Colombo Today Local News

සිංගප්පූරු සිරිතට මහේන්ද්‍රන් පදිංචිය මාරු කරනවා… ඔහු සමග සම්බන්ධයක් නෑ – අගමැති කියයි

සිංගප්පූරුවේ සිරිතට අනූව අර්ජුන මහේන්ද්‍රන් විටින් විට පදිංචිය මාරු කරන බවත් බැඳුම්කර කොමිසම කාලයේ මහේන්ද්‍රන් සමඟ සම්බන්ධයක්‌ නොතිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) ප්‍රකාශ කළේය.

සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ එරටින් ඉල්ලීමක්‌ කර තිබෙන බවද අගමැතිවරයා කීවේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව අධිකරණය ජාත්‍යන්තර රතු නිවේදනයක්‌ නිකුත් කර තිබෙන බව කී අගමැතිවරයා උදර්පන නිතිය අනුව ඉල්ලීමක්‌ කළහොත් ඔහු මෙරටට එවීමට සහාය දෙන බව සිංගප්පූරුව කළ දැනුම් දීම අනුව එම ඉල්ලීම කළ බවද අගමැතිවරයා සඳහන් කළේය.

විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න යොමු කිරීමේ අවස්‌ථාවට එක්‌ වෙමින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මෙරට අධිකරණ හමුවේ නඩු පවතින හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග, හිටපු ඇමරිකානු තානාපති ජාලිය වික්‍රමසුරිය හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්වරුන්ව මෙරටට ගෙන්වා ගැනිමට ගන්නා පියවර මොනවාදැයි අනුර දිසානායක මහතා විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2008 සිට 2014 දක්‌වා ඇමරිකානු තානාපති ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසුරිය මහතා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැඟිල්ලක්‌ මිලදී ගැනීමට වැය කළ මුදලින් ඇමරිකානු ඩොලර් ලක්‌ෂ තුනකට අධික මුදලක්‌ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමට අදාළ චෝදනාව මත නඩුවක්‌ විභාග වන බව කීවේය. අධිකරණය මගහැර ඇති ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

2006 සිට 2015 දක්‌වා රුසියාවේ තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනිමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන බවද අගමැතිවරයා කීවේය.

2015 ජනවාරි සිට 2016 ජුනි දක්‌වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මහතාට කොටුව මහේස්‌ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.

අධිකරණය වෙත ඉදිරිපත් නොවී අධිකරණය මගහරිමින් සිටින ඇමරිකානු එක්‌සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසුරිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක්‌ ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස්‌පති වාර්තා කොට තිබෙනවා යෑයිද ඒ මහතා සඳහන් කළේය.

රුසියාවේ තානාපති ලෙස කටයුතු කළ උදයංග විරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කොට තිබෙන බවත් එම නිවේදනය ප්‍රකාරව එක්‌සත් අරාබි එමිර් රාජ්‍ය ඔහු ඔවුන්ගේ භාරයට ගෙන ඇති බවත් ඔහු ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යාංශය ඉල්ලිමක්‌ කර තිබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත නිකුත් කළ නොතිසියේ සඳහන් සිංගප්පූරු ලිපිනයේ ඔහු පදිංචිව නොමැති බැවින් නොතිසිය නිසි පරිදි වාර්තා කොට නැති බවත් කී අගමැතිවරයා අපරාධ පරීක්‌ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂගේ ජංගම දුරකතනයෙන් යවන ලද කෙටි පණිවුඩ හා විද්යුත් පණිවුඩ ඔහුට ලැබි තිබෙන බවට වාර්තා වන බවද සඳහන් කළේය.

ඔහුට රතු නිවේදනයක්‌ නිකුත් කළද සිංගප්පුරු නීතිය අනුව ජාත්‍යන්තර පොලිස්‌ රතු නිවේදන මත පදනම්ව තැනැත්තකු අත්අඩංගුවට නොගන්නා බැවින් උදර්පන නීතිය යටතේ ඔහු මෙරටට උදර්පනය කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක්‌ අනුව ඉල්ලිමක්‌ කරන ලෙස සිංගප්පුරු රජය දන්වා තිබෙන බවත් ඒ අනුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කර ගැනිම පිණිස ඉල්ලීමක්‌ කර තිබෙන බවත් සඳහන් කළේය.

ඉහත පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිය යටතේ උපරිම ක්‍රියාමාර්ග රජයක්‌ වශයෙන් ගෙන තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. වත්මන් රජය කිසිදු වරදකරුවෙකු ආරක්‌ෂා කිරීමට කටයුතු නොකරන බව ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා – අර්ජුන මහේන්ද්‍රන් මහතා විටෙක විදේශයේ මංගල උත්සවයකට යන විටදී පවා අගමැතිවරයාට දැනුම් දීලා ගියා කියලා අගමැතිතුමාම ප්‍රකාශ කළා. ඒ අනුව පේනවා එතුමාගේ හිතවතෙක්‌ කියලා. උදයංග විරතුංග හා ජාලිය වික්‍රමසූරිය කියන්නේ හිටපු ජනාධිපතිගේ ලගම ඥාතින්. ඉතින් මේ අය ගෙන්වාගන්න මොකක්‌ද කරන්නේ?

අගමැති – ඔහු එදා මට එය කියලා ගියේ මා යටතේ තිබෙන ආයතනයක ප්‍රධානියෙකු ලෙසයි. දැන් ඉන්න මහබැංකු අධිපතිත් පහුගිය කාලයේ විදේශගත වෙද්දී කියලා ගියා. ඒ හැර වෙන දෙයක්‌ නැහැ. කොහොම වුණත් මේ අය සම්බන්ධයෙන් අවශ්‍ය නිතිමය කටයුතු කරගෙන යනවා.

සිංගප්පූරු නිදහස්‌ වෙළෙද ගිවිසුම මගින් දේශිය නිෂ්පාදකයන්ට හා ව්‍යවසායකයන්ට කිසිදු බලපෑමක්‌ නොවන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්‌ෂ රජය සමයේ චින ඉංජිනේරුවන්, කම්කරුවන් මෙරටට පැමිණ සේවය කළත් කිසිවෙකු ඒ සම්බන්ධයෙන් කතා නොකල බව කී අගමැතිවරයා සිංගප්පුරු ජාතිකයන්ට මෙරටට පැමිණ කිරීමට කටයුත්තක්‌ නොමැති බවද සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න විමසන අවස්‌ථාවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේද කීය.

විදේශිකයන් හට රැකියා ලබාදීමේ ක්‍රමවේදය, රැකියා ලබාදීමේ අංශ, සේව්‍ය සේවක වගකීම් මෙන්ම වෘත්තීය සංගම්වල කාර්යභාරය මෙම රෙගුලාසිවලින් ආවරණය වෙනවා. මෙම නිදහස්‌ වෙළෙද ගිවිසුම ලෝක වෙළෙද සංවිධානයේ මුලධර්මවලට සම්පූර්ණයෙන්ම අනුකූල වන ආකාරයට සකසා තිබෙන බවත් මා වගකිමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.

මෙම ගිවිසුම සැකසීමේදී කිසිදු ආකාරයකින් ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්‌ඩලය නොමඟ යෑවීමක්‌ කර නැහැ. ජනාධිපතිතුමා විසින් හා අමාත්‍යවරුන් 14 දෙනෙකු විසින් මෙම කෙටුම්පත සම්බන්ධ නිරීක්‌ෂණ ඉදිරිපත් කරනු ලැබුවා. නිතිපතිවරයාගේ ද අනුමැතිය හිමිවිමෙන් පසුව 2018 ජනවාරි 23 දින ශ්‍රී ලංකාව හා සිංග්පූරුව මෙම නිදහස්‌ වෙළෙද ගිවිසුමට ඇතුළත් වුණා.

දිවයින

Related posts

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

ෂාෆි දොස්තරගෙන් සැත්කම් කළ පසු ආය දරුවන් ලැබුණේ නෑ – මව්වරුන් හැඩූ කදුළින් පැමිණිළි කරයි…

colombotoday

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

චරිතට කෝප් කමිටුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව

colombotoday