Colombo Today Local News

මා යළි හිරේ දැම්මත් පැහැදිළිවම කියනවා.. මේ අය සෝභිත හිමියන් ඝාතනය කළාමයි !

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිවෙමින් සිටියදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ආණ්ඩුවේ පිරිස් විසින්ම ඝාතනය කළබව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසයි. ඉරිදා දිවයින පුවත්පත සමග සසම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහිමියෝ මේ බව කියා සිටිති. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.

ප්‍රශ්නය- බලපත්‍රයක්‌ නොමැතිව අලි පැටවුන් තමන් සන්තකයේ තබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වූ කිහිප දෙනකුම සිටින බව වාර්තා වනවා. එසේ තිබියදී එම චෝදනාව යටතේ ඔබවහන්සේ පමණක්‌ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඔබවහන්සේගේ ආකල්පය කුමක්‌ද?

පිළිතුර- ඇත්තටම මෙරට බොහෝ දෙනකු එම ප්‍රශ්නය නඟන බව මට දැන ගැනීමට ලැබී තිබෙනවා. ඒ වගේම මගෙනුත් අහනවා අලි පැටවුන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන තිබියදී මම පමණක්‌ අත්අඩංගුවට ගන්නේ ඇයි කියලා.

ඇත්තටම ඒ ප්‍රශ්නය මටත් තිබෙනවා. නමුත් ඒ ප්‍රශ්නය මම කාගෙන් අහන්නද කියල මට තේරෙන්නෙ නෑ. ඒ වගේම මට දැනගන්න ලැබිල තියෙනවා ඉදිරියේදී අත්අඩංගුවට ගන්න නියමිත ලැයිස්‌තුවේ අපේ රටේ වැඩ සිටින අපි ගෞරව කරන බොහෝම උතුම් ස්‌වාමීන් වහන්සේලාත් සහ වටින පුද්ගලයන්ගේ නම් ඇතුළත් බව. එම නම් අතර ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේගේa නමත් දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ නමත් තිබෙන බව කියනවා. දරණාගම හාමුදුරුවන්ගේ නමත් තිබෙන බව කියනවා.

මම පමණක්‌ අත්අඩංගුවට ගෙන නිකන් ඉන්න නෙවෙයි හැදුවේ. සූදානම් වූයේ මගෙන් පටන් අරගෙන අපගේ රටට, ශාසනයට වැඩ කරන, බෞද්ධ කමට මහත් ශක්‌තියක්‌ වූ බොහෝ අයව මෙල්ල කිරීමේ අරමුණ ඇතිව බව ඉතාම පැහැදිලියි. එය මට දැනගන්න ලැබී තිබෙනවා.

ප්‍රශ්නය- ඔබ වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව විමසුවේ කුමන කරුණු පිළිබඳවද?

පිළිතුර- මගේ නීතිඥයන් මට උපදෙස්‌ දී තිබෙනවා අධිකරණමය කටයුත්තක්‌ තිබෙන නිසා සමහර කරුණු සඳහන් කිරීමෙන් වළකින ලෙසට. නමුත් පසුගියදා එක්‌තරා නාලිකාවක මෙම නඩුව පිළිබඳව විවිධ අර්ථකථන ගිහි පැවිදි පාර්ශ්වයන් ඉදිරිපත් කළා. ඒ සෑම කාරණයක්‌ම මම උපේක්‍ෂාවෙන් අහගෙන සිටිනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව මගෙන් කටඋත්තරයක්‌ ලබාගත්තා. එම කටඋත්තරය ලබාදීමේදී මම සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳව මම කලින් සඳහන් කළ දේ පමණයි.

ප්‍රශ්නය- මේ වන විට ඔබ වහන්සේට එරෙහිව නඩුවක්‌ පවරා තිබෙනවාද?

පිළිතුර- මම ඒ පිළිබඳව තවම හරියට දන්නේ නෑ. එදා මාව අත්අංඩගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළා. මාර්තු 17 වන දා දක්‌වා මාව රක්‍ෂිත බන්ධනාගාරගත කරල, ඉල්ලීමක්‌ තිබෙනවා නම් 17 වන දාම ලිතව ඉදිරිපත් කරන්න කියල කිව්වා. ඒ සම්බන්ධයෙන් ඊට වඩා දෙයක්‌ මම හරියට දන්නේ නෑ.

ප්‍රශ්නය- ඔබ වහන්සේව අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්‌ද එසේත් නොමැති නම් නීතිය ක්‍රියාත්මක කිරීමක්‌ද යන කාරණය පිළිබඳවත් සමාජයේ කතිකාවක්‌ ඇතිවී තිබෙනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේගේ ආකල්පය කුමක්‌ද?

පිළිතුර- නීතිය ක්‍රියාත්මක කිරීමක්‌ කියල නම් පිළිගන්න අමාරුයි. නීතිය ක්‍රියාත්මක වනවා නම්, නීතිය කාටත් සමාන විය යුතුයි. නමුත් එහෙම එකක්‌ පේන්න නෑ. උදාහරණයක්‌ ලෙස සඳහන් කරනවා නම් අපේ රටේ ජනතාව සෑහෙන දුක්‌ විඳිනවා. බදු, බඩු මිල යන කාරණා නිසා. එම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබෙන්නේ මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම. එම වංචාව පිළිබඳව නීතිය ගැන කතා කරන අය කතා කරන්නේ නෑ. ඒ වගේම ඒ පිළිබඳව කිසිදු හැඟීමකුත් නෑ. ඒ වගේම රටට දැනෙන සුවිශාල වැරදි ප්‍රමාණයක්‌ සිදුවෙනවා. නමුත් ඒ පිළිබඳවත් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නෑ.

එසේ මායිම් නොකර මේ කරන්නේ බුදුන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කරන හිංසාවක්‌, කරදරයක්‌. ඒ වගේම අපේ ධර්මය මේ මාතෘ භූමියෙන් නැති කිරීමට උත්සාහ කරන දුෂ්ට අදහස්‌ ඇති පිරිසක්‌ බුදුන්ගේ ධර්මය ආරක්‍ෂා කරන අපගේ සංස්‌කෘතිය විනාශ කිරීමට ගත් එක්‌ පියවරක්‌ තමයි මේ.

ප්‍රශ්නය- කොටි සංවිධානයට එරෙහිව කළ යුද්ධය සාර්ථකව ඉදිරියට ඇදෙමින් පැවැති අවස්‌ථාවේදී 2007 අය-වැය පරාජය කර එවකට පැවැති ආණ්‌ඩුව පෙරළීමට විපක්‍ෂය උත්සාහ දැරුවා. එම අවස්‌ථාවේදී ජාතික හෙළ උරුමය නියෝජනය කළ ඔබවහන්සේ අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදීම විපක්‍ෂයේ සැලසුම පරාජය වීමට එක්‌ හේතුවක්‌ වූවා. එදා ඔබවහන්සේ ගත් තීරණය විපක්‍ෂයේ දැඩි දොaෂ දර්ශනයට ලක්‌ වූ බව වාර්තා වූවා.

එදා ඔබවහන්සේ දොaෂ දර්ශනයට ලක්‌ කළ බලවේග අද බලයට පත්වී තිබෙනවා.

පිළිතුර- අතීතය මතක්‌ කරන කොට මම ලබපු විවිධ අත්දැකීම් මතක්‌ වෙනවා. එදා තමයි මම පරුෂ වචනයෙන් මූණටම බැණුම් ඇසුවේ. ශ්‍රීපති සූරියාරච්චි මන්ත්‍රීතුමා එම අවස්‌ථාවේදී මට පරුෂ වචනයෙන් බැණ වැදුණා. මංගල සමරවීර ඇමැතිතුමත් ළඟ සිටියා. එතුමා ඊට සම්බන්ධ නොවුණත් වෙනත් කාරණා කියමින් මට දොස්‌ කිව්වා. නමුත් ශ්‍රීපති සූරියාරච්චි මන්ත්‍රීතුමා නම් එම අවස්‌ථාවේදී තදබල ලෙස පරුෂ වචන කියමින් මට බැන්නා.

එබඳු අවස්‌ථාවලදී මම මගේ සිහිය ආරක්‍ෂා කර ගන්නවා. එබඳු අවස්‌ථාවලදී මම හොඳ සිහියෙන් කටයුතු කරනවා. එම අවස්‌ථාවේදී ඔවුන් කියූ සෑම දෙයක්‌ම සිනහමුසුව අහන් ඉඳලා මම කිව්ව පිංවත් මන්ත්‍රීතුමා ඔබතුමා කිව්ව සියලු දේම මම භාර ගන්නේ නෑ. ඒවා ඔබතුමාටම භාරදෙනවා කියල තමයි මම එතනින් ආවේ.

2008 අයවැය දිනවන්න මම විශාල වෙහෙසක්‌ මහන්සියක්‌ දරල කටයුතු කළා. ඒ අවස්‌ථාවේදී ශ්‍රීපති සූරියාරච්චි මන්ත්‍රීතුමා සහ මංගල සමරවීර මන්ත්‍රීතුමාත් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේ මගේ ආසනයට සමීප ආසනවල. තවත් ඡන්ද 7 ක්‌ තිබ්බානම් අයවැය පරාජය කරන්න තිබ්බා නේද කියන කාරණය පිළිබඳව ඔවුන් කම්පාවට පත්වූවා.

ඒ පිළිබඳව ඔවුන්ට ඇති වූ සිත් වේදනාවෙන් තමයි ඔවුන් එදා එහෙම මට කතා කළේ.

එතැන් සිට ඇත්තටම මම මහින්ද රාජපක්‍ෂ මහතාට උදව් කළා. නමුත් ඉතාම පැහැදිලිවම සඳහන් කළ යුතුයි මම මහින්ද රාජපක්‍ෂ මහතාට උදව් කළේ ඒ මහතා එම අවස්‌ථාවේදී සැබෑ ලෙසම අපට දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පැවැති අභියෝගය වූ යුද්ධය අවසන් කිරීමට සැබෑ ලෙසම උත්සාහයක්‌ දරන බව මට දැනිච්ච නිසා. එතැන් සිට තමයි මම උදව් කළේ. මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය වෙනුවෙන් කළ අවංක කැප කිරීම මම මගේ ඇස්‌ දෙකින්ම දැක්‌ක. එය මට ප්‍රත්‍යක්‍ෂ වූවා. එම නිසා එතැන් සිට යුද්ධය නිමකරන තුරු සෑම දෙයකටම මම සම්බන්ධ වූවා. මමත් මට කරන්න පුළුවන් උපරිම කැපවීම කළා. එයට ගොඩක්‌ අයගේ සිත රිදුණ බව මම දන්නවා. නමුත් මම එම කටයුතු කළේ කාගෙවත් සිත රිදවන්නවත්, කාගෙවත් සිත සනසන්නවත් නෙවෙයි එහෙම කළේ. මම රට වෙනුවෙනුයි එම කැප කිරීම සිද්ධ කළේ.

ප්‍රශ්නය- එම කැප කිරීමටද මේ පළිගන්නේ.

පිළිතුර- බොහෝ අය එහෙම කියනව. නමුත් මට දැන් එයට ඔව් කියල කියන්න බැරි, මට දැන් දැනෙනවා එම කාරණයටත් වඩා දැන් බුද්ධාගමට විරෝධයක්‌ තිබෙන බව. බෞද්ධ සංස්‌කෘතියට විරෝධයක්‌ තිබෙන බව.

මම යළිත් හිරේ දැම්මත් ඉතා පැහැදිලිව කියනව සෝභිත හිමියන් අපවත් කළා කියන එක. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය ස්‌වාභාවික එකක්‌ නෙවෙයි කියන එක. උන්වහන්සේ ශල්‍යකර්මයකට භාජනය කළා. එය සාර්ථක වූවා. ඒ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. එම නිසා උන්වහන්සේගේ මරණය ඝාතනයක්‌මයි. උන්වහන්සේ මේ අයට විරුද්ධ වෙන්න පටන් ගත්ත ගමන් උන්වහන්සේව සූක්‍ෂ්මව ඝාතනය කළා.

ඒ වගේම මට සිංගප්පූරුවේදී දැන ගන්න ලැබුණා මරණයට ආසන්නව සිටියදී උන්වහන්සේ එරටට ගෙන ගිය බව එරට වෛද්‍යවරයා පැවසූ බව. එම නිසා උන්වහන්සේ බේරා ගැනීමට උනන්දුවක්‌ නොතිබුණ බවත් එම වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. රජයේ මැති ඇමැතිවරු පොඩි ලෙඩක්‌ හැදුනත් සිංගප්පූරුවට ඉක්‌මනින්ම යනවා. සමහර අය එහෙ ගිහින් මාස ගණන් සිටිනවා. ඒකේ වරදක්‌ මම කියන්නේ නෑ. නමුත් මේ ආණ්‌ඩුව පිහිටුවන්න උදව් කරපු සෝභිත හිමියන්ව කල් ඇතිව සිංගප්පූරුවට යවන්න කටයුතු නොකළේ ඇයි. ඇයි අපවත් වෙන මට්‌ටමට පත්වෙනකම් ඉඳල ගෙනිච්ෙච්. ඒ වගේම ඇයි උන්වහන්සේගේ මරණය පිළිබඳව මරණ පරීක්‍ෂණයක්‌ සිදු නොකළේ. ඒ වගේම මට නිල නොලත් ආකාරයට දැනගන්න ලැබිල තිබෙනවා උන්වහන්සේගේ සිරුරේ සියලු අභ්‍යන්තර අවයව සිංගප්පූරුවේදී ඉවත් කළ බව. එහෙම කළේ ඇයි?

ඊට පෙර සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙනුත් මෙබඳු ප්‍රශ්න ඇති වූවා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කොමිසම ඉතා පැහැදිලිව සඳහන් කරල තිබෙනවා ප්‍රතිකාර මගහැරීමෙන් සිදුකළ සාපරාධී මරණයක්‌ බව.

මෙම හේතු සාධකයන් නිසා මට මුහුණදීමට සිදුවී තිබෙන ප්‍රශ්නය දේශපාලනික ද ආගමිකද කියන ප්‍රශ්නය ඇතිවී තිබෙනවා. මේ දෙකෙන් එකක්‌ තියන බව නම් පැහැදිලියි.

ප්‍රශ්නය- ඔබවහන්සේ අත්අඩංගුවට ගැනීමට පෙර කිරුළපනේ, ඇලන්මැතිනියාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු සපයමින් ඔබවහන්සේ සඳහන් කළා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔබවහන්සේ සමග දුරකථනයෙන් මෙම ප්‍රශ්නය පිළිබඳව කතා කළ බව.

ජනාධිපතිතුමා ඔබවහන්සේ සමග මේ ප්‍රශ්නය පිළිබඳව කතා කිරීමෙන් පසුව ඔබවහන්සේ අත්අඩංගුවට ගත්තා. ඇප ලැබීමෙන් අනතුරුව ජනාධිපතිතුමා කතා කළේ නැද්ද?

පිළිතුර- ඇත්තටම ඔය නිලයට ඕනම කෙනකු පත් වූණාම කොටු කරනවා. ඒ අවාසනාවන්ත ඉරණමට මහින්ද රාජපක්‍ෂ මහතාත් පත්වූවා. අද වන විට මෙම ජනාධිපතිතුමත් එම ඉරණමට පත්වෙමින් සිටිනවා.

මම කියන්නේ මේ ජනාධිපතිතුමා මෙම තනතුරට පත්වූයේ සර්වජන ඡන්දයෙන්. එම නිසා අපි එතුමාව ආරක්‍ෂා කළ යුතුයි. එතුමා කෙරෙහි කිසිම වෛරයක්‌ තරහක්‌ නෑ. මම තවමත් ඉන්නේ එතුමා රැකගන්න පුළුවන්නම් හොඳයි කියන අරමුණ තුළ.

එහෙත් පැහැදිලිවම සඳහන් කළ යුතුයි, දැන් එතුමාව කොටු කරමින් සිටින බව. එතුමා විධායක ජනාධිපතිවරයා වුවත් කිසිම බලයක්‌ නොමැති අවස්‌ථා තිබෙන බව පෙනෙනවා. ඒ වගේම එතුමා හරියට ක්‍රියාත්මක වුවහොත් අසරණ තත්ත්වයට පත්වීමටත් ඉඩ තිබෙනවා.

ඇත්තටම දැන් එතුමාව බිත්තියට හේත්තු කරල තිබෙන්නේ. දැන් තිබෙන්නේ ඇණ ගහන්න විතරයි. ඊට පෙර එතුමා බුද්ධිමත් වුවහොත් මෙම තත්ත්වයෙන් ගැළවෙන්න පුළුවන්. එතුමා අවංක උත්සහයක්‌ දරන්න ඇති මාව බේරා ගන්න. නමුත් එතුමාට ඒක කරන්න බැරි වෙන්න ඇති අනිත් අය ඊට වඩා බලවත් නිසා.

ප්‍රශ්නය- නීතිමය කටයුතු සඳහා ඔබ වහන්සේට ආධාර උපකාර කරන ලෙස දායකයන්ගෙන් ඔබ වහන්සේ ඉල්ලීමක්‌ කළා. ඊට හොඳ ප්‍රතිචාරයක්‌ ලැබී තිබෙනවාද?

පිළිතුර- දායකයන්ගේ උදව් උපකාරයෙන් තමයි මම මේ කටයුතු කරගෙන යන්නේ. මට පෙනෙන විදියට ඉදිරියේදී තවත් ප්‍රශ්න ඇති වෙනවා. එම නිසා පිටරට සිටින මගේ හිතවත් අයට මම දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. පුද්ගලිකව නොව, පොදුවේ මට සහයෝගය ලබා දෙන්න කියල. පිංකමක්‌ කරන කොට ආධාර කරන්න කියල කිව්වට මේ වගේ කටයුත්තකට උදව් කරන්න කියලා මගේ දායකයන්ට කියන්න බැහැ නේ.

ප්‍රශ්නය- ඔබවහන්සේ රු. 10 ක්‌ වශයෙන් ආධාර එකතු කිරීම සඳහා විශාල මුදලක්‌ වැයකර පුවත්පත් දැන්වීම් පළ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා නේද?

පිළිතුර- ඇත්තටම ආර්ථික විද්‍යාව පිළිබඳව තඹ දොයිතුවක තරම් හෝ අවබෝධයක්‌ නොමැති අය තමයි එහෙම ප්‍රශ්න මතු කරන්නේ. රු. 2 ක ටොµsයක්‌ අලෙවි කිරීම සඳහා කොතරම් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක්‌ දියත් කරනවද?

මට දැනට මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රශ්නයට කෙතරම් විශාල මුදලක්‌ වියදම් කරන්න වේවිද දන්නේ නෑ. ඒ වගේම ඉදිරියේදී මට තව මොන මොන ප්‍රශ්න පටලාවිද දන්නෙත් නෑ. එම නිසා රටේම සිටින බෞද්ධයන්ගේ දැන ගැනීම සඳහායි එම දැන්වීම පළ කළේ. අනික එම දැන්වීම් පළ කිරීමේදී එම මාධ්‍ය ආයතනය මට විශාල අනුග්‍රහයක්‌ දැක්‌වූවා. මම ඒ පිළිබඳවත් පුණ්‍යානුමෝදනා කරනවා.

ප්‍රශ්නය- ඔබවහන්සේ බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප ලැබුණු ආකාරයත් බොහෝ දෙනාගේ කතා බහට ලක්‌වී තිබෙනවා.

ඒ පිළිබඳව ඔබවහන්සේට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර- ඇත්තටම මමවත්, මගේ නීතිඥයන්වත් ඇප ඉල්ලීමක්‌ කළේ නෑ. පි කළේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ගේ ආදාහනයට යන්න අවසර ඉල්ලපු එක විතරයි. එම නිසා මට හිතාගන්න බෑ ඇප ලැබුණේ කොහොමද කියන එක.

මට දැනගන්න ලැබිල තියෙන විදියට වෙනත් නීතිඥයන් පිරිසක්‌ තමයි මට ඇප ඉල්ලලා තියෙන්නේ. මගේ අත්සන ලබාදෙන්න කියල අසාත් සාලි මහතා එහාට පණිවුඩයක්‌ එවල තිබුණා. නමුත් 17 වනදා දක්‌වා ඒ පිළිබඳව සලකා නොලබන බව දැනුම්දී තිබූ නිසා මම අසාද් සාලි මහතාට දන්වා යෑව්වා ඒකට අත්සන් කරන්න බෑ කියල. මේ විධියට ඇප ඉල්ලන්න කියල තමාට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් පැවසූ බව අසාද් සාලි මහතා යළිත් දැන්වූවා. එම නිසා බය නැතිව අත්සන් කරන ලෙසත් දැන්වූවා. එම අවස්‌ථාවේදී මට විශාල ප්‍රශ්නයක්‌ ඇති වූවා. එතුමන්ලා මට ඇප අරන් දෙනවා නම් මාව ඇතුළට දැම්මෙත් එතුමන්ලාද කියල. එම ප්‍රශ්නයත් මම විමසා සිටියා. ඒ වගේම මට මගේ නීතිඥයන්ගේ උපදේශයක්‌ ලබා ගැනීමේ හැකියාවක්‌ තිබුණේ නෑ. 17 වැනිදා දක්‌වා ඇප නොදෙන බව ප්‍රකාශ කර තිබුණ නිසා එබඳු ඉල්ලීමකට අත්සන් කර මට තවත් ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවේවිද කියල බය සිතුණ නිසා මම ඇප ඉල්ලීමක්‌ කළේ නෑ. මම අවසර ඉල්ලුවේ අස්‌ගිරි මහා නායක හිමියන්ගේ ආදාහනයට සහභාගි වෙන්න අවසර පමණයි.

Related posts

එදා හෙලිදරව් කර තිබියදීත්, ISIS පුහුණුව ලැබූවන් ආරක්ෂා කල මුජබර් රහුමන් ඇතුළු ඇමතිවරුන් මෙයට වග කිව යුතුයි.. – විජේදාස රාජපක්ෂ

colombotoday

ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය 21 දා !

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

colombotoday

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Admin

කෝටි හතරකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

colombotoday