Colombo Today Local News

“ජනවාරි 8 මහින්ද දිනුවානම් රට අරාජිකයි.. අපි යහපාලනය ගෙනත් රට බේරාගත්තා” – ඇමති චම්පික

champika

2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවණයෙන් මහින්ද රාජපක්‍ෂ ජය ගත්තේ නම් රට අරාජික වන බව ඇමති චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ‘රට හරි මගට ගමු’ මැයින් මහනුවර තැපැල් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැති වැඩසටහනක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කියා සිටියේය.

අද මේ රටේ නොයෙක් දෙනා උත්සහ කරනව බෙදුම්වාදය දෙසට නැවත රට අරන් යන්න. නමුත් මේ රට අපි ඒකීය රටක් බවට පත්කළා. මේ එකීය භාවය නැවත වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ ජනමත විචාරණයකින් පමණයි. ඒ නිසා උතුරේ මහ ඇමතිතුමා ඇතුළු පිරිස නැවත අඳුරු අතීතයට රට ඇදගෙන යන්න උත්සහ කළත් ඒ උත්සාහය කිසිම ආකාරයකින් සාර්ථක කරගන්න අපි ඉඩ තබන්නේ නෑ. මේ රටේ ඒකීය භාවය ගැන ඇතැම් අය ජනතාව බිය ගන්වන්න උත්සාහ කළත්්, මේ ජනාධිපතිතුමා, මේ අගමැතිතුමා ඒ සඳහා කටයුතු කරන්නේ නෑ. ප‍්‍රතිපත්ති රකිනව පමණක් නොවෙයි ඉදිරි කාලයේ ඉදිරිපත් කරන ව්‍යවස්ථාවේ ඒකීය භාවයටත්, බුද්ධාගමටත් ලබාදී තිබෙන ප‍්‍රමුඛත්වයට කිසිම වෙනසක් කිරීමට ආණ්ඩුවේ සූදානමක් නෑ. ඒ වගේම එය වෙනස් කරන්න අපි ඉඩ තබන්නෙත් නෑ.

බොරු බියවැද්දීම් කරල, රට බියවද්දන්න ඕන නෑ. මහින්ද මහත්තය අපි ඒකීය භාවය ගැන වාක්‍ය දානකම් ෆෙඩරල් වාදියෙක් විධියට හිටියෙ. එතුමා චන්ද්‍රිකා මැතිණියගෙ ආණ්ඩුව කාලෙ ඒ ෆෙඩරල්වාදයට විරුද්ධව කතා කරපු එක වචනයක් හරි පෙන්නන්න කියල මහින්ද මහත්තයට මම අභියෝගයක් කරනව. එක වචනයක් කතා කළේ නෑ. අපි තමයි ඒකීය භාවය දාල, එතුමට මේ ඒකීය භාවයේ සළු පිළි අන්දල රටේ ඒකීයභාවය ස්ථාපිත කිරීමට කටයුතු කළේ. ඒක අපේ රට ලබාගත්ත ලොකු ජයග‍්‍රහණයක්. මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක නටව නටව සිටිය බෙදුම්වාදයට එරෙහිව, ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකම මතයකට පැමිණීම මේ රට ලබාගත්ත ලොකු ජයග‍්‍රහණයක්.

රටවල් කීපයක් ඇරෙන්න මුළු ලෝකය පුරාම අපේ රට ගැන විසකුරු ප‍්‍රචාර පැතිරිලා ගිහින් රට අසරණ වෙන තැනට පත් වී තිබුණ. රටට සම්බාධක පනවන තැනට පත්වුණා. ජනවාරි 08 වනදා මහින්ද මහත්තය දිනුව නම් රට අරාජික වෙනව. අද සමහරු ලොකුවට කතාකරන රටවලට මොකද වෙලා තියෙන්නෙ. ලොකුවට කතා කරපු වෙනිසියුලාවට මොකද වෙලා තියෙන්නෙ. මහින්ද මහත්තයත් ගියා චාරිකාවක්. වෙනිසියුලාවේ විප්ලවය මෙහේ කතා කරන්න බොරු විප්ලවවාදියො එකතු වුණා. අද ඒ රට සම්පූර්ණයෙන්ම අසරණ වෙලා තියෙන්නෙ. ලෝකෙන් කොන්වෙලා, බඩුමිල දරා ගැනීමට නොහැකිවෙලා, තෙල් සම්පතින් ගෑස් සම්පතින් අනූන වූ වෙනිසියුලාව අද සම්පූර්ණයෙන් අරාජික තත්ත්වයට පත්වෙලා තියෙනව. මීටත් වඩා අන්ත තත්ත්වයකට රට පත්වෙනව මහින්ද මහත්තය ජනවාරි 08 දිනුවනම්. රටට සම්බාධක පැනවිලා, රටේ රණවිරුවෝ ජාත්‍යන්තර අධිකරණයට ගෙනිහිල්ල, රටේ රණවිරුවන්ට විදේශ සංචාරවල නිරතවීම නතරවෙලා රට මහත් අරාජික තත්ත්වයට පත්වෙන්න තිබුණ. ඒ වගේම රට ඇතුළෙත් රාජපක්ෂ පවුල හා ඒ පවුලට කත් අදින අයට ඇරෙන්න අනෙක් කිසි කෙනෙකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන්න නියමිතව තිබුණෙ නෑ. රටම මේ පවුල් පාලනයේ විසකුරු ග‍්‍රහණයට විසකුරු හස්තයට ගොදුරු වෙමින් තිබුණෙ. අන්න ඒ අවස්ථාවේ තමයි අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිදහස වෙනුවෙන් නැගී සිටියෙ. ඒ නිසා අද ආඩම්බරයෙන් මේ රටට කියන්න පුළුවන් රට නිදහස්, රට ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි කියලා.

අද ඇතැම් මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ මාධ්‍ය නිදහස කියන එක ඇතැම් පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරන්න, විනාශ කරන්න, මාධ්‍ය පැසිස්ට්වාදයක නියැළෙනව. එදා හිටියෙ කුලියට මිනී මරන අය. කුලී ඝාතකයෝ. අද ඉන්නේ චරිත ඝාතකයෝ. ඒකත් කුලියට කරගෙන යන්නෙ. අද හරි ලේසියි මේ රටේ දේශපාලනය කරගෙන යන්න මේ නිදහස ඇතුලෙ. මාධ්‍ය වලට ෆැකස් පණිවිඩ ටිකක් යවනව, කැමරා ටික ඉදිරියේ වාඩිවෙනව. මොන මෙනවා හරි චරිත ඝාතනය වෙන කතා ටිකක් කියනව. මොකද මෙයාල දන්නව මේවට නඩු පැවරුවට වැඩක් නෑ, නඩු පවරල කවදාවත් නඩු විසඳන්න බැරි විත්තිය දන්නව. ළඟදි දවසක මට විදේශයක ඉඳන් කතාකළා අපේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වෙන ප‍්‍රින්ස් ගුණසේකර මැතිතුමා. එතුමා 1989 භීෂණයට අහුවෙලා රටන් පලා ගියා. එතුමා ගැන වැරදි ප‍්‍රවෘත්තියක් මීට අවුරුදු 26 කට කලින් 1990 ලේක් හවුස් පත්තරේක පළවුණා. එතුමා නඩුවක් දැම්ම. අදටත් අවුරුදු 26 ක් වෙලත් විසඳුමක් නෑ. මේක තමයි මේ රටේ මාධ්‍යවල චරිත ඝාතනයට එරෙහිව තිබෙන තත්ත්වය. මේක මේ පිරිස දන්නව. ඒක නිසා කැමරා තුන හතරක් අටෝගෙන තමන්ට ඕන ඕන දේවල් වාචාල කතා ප‍්‍රකාශ කරනවා.

ජාතික හෙළ උරුමය ඒ ආකාරයේ පුද්ගල චරිත ඝාතනයට කටයුතු කරන පිරිසක් නෙවෙයි. අපි රටේ පොදු ප‍්‍රතිපත්ති ගොඩනගන්න කටයුතු කරපු පිරිසක්. මේ රටේ පසුගිය කාලයේ සිදුවූ විප්ලව තුන වන ඒකීය භාවය ආරක්ෂා කරන විප්ලවය, ත‍්‍රස්තවාදය පරාජය කරන විප්ලවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කරවපු පවුල් කාමය පරාජය කරවපු විප්ලවය කියන ඒ තුනටම අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදුන්නෙ අපි. අපි කාගෙවත් චරිත ඝාතනය කරල නෙමෙයි ඒ කටයුත්ත කළේ. ප‍්‍රතිපත්තිමය වශයෙන් කියන එක අපි මේ අවස්ථාවේ ප‍්‍රකාශ කරන්න ඕන.

දැන් අප ඉදිරියේ අළුත් අභියෝග ගණනාවක් තිබේ. එකක් තමයි මේ පරිසර අභියෝගය. අපි දැක්ක කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මේ ඇතිවුණු ව්‍යසනය. අරණායක ප‍්‍රදේශයේ ඇති වූ ව්‍යසනය එදා බදුල්ලෙ ඇති වුණා. හෙට මහනුවර ඇති වෙන්න පුළුවන්. අනිද්ද මාතලේ ඇති වෙන්න පුළුවන්. මේ මුළු කඳුකර ප‍්‍රදේශයේම මේ නායයෑම් ව්‍යසනය ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම ගංවතුර උවදුර. අපි දැක්ක දශක ගණනාවකට පස්සෙ කොළඹ නගරයට දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වුණා. මේ තත්ත්වයන් ඇති වුණාම කණ්ඩායම් කීපයක් ඉදිරිපත් වෙනව. සමහරු කියනව මේකට ආණ්ඩුව වගකියන්න ඕන කියල. තව සමහරු කියනව අපේ කට්ටිය හිටියනම් ඕව වෙන්නෙ නෑ කියල. මහින්ද මහත්තය, ගෝඨාභය මහත්තය හිටියනම් ඕව වෙන්නෙ නෑ කියල. ඒ දෙන්න ඉන්න කාලේ අපි පාර්ලිමේන්තුවට ගියේ බෝට්ටුවක. ඒ අයට ඒක මතක නෑ. අපි ඉන් අදහස් කරන්නෙ නෑ ඔවුන් නිසා ඒක ඇති වුණා කියල. බදුල්ලෙ නාය ගියේ මහින්ද මහත්යගෙ කාලේ. ඒකට ඉතින් මහින්ද මහත්තය වග කියන්න ඕනද? නමුත් අරණායක නාය ගියාම ඒකට මෛත‍්‍රී මහත්තය, රනිල් මහත්තය වගකියන්න ඕනළු. මේක තමයි තත්ත්වය. මේක තමයි පටු දේශපාලනය.

කොළඹ පිළියන්දල ප‍්‍රදේශයේ නුගේගොඩ සිට කැස්බෑවට අපි වේරැුස් ගඟ ව්‍යාපෘතිය කළා. ජනතා විමුක්ති පෙරමුණේ ගොඩ පෙරකදෝරුවෝ, ගොඩ ඉංජිනේරුවෝ ටික පාර්ලිමේන්තුවේ ගිහින් කිවුව මේකෙන් මහත් පරිසර විනාශයක් වෙනව කියල. ඉඩම් ගොඩකරගෙන, වෙල් යායවල් ගොඩකරගෙන හිටිය ධනපතියෝ බලවන්තයෝ කිහිප දෙනෙක් අපට විරුද්ධව උසාවිත් ගියා. අන්තිමට මොකද වුනේ, මුළු කොළඹ කොලොන්නාවම යටවෙද්දි ඒ ප‍්‍රදේශ එකක්වත් කිසිම ගංවතුර උවදුරකට හසු වුණේ නෑ. ඒ මේ වේරැුස් ගඟ ව්‍යාපෘතිය අපි විද්‍යාත්මකව කරපු නිසා. ගොඩ ඉංජිනේරුවන්ට අපිත් යටවුණා නම් ඒ ජයග‍්‍රහණය ලබාගන්න වෙන්නෙ නෑ.

ඒ නිසා මේ ගංවතුර උවදුර පිළිබඳ ප‍්‍රශ්නය අපි විද්‍යාත්මකව බලනව. මෙයට එක එක්කෙනාට ඇඟිල්ල දික් කරල වැඩක් නෑ. මේ කැළණි ගං මිටියාවතේ් පමණක් නොවෙයි, කළු ගං මිටියාවතේ පමණක් නොවෙයි අනෙකුත් සෑම ප‍්‍රදේශයකම විධිමත් නාගරික සැළැස්මක් අපට අවශ්‍යයි.

අපේ අමාත්‍යාංශය තීරණය කරල තියෙනව මේ මුළු රටේම විධිමත් නාගරික සැළැස්මක්, සෑම ගමකටම විධිමත් සැළසුමක්, විධිමත් ජනාවාස සැලසුමක් මේ වසර තුළ ඇති කරල ගංවතුර උවදුරු වලින් අපේ ජනතාව නිදහස් කරගන්න. දියුණු ජනතාවක් බවට පත් කරන විධිමත් සැළසුමක් ලබන වසර වෙනකොට අපි ඉදිරිපත් කරනවා.

අපිට ජනවාරි 08 වනදා ජනවරම ලැබුණෙ, අගෝස්තු 17 එක්සත් ජාතික පෙරමුණට ජනවරම ලැබුණේ රාජපක්ෂල කරපු විධියට රට කරවන්න නෙවෙයි. නිවැරදිව රට කරවන්න, හරි මගේ රට ගෙනයන්න. කුමන බාධක, තර්ජන, ප‍්‍රහාර ආවත් අපි ඒ ගැන ජනතාවට වග වෙනවාය කියන එක ජනතාවගේ අරමුණු වෙනුවෙන් වග වෙනවාය කියන එක අපි වගකීමෙන් ප‍්‍රකාශ කරනවා.

කොළඹ නගරයේ සහ සෑම නගරයකම ඉන්න පැල්පත්වාසීන්ගේ ප‍්‍රශ්න විසඳන්න අපි මැදිහත් වෙලා තියෙනව. අපි සද්ද බද්ද පෝස්ටර් කටවුට් කිසිම තැනක නෑ. ඒවගෙන් නෙමෙයි අපි දුගියගේ ප‍්‍රශ්න විසඳන්නේ. අපි දැනටමත් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරල තියෙනව. ඉදිරි කාලයේදී මේ රට ශක්තිමත් ආර්ථික කේන්ද්‍රයක් බවට පරිවර්තනය කරන්න, විධිමත් නාගරික සංවර්ධනයක්, විධිමත් මාර්ග සංවර්ධනයක්, රටට ආදායම් ලැබෙන සංවර්ධනයක් අපි දියත් කරල තියෙනවා.

මේ රට අළුත් ගමනක් යාමට සූදානම් විය යුතුයි. ඒ සඳහා ලැබී තිබෙන මේ ස්වර්ණමය අවස්ථාව භාවිත කළ යුතුයි. ඒ සඳහා රටට නායකත්වය දෙන්න, රටේ ඊළඟ විප්ලවය වන ආර්ථික විප්ලවය සිදු කිරීමට නායකත්වය ලබාදීමට ජාතික හෙළ උරුමය සෑම විටම සූදානම්.

මාධ්‍ය ඒකකය
මෙගා පොලිස් අමාත්‍යංශය

Related posts

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

colombotoday

කොරෝනා රෝගීන්ගෙන් වැඩ අරගෙන | පානදුර රෝහලෙන් තවත් සිද්ධියක්. | අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

colombotoday

පිටකොටුව මගේ බලකොටුවක් – ෆයිසර් මුස්තාපා

colombotoday

“අමාත්‍යාංශ 02 ක වැය ශිර්ෂ පරාදවීමේ වගකීම රජය බාරගත යුතුයි. සැළසුම් සහගත ක්‍රියාවක් නොවෙයි.” – ඇමැති රාජිත සේනාරත්න

colombotoday

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

සංහිදියාව තහවුරුයි.. ඇවිත් වෙනස බලන්න.. විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට ඇරයුම් !

colombotoday