Colombo Today Local News

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එකල ඉංජිනේරු සංස්ථාවට ලිඛිත උපදෙස් ලබාදී වාහන 04ක් ලබාගෙන භාවිතා කළත් අද නිදැල්ලේ සිටින බවත් කිසිදු අයුරකින් එසේ වාහන ලබා නොගත් ඇමතිවරයා අද සිරගතකර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද සඳහන් කළේය.

”නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා රට බෙදා වෙන් කිරීමට සහ ජාතික සමගිය වැනසීමට මේ ආණ්ඩුව සුදානමින් සිටිනවා. ඒ වගේම රටේ සම්පත් කුණු කොල්ලයට විකුණමින් සිටිනවා. එට්කා ගිවිසුම හරහා අපේ තරුණතරුණියන්ගේ රැකියා ටික ඉන්දියානුවන්ට දෙන්න හදනවා. මේ තත්වයට එරෙහිව දසදෙසින් ජනතා විරෝධය පැන නගිමින් තිබෙනවා. ඊට පිළිතුරු වශයෙන් මේ ආණ්ඩුව අද ඔවුන්ට එරෙහි සටනේ සිටින ජාතික නායකයන්, ජාතික බලවේග මර්දනය කිරීමට පෙළගැසී සිටිනවා. විමල් විරවංශ මැතිතුමා කියන්නේ, මේ රූකඩ පරඬැල් ආණ්ඩුවට එරෙහි සටනේ ප්‍රමුඛතම සෙන්පතියා බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණක්. ඔහුව සිරගත කරලා නිහඬ කරන්න හදනවා කියන්නේ කුමක්ද? ඉන් කියැවෙන්නේ මේ ආණ්ඩුව කලබල වී ඇති ප්‍රමාණයයි. තමන් අනාරක්ෂිතයි කියලා හිතුනාම තමයි යම් ආණ්ඩුවක් මෙවැනි පියවර ගන්නේ. 2017 වසරේදී සිදුවිය හැකි බල පෙරළිය පිළිබඳව ඔවුන් හොඳටම කලබල වෙලා. ඔවුන්ගේ අනාරක්ෂිත මනසේ ස්වභාවය තමයි මෙමගින් පෙන්නුම් කරන්නේ. ඒ නිසා අපි කියනවා, විමල් වීරවංශ මහතා සිරගත කිරීම කියන්නේ දඩයම් වැලක ආරම්භය කියලා.

වාහන අවභාවිතයකට අනුබල දුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැතිව ආශු මාරසිංහ නැමැති ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුවයි, විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කළේ. මේ ආශු මාරසිංහ කියන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ මන්ත්‍රීවරයෙක්. ඔහු ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කිරීමේදී සිදු කළ අක්‍රමිකතා නිසා විමල් වීරවංශ මහතා ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කළා. එහිදී ඔහු පැවසුවා ‘මාව ඉවත් කළොත් එය මගේ මහාචාර්ය නාමයට සුදුසු නැහැ. මට ඉල්ලා අස්වෙන්න ඉඩ දෙන්න’ කියලා. ඇමතිවරයා ඔහුට අනුකම්පා කොට ඒ සඳහා ඉඩ ලබා දුන්නා. එහෙම ඉල්ලා අස්වූ ඔහු නතර වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ළඟයි. අපට හිතෙන්නේ ඔහු විද්වත් වෘත්තිකයකු ලෙස අප සමග සමබන්ධ වන කාලයේත් රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ගනුදෙනු කරන්න ඇති කියලයි. ආශු මාරසිංහ කියන්නේ අපේ පක්ෂයේ කිසිදාක සාමාජිකත්වය දැරූ කෙනෙක් නොවෙයි. තමන් ජපානයේ තාක්ෂණ විශ්ව විද්‍යාලයක සහාය මහාචාර්ය පදවියක් දැරූවකු ලෙස අඟවමින් තමයි ඔහු අප සමග සම්බන්ධ වූයේ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීමේ යහපාලන මෙහෙයුමට සිරිකොතේ සිට උපදෙස් දුන්න මේ තැනැත්තා ඉංජිනේරු සංස්ථාවේ සිටියදී අවභාවිතයට ලක් වූවා යැයි කියන වාහන 40න් 11ක් ඉංජිනේරු සංස්ථාවෙන් අමාත්‍යාංශයට, එහෙම නැත්නම් ජනසෙවණ ජාතික නිවාස සංවර්ධන ව්‍යාපෘතියට මුදා හැරීමට ලිඛිතව හා වාචිකව උපදෙස් දුන් තැනැත්තායි. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ වාහන අවභාවිතාවක් සිදුව ඇත්නම් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පළමුව අත්අඩංගුවට ගත යුත්තේ මේ රනිල් වික්‍රමසිංහගේ පුරෝහිතයාවයි.

2010-2014 කාලසීමාව කියන්නේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ස්වර්ණමය යුගයක්. අමාත්‍යාංශය සතුව තිබූ රාජ්‍ය ආයතන 12 අපි නඟාසිටවූවා. වසා දැමීමට නියමිතව තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10,000 දක්වා අපි වැඩි කළා. නිවාස අමාත්‍යාංශයට අහිමි වෙමින් තිබූ දේපළ, ඉඩම් ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් අත්පත් කර ගත්තා. අමාත්‍යාංශය සතු ඉඩම් අත්පත් කරගෙන සිටි ඉන්දියානු සමාගමකින් යළි ඒවා ලබාගත්තේ නඩු කියලයි. ඉන් අමාත්‍යාංශයට ලැබුණු වන්දිය යොදා අපි 2014 වන විට රුපියල් මිලියන 170ක නිවාස සංවර්ධන අරමුදලක් ඇති කළා.

මෙවැනි දැවැන්ත වැඩ කොටසක් කිරීමේදී රාජ්‍ය නිලධාරින් පමණක් නොව විශ්වාසනීය ස්වෙච්ඡා සේවකයන් පිරිසක් උවමනා වෙනවා. ඒ විශ්වාසනීය පුද්ගලයන් අතර පක්ෂ කාඩර්වරුන් වගේම ඇමතිවරයාගේ ඥාතීන් කිහිප දෙනෙක්ද හිටියා. ඔවුන් කිසිවකුත් අයුතු වරප්‍රසාද, වැටුප් ලබා ගත්තේ නැහැ.ඔවුන් වැඩ කළේ ස්වෙච්ඡාවෙන්. කොළඹින් බැහැර යාමේදී ඒ පිරිසට ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. ඒ සඳහා යොදාගත් වාහනවල ‘රනින් චාර්ට්’ බලලා ඒවායේ ඥාතීන් කිහිප දෙනෙකුගේ නම් ඇති බව දැකලා FCIDය කියනවා, ‘මේවා ඥාතීන්ට දුන්නු වාහන’ කියලා. ඒ වාහන 40 යොදා ගත්තේ ජනසෙවණ ජාතික නිවාස සංවර්ධන මෙහෙයුමට සම්බන්ධ ස්වෙච්ඡා සේවක පිරිස් වලට ප්‍රවාහන පහසුකම් දෙන්නයි. ඒ වාහනවලට වසර 4 1/2ක් තිස්සේ ලබාදුන් ඉන්ධනත් ‘රනින් චාර්ට්වල’ නම් ඇති පිරිසගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් බවටයි FCIDය තම විමර්ශන මගින් ඔප්පු කරන්න හදන්නේ. මෙතන තියෙන්නේ තනිකරම දේශපාලන දඩයමක් මිස වෙන යමක් නොවෙයි.

එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි ලසන්ත අලගියවන්න මහතා ලියුම් තුනක් ඉංජිනේරු සංස්ථාවට යවලා වාහන 04ක් අරන් පාවිච්චි කළා. ඒක අවභාවිතයක් නොවෙයි. නමුත් එකම වාහනයක්වත් ඉල්ලලා ලියුම් නොයවපු, වාහන නොගත්තු ඇමතිවරයා වාහන අවභාවිතාවට අනුබල දුන්නලු. මේවාට කියන්න තිබෙන්නේ ‘සභාවේ සිනා’ කියලා. ඒ විතරක් නොවෙයි විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන නඩු විභාගය පවත්වන අතර මේ නඩුවට අදාළව ත්‍ක්‍ෂෘය ඉදිරිපත් කළ බී වාර්තාව ජවිපෙට හා ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවිවල පළ කළා. මේ අනුව ඉතා පැහැදිලියි විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම කල් තියා සැලසුම් කළ එකක් බව ”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

[fbvideo link=”https://www.facebook.com/nidahasperamuna/videos/1182474781867680/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ක්‍රිකට් අතුරුකමිටුවේ ගැසට්ටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ…

Admin

කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

colombotoday

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ඇතුළු වන සියලූ දොරටු හැරදමා මැතිසබය රැස්වෙයි

colombotoday

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

colombotoday

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

colombotoday

[Video] සිරගත වූ ඥානසාර හිමිගේ විශේෂ ප්‍රකාශයක්

colombotoday