Colombo Today Local News

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

slf

මූලික වශයෙන් චන්ද්‍රිකා තාක්‌ෂණය පාදක කරගත් ආසියානු කලාපීය නියං කළමනාකරණ (අධ්‍යයන හා පුරෝකථන) යාන්ත්‍රණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර මට්‌ටමේ විද්වත් කතිකාවතක්‌ ඉකුත් අප්‍රේල් 28 හා 29 යන දෙදින තුළ ගල්කිස්‌ස හෝටලයේ දී පැවැත්විණි.

“ආසියා ශාන්තිකර කලාපීය රටවල නියගයන් අධීක්‌ෂණය හා පුරෝකථනය පිළිබඳ ප්‍රගති සමාලෝචන ජාත්‍යන්තර සමුළුව” ලෙස හඳුන්වා තිබූ මෙය සංවිධානය කර තිබුණේ නවීන තාක්‌ෂණයන් පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයයි. එහි දී මෙරට ආපදා කළමනාකරණ, කෘෂිකර්ම, කාලගුණ, වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන යන අංශ නියෝජනය කරමින් ඊට සහභාගි වූ විද්වතුන් පිරිසක්‌ සමග ඉන්දියාවේ ජාතික අභ්‍යවකාශ වැඩසටහනට අයත් ජාතික දුරස්‌ථ සංවේදන ආයතනය සහ චීනයේ කලාපීය බහුවිධ ආපදා පෙර සන්නිවේදන පිළිබඳ ආයතනය නියෝජනය කරමින් පැමිණි විද්වත්තු නවීන තාක්‌ෂණය පාදක කරගත් නියං කළමනාකරණය පිළිබඳ සංඛ්‍යාලේඛන, අත්දැකීම්, අදහස්‌ හා යෝජනා හුවමාරු කරගත් හ.

මෙහි දී අදහස්‌ දැක්‌වූ ක්‌ලාක්‌ ආයතනයේ සභාපති මහාචාර්ය කැමාල් ඩීන් මහතා මෙවැනි නව තාක්‌ෂණයන් සතු ව අප වැනි රටවල ජනතාව ගේ ජීවන රටාවේ මහත් පරිවර්තනයක්‌ කළ හැකි විභවයක්‌ ඇතැයි ද එම වෙනස ඉදිරි දශකය ඇතුළත විද්‍යමාන වනු ඇතැයි ද පැවසී ය.

ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා මෙහි දී අදහස්‌ දක්‌වමින් පැවසූයේ නියගය යනු අවසානයේ මහත් ව්‍යසනයක්‌ ඇති කරන තෙක්‌ අපේ අවධානයට ලක්‌ නො වී නිහඩ ව ක්‍රියාත්මක වන දරුණු උවදුරක්‌ බවත් එහි ආර්ථික බලපෑම් සෙසු ඕනෑ ම ස්‌වාභාවික ආපදාවක බලපෑම් අභිබවන බවත් ය. එනිසා නියගය විමර්ශනය කිරීම පිණිස අභ්‍යවකාශ තාක්‌ෂණය යොදාගැනීමේ ආසියා ශාන්තිකර කලාපීය පස්‌ අවුරුදු නියාමක ව්‍යාපෘතිය සඳහා තෝරාගන්නා ලද කලාපීය රටවල් දෙකෙන් ප්‍රධාන රට බවට ශ්‍රී ලංකාව පත් වීම ඉතා වැදගත්කමක්‌ උසුලන සිදුවීමක්‌ බවත් ඒ මහතා සඳහන් කර සිටියේ ය.

මේ වැඩසටහන එක්‌සත් ජාතීන් ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) මගින් කලාපීය රටවල ධරණීය සංවර්ධනය සඳහා අභ්‍යවකාශ තාක්‌ෂණ භාවිතයන් යොදාගැනීමේ පස්‌ අවුරුදු (2012-2017) සැලසුම යටතේ ක්‍රියාත්මක වන්නකි. එම ආයතනයේ බැංකොක්‌හි පිහිටි තොරතුරු තාක්‌ෂණ සහ ආපදා අවදානම් අවප්‍රමාණ කිරීමේ අංශයේ අධ්‍යක්‌ෂ ආචාර්ය ශානිකා සිරිමාන්න මහත්මිය එම ආයතනය නියෝජනය කරමින් මේ අවස්‌ථාවට සහභාගි වූවා ය.

ආචාර්ය සිරිමාන්න මහත්මිය එහි දී අදහස්‌ දක්‌වමින්,

“2014 වසරේ දී ඇරඹි මේ හා අදාළ නියාමක ව්‍යාපෘතියේ පළමු අදියරෙහි අවසානයට මේ වන විට ශ්‍රී ලංකාව පිවිස සිටිනවා. මේ වැඩසටහනෙහි මූලික අරමුණ වන්නේ චන්ද්‍රිකා මගින් ලබාගන්නා නියං දත්ත භූමියෙන් ලබාගන්නා කාලගුණික දත්ත හා සන්සන්දනය කරමින් නියං බලපෑම් පිළිබඳ නිවැරැදි තක්‌සේරුවකට එළඹීමේ හා නියං පිළිබඳ පූර්ව අනතුරු හැගවීමේ හැකියාව ලබා දෙන දත්ත සමුදායක්‌ ඇති කිරීමයි. මේ දත්ත පහසුවෙන් හැසිරවිය හැකි පරිගණක මෘදුකාංග වැඩිදියුණූ කිරීමත් මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාවට මේ වන විට අභ්‍යවකාශ තාක්‌ෂණය පාදක කරගත් මේ ආකාරයේ නිෂ්පාදන සිදු කිරීමේ හැකියාව තිබෙන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා අප දැන් අවධානය යොමු කරන්නේ අභ්‍යවකාශ තාක්‌ෂණය ඇසුරින් නියං විමර්ශනය කිරීමේ හා පූර්ව අනතුරු හැගවීමේ පද්ධතියක්‌ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම ගැනයි.” යනුවෙන් පැවසුවා ය.

UNESCAP ආයතනය විසින් ද්විවාර්ෂිකව එළිදක්‌වනු ලබන ආසියා ශාන්තිකර ආපදා වාර්තාවේ 2015 වසරට අදාළ වාර්තාව මෙරට අමාත්‍යවරුන්, විද්වතුන් හා නිලධාරීන්ට පිළිගැන්වීම ද මේ අවස්‌ථාවේ ආචාර්ය සිරිමාන්න මහත්මිය අතින් සිදු කෙරිණි.

මේ අවස්‌ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ය. විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ වැඩ බලන අමාත්‍ය ලක්‌ෂ්මන් සෙනෙවිරත්න මහතා ද මේ අවස්‌ථාවට සහභාගි විය.

Related posts

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

කලිනොච්චියේදී බසයක් ගිනිබත් වෙයි.. ගිනි ගත්තද.. ගිනි තිබ්බද.. සැකයක් !

colombotoday

කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Video

colombotoday

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල් – පෙර – පිරිවෙන් වසා දැමේ

colombotoday