් විවේචනය කරන්නෙත් නෑ දැන් ගහගන්න යන්නෙත් නෑ. අපේ එකම අරමුණ මේ නායකයො සමගියට පත්වීම. නායකයො බොහොම දුලබයි. අපිට පේනවා දේශපාලන කලිකලහ ඇතුලෙ සිංහල සිංහල නායකයොම ගහ ගන්නවා. මරා ගන්නවා. උන් මුන්ට හොරා කියනාව උන් මුන්ට හොරා කියනවා. අවසානයේ බලන කොට මුන් ඔක්කොම හොරු වෙලා තියෙනවා. පාලමක් දකින කොට පාරක්, ගොඩනැගිල්ලක් දකින කොට හිතෙන්නෙ මුන් මේකෙන් කීයක් ගහලා ඇද්ද කියලා. එතනට මිනිස්සුන්ගෙ අවධානය යොමුකරලා තියෙනාව කොච්චර කැතයිද ඒක.

රටේ හැමතැනකම හොරකම වංචාව දූෂණය එකාට එකා නැති කමින් මිනිස්සු මිනිස්සුම පෙලන මහා මුග්ධ තත්වයකට මේ රට වැටිලි තියනෙවා. අපිට හිතා ගන්න බෑ මේ තරම් බණ අහන රටක ඇයි මෙහෙම වෙන්නෙ කියලා. අපි මේ රටේ හාමුදුරුවරුන්ටත් ආරාධනා කරන්නෙ බණ කලාවෙ ඉදලා වෙනසක් කරන්න, මේ වැඩපිලිවෙලත් එක්ක. මෙ රටට අවශ්‍ය නෙගෙටිව් බණ නෙවෙයි, පොසිටිව් බණ. නිවන තමයි අපේ එකම අරමුණ කුසට අහරක් පිරිසිදු වාත්‍රශ්‍රයක් තියෙන්න ඕනිනෙ බණක් භාවනාවක් කරන්නත්. බඩට බත්නැති ජාතියකට බණ කියලා වැඩක් නෑ. ප්‍රශ්නාවලියක් එක්ක ඉන්න පිරිසකට බණ කියලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ඕනි ප්‍රශ්න වලින් ගොඩ එන්න. අර සංස්කෘතික ස්ලෝකයක් තියෙනවා ‘නිර්දනශ්චන ගෝෂිතං’ කියලා නිර්ධනයන් එක්ක මේ සාකච්ඡා කරලා කරුණු කියලා වැඩක් නෑ. ඒ අයට ඕනි කන්න.

ඒ නිසා මේ රටේ සාතිශය බහුතරයක් කිසිදු බේදයකින් නැතුව එකතුවෙමු. සිංහල දෙමල කියලා බඩගිනි වෙනම නෑනේ. ඒ නිසා මේ රටේ නායකයන්ට සමගියට පත්වෙන්න, වැටෙන රට නගන්න. අවසාන වශයෙන් මුලු මහත් සමාජයම සමාධියකට පත්කරන්න අරමුණින් තමයි මේ වැඩපිලිවෙල අපි සිද්ධ කරන්නෙ.

රටතුල ගොඩනගන මේ අධ්‍යාත්මික වැඩපිලිවෙලට උපකාර වන්න හැමදෙනාටම අපි ආරාධනා කරනවා.

Related posts

නැගෙනහිර මහ ඇමති හමුදා නිලධාරියාට බැන්නා කියා පැමිණිල්ලක් නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

රුපියල් ලක්ෂ 48ක බිල නොගෙවූ මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා – ප්‍රතිකාර නවතී

Admin

සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය

Admin

මහින්දට සුබ පතන්න මහ සෙනග වැළ නොකැඩී එයි.. වැද වැටෙති.. අත සිඹිති.. සෙල්ෆි ගන්න පොරකති

colombotoday

හම්බන්තොටින් ඉදිරිපත් වෙන්න ඇති බව නිසා සජිත් කොළඹින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා- මහින්ද

colombotoday

මිලියන 80ක අබින් සහ කේරළ ගංජා පේදුරුතුඩවෙන් අල්ලයි

Admin