Colombo Today Local News

[Video] සිරගත වූ ඥානසාර හිමිගේ විශේෂ ප්‍රකාශයක්

GnanasaraThero_jail
2016 ජනවාරි මස 26 දින හෝමාගම උසාවියේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් නීතිඥයින් රහිතව චෝදනා වලට එරෙහිව සිය කරුණු ඉදිරිපත් කිරීමට යෙදුනු විශේෂ ප්‍රකාශය.

ස්වාමීනි,

පවතින නීතිය තුලින් අපට රැකවරණයක් ලැබීම පිලිබඳව අපට විශවාසයක් නොතිබුනද, විජාතිකයින් විසින් අපව පාලනය කිරීම සදහාත්, විනාශ කිරීම සදහාත් ස්ථාපිත කල නීතිය අපව ආරක්ෂා නොකරන බව අප දන්නා වුවද, දෙවියන් වහන්සේ කෙනෙක් පිලිබඳව විශවාස නොකලද , ඇස කන් ඇති, හර්ද ශාක්ෂිය ඇති මිනිසුන් ජීවත්වන බව පිළිගන්නා නිසාද, ඔවුන් කෙරේ විශ්වාසය පල කල හැකි නිසාද, ඔබත් එසේ බුද්ධිය පමණක් නොව හදවතක්ද ඇති කෙනෙක් ලෙස සිතන නිසාද මට සිතෙන දේ කීමට අවසර දෙන්න.වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් තිස්සේ ගරුතර ස්වාමීන්වහන්සේ ලෙසින් “සිංහලේ” නම් වූ අපේ රටේ ජනතාව ඇමතු භික්ෂුන්ගේ පරපුරෙන් පැවතෙන, එදා සිට අද දක්වාම නොවෙනස් ඇඳුම, එනම් ලෝකයේ පැරණිම, නොවෙනස් වූ නිල ඇඳුම වූ බුද්ධ චීවරය සහිත මා හට අද ඔබට ස්වාමීනී ලෙස අමතන්නට ලැබීම ඉතිහාසයේ විජාතිකයින් අපට කරන ලද අසාධාරණයන් හා එම වැරදි, නිවරදි කිරීමට අපේ කළු සුදු නායකයන්ට නොහැකි වීම තුල වූ ඓතිහාසික වැරද්දක ප්‍රතිපලයක් ලෙස දකිමු.

ඉතිහාසයේ වූ වැරදි නිවැරදි කිරීමට, අනාගත පරපුර වෙනුවෙන් එම උදාර කාර්යය කිරීමට අපිට වර්තමානය උරුම කර ඇත්තේ අපගේ වැරද්දක් නිසා නොව අපගේ පාලකයන්ගේ වැරදි නිසාවෙනි.ලෝක වෙළඳ අධිරාජ්‍යයක් හා ලෝක කතෝලික රාජ්‍යයක් බිහි කිරීමට පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසින් සිය ත්‍රස්තවාදය තුලින් 1815 දී අපට අහිමි කලේ “අපේ සිංහලේ” දේශයයි. ලෝක කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මේ සිංහලේ රට තුල ත්‍රස්තවාදය ක්‍රියාත්මක කලේ, ඔවුන් දකින අසාදාරනයක් නිසා විය හැක. ලෝක දෙමල රාජ්‍යයක් බිහි කිරීමේ න්‍යාය පත්‍රයට “අපේ සිංහලේ” බිලි වුනේ LTTE ත්‍රස්තවාදය ලෙසිනි. අද අප මුහුණ දෙන භයානකම විභව ත්‍රස්තවාදය වනුයේ ලෝක මුස්ලිම් රාජ්‍ය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම උදෙසා වූ ත්‍රස්තවාදයටයි. ත්‍රස්තවාදය ජයගත් බොහෝ තැන වල ත්‍රස්තවදියා ලේ පිස දමා, තුවක්කුව පසෙක තබා පාලකයා වී නීතිය බවට් පත් වී ඇති බව අපි දනිමු.

අහෝ ඛේදයකි. ඊයේ රාත්‍රියේ සමස්ථ මධ්‍යයම මා එවන් ත්‍රස්තවාදියෙකු ලෙස, අපරාධකරුවෙකු ලෙස ඔබේ වරෙන්තුවක් ලබා ඇති බව ප්‍රකාශ කෙරුණි. පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් නිර්වර්ජිත්ව මා අත් අඩංගුවට ගැනීමට පුදුම උනන්දුවකින් කටයුතු කරන ලදී. ඊයේ පිංකමකට මා ජපානයට යා හැකි බැවින් මා පිටරට යැවීමට ඉඩ නොදෙන ලෙස ගුවන් තොටුපලට දැන්වීමට පවා ඔවුන් උනන්දු වී තිබුණි. ඒ උසාවි නියෝගයක්ද නැතිවය. සැබෑ ත්‍රස්තවාදීන්, හොරුන්, මංකොල්ලකරුවන් නිදහසේ සිටින, ඔවුන් පාලකයින් වී සිටින රටක, හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමේ වරදට, අපේ සිරිතට වේදනාවෙන් යම් වේගයකින් කතා කිරීමේ වරදට මා අපරාධකරුවෙකු කිරීමට, මේ දුෂ්ට ක්‍රමය අවස්ථාවක් නිර්මාණය කර ඇත.

මා කල අපරාධය කුමක්ද? මාගේ ක්‍රියාව අපරාධයක් වුයේ එය සැබවින්ම අපරාධයක් නිසාද? එසේ නොමැති නම් විජාතිකයින් විසින් අපව පාලනය කිරීමට, විනාශ කිරීමට ස්ථාපිත කල , අපේ දුර්වල පාලකයින් විසින් ඔවුන්ගේ නොහැකියාව මත දේව ග්‍රන්ථයක් ලෙස පිළිගත් දණ්ඩ නීති සංග්‍රහයේ අංක කිහිපයක් අතරට මාගේ ක්‍රියාව හිර කල හැකි නිසාද? මේ පිලිබඳ මට ඇත්තේ දෙගිඩියාවකි.

පෙර සිරිත නම් වූ සිංහලේ නීතිය යටතේ බිහි වූ සංස්කෘතියකට උරුම වූ භික්ෂු පරපුරකට උරුම කම් කියන අප, ජීවත්වන්නේ චාතුරාර්ය සත්‍ය පදනම් කරගෙනය , ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමිනි. බුදු හිමියන් විසින් දෙසු කාලම සුත්‍රයේ එන විචාරශීලී චින්තනයට අනුවය. මා ඊයේ කටයුතු කලේ මේ පදනම මත උජුපටිපන්න- ඍජුව වැඩ කරන, කතා කරන භික්ෂුවක් ලෙසය.

එහෙත් මගේ “තරහ – වෛරයක්” ලෙස අර්ථ දැක්වීමට, මගේ “විවේචනය – තර්ජනයක්” ලෙස අර්ථ දැක්වීමට, ඔබගේ විරෝධයකින් තොරව ඔබ සමග උසාවියේ කල “කතාව- අධිකරණයට බාධා කිරීමක්”- එපමණක් නොව ” අද අප මෙලෙස “සංවිධානය වී පැමිණීම අයුතු ජන රාශියක්”ලෙස අර්ථ දැක්වීමට පමණක් නොව ඊයේ රාත්‍රියේ අප කල “දුරකථන සංවාද, facebook පණිවුඩ හා සාකච්චා- රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ” ලෙස අර්ථ දැක්වීමට විජාතිකයින් විසින් අපව පාලනය කිරීමට, විනාශ කිරීමට ස්ථාපිත කල , අපේ දුර්වල පාලකයින් විසින් ඔවුන්ගේ නොහැකියාව මත ක්‍රියාත්මක කරන පොලිසියට, නීතිපති දෙපාර්තමේන්තුවට සිය අභිමතය පරිදි අර්ථකථනය කොට හැසිරවීමට අංක රාශියක් ඇති බව පැහැදිලිය.

දෙනෙත් වසා ගෙන සාධාරණත්වය ඉටු කිරීමට පෙරමුණ ගෙන සිටින නීතියේ සංකේතය- නීතියේ දෙවඟන ඉදිරියේ අද මා පෙනී සිටින්නේ සාධාරණත්වය පිලිබඳ කතා කිරීම නිසාය. එය වැරද්දක් වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිනිසුන් ලෙස අප සැමට උරුම කර ඇති සිතීමේ නිදහස හා භාෂණයේ නිදහස මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම රැකවරණය දෙනු ලබන විජාතිකයින් විසින් අපව පාලනය කිරීමට, විනාශ කිරීමට ස්ථාපිත කල , අපේ දුර්වල පාලකයින් විසින් ඔවුන්ගේ නොහැකියාව මත දේව ග්‍රන්ථයක් ලෙස පිළිගත් නීති පද්ධතිය හා විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ අංක කිහිපයක් සහ එම නීතිය යුක්ති ධර්මය හා සාධාරණත්වයට වඩා උතුම් යයි සිතන තමන් නීති වෘතිකයින් ලෙස සිතන වෘකයින් පිරිසක් අප අතර සිටින බැවිනි. යුක්තියේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන් අද සිදුවන වචන හරඹයන් තුල සාදාරණ මිනිසුන් ගැහැනුන් අපරාධකරුවන් වන පරිසරයක් තුල දෙනෙත් වසා ගෙන සාධාරණත්වය ඉටු කිරීමට පෙරමුණ ගෙන සිටින නීතියේ සංකේතය- නීතියේ දෙවඟන අද අප අතහැර ගොස් ඇති බව මට පෙනේ. නීතියේ දෙවඟන ගෙන් ඉල්ලා සිටින්නේ , වඩින්න මේ සාධාරණත්වයේ හා යුක්තියේ දෙවොලට… විවර කරන්න ඔබේ දෙනෙත්….පණපිටින් දිව්‍ය ලෝකයේ යාමට තරම් අවංක කම පෙන්වන මේ නීතිවෙදීන්ගෙන් බේරා ගන්න මේ අහිංසක, දුප්පත් සමාජය. එමෙන්ම සාධාරණව කටයුතු කරන නීතිවේදීන්ට ආශීර්වාදයක් වන්න….

උක්ත නඩුවේ මා පාර්ශවකරුවෙක් බව මම සිතමි. එය බුද්ධ වචනයට අනුවය. නීති පොත මට දෙවෙනිය.තිස් වසරක් යුද්ධයේ , වෛරයේ තරම අද අපට අමතකව ගොස්ය. යුද්ධයෙන්, වෛරයෙන් මිය යන්නේ , තුවාල ලබන්නේ, දුක්විදින්නේ සිංහල හෝ දෙමළ හෝ බෞද්ධ හෝ , හින්දු හෝ කතෝලික හෝ ඉස්ලාම් හෝ වේවා මිනිසුන්ය,,,ඔවුන් සියලු දෙනාට ජීවත්වීමට අයිතිය ඇත. එය මටද, ප්‍රගීත් එකනලිගොඩටද, ශම්මි කුමාරරත්නටද පොදුය. බටලන්දේ මියගිය ය, සුරියකන්දේ මිය ගිය ය, 1983 ජුලි කලබලය මෙන්ම 2014 අලුත්ගම දී මිය ගිය මෙන්ම අද ලොව පුරා ත්‍රස්තවාදයෙන් මිය යන සියලු දෙනාටත් එය පොදුය. ප්‍රගීත් ගේ බිරියට, දරුවාට ඇති දුක පාඩුව අපට ඉතා පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන, ගැටලුව වනුයේ ඔවුන් වෙනුවෙන් කතා කරන හඬවල , ඩොලර්, ඇඹිලිපිටියේ තරුණයාට කතා නොකිරීමය, කැබිතිගොල්ලාවේ ඝාතන වලට කතා නොකිරීමයි. අපට ගැටලුව වන්නේ ප්‍රගීත් සෙවීම හෝ සාධාරණයක් ඉටුකිරීම වෙනුවට ප්‍රගීත්ව යම් අයගේ න්‍යාය පත්‍රයක් බවට පරිවර්තනය කර ගැනීමය. ප්‍රගීත් කොටියෙක් වුවද, සිංහයෙකු වුවද ඔහුට ජීවත්වීමට ඇති අයිතිය කිසිවකුටත් අහිමි කල නොහැක. ඔහුව මරා දැමීමට කිසිවකුටත් නොහැකිය. එය සිදු වූවානම් දඬුවම් විඳිය යුතුය. එමෙන්ම ස්වභාව ධර්මය දඬුවම් දෙනු ඇත.

71 කාලයේදී සිදුවුණු මිනීමැරුම් පිලිබඳ සෙවීමට ජාත්‍යන්තර ප්‍රජාව උනන්දු නොවන්නේ- 88-89 මිනීමැරුම් පිලිබඳව සෙවීමට ජාත්‍යන්තර ප්‍රජාව උනන්දු නොවන්නේ “සිංහලයා” ජාත්‍යන්තර ප්‍රජාවේ න්‍යායපත්‍රයක් නොවන නිසාද? රෝහණ විජේවීරගේ මරණය ගැන මෙලෙස සොයන්නේ නැත්තේ ඇයි ? විජේව්ව්රගේ බිරිඳ හා දරුවන් එක්නැලිගොඩ පවුලේ අයිතිවාසිකම් වලින් වෙනස් වන්නේ ඇයි? හේතුව ත්‍රස්තවාදීන්, අපරාධකාරයින් පාලකයින් වූ විට ඔවුන්ගේ ලේ සෝදා දැමීමට මේ සාධාරණත්වයේ හා යුක්තියේ යාන්ත්‍රණය සිය දෙනෙත් වසාගෙන නීති තර්ක හා පැමිණිලි වල සිර වී සිටින නිසාද?

උසාවියට මේ පිලිබඳ ගැටළුවක් ඇති නොවුනද, ඇස් කන් ඇති හදවතක් ඇති බුද්ධියක් ඇති අපට මේ ගැටළු ගැන සිතන්නට සිදු වීම අද අපරාධයක් වී ඇත.

මේ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට චෝදනා ගොනු කර ඇත්තේ මිනීමැරුම් චෝදනා වලටය. තවම මිනි මැරුමක් ඔප්පු වී නොමැත. ඔවුන් පැහැර ගැනීමකට , කුමන්ත්‍රණ කිරීමට චෝදනා ලබා ඇත. එයට ඇප දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු නො කරන්නේ ඇයි? මෙවැනිම චෝදනාවකට හිරුනිකා ප්‍රේමචන්ද්‍රට මිනිත්තු ගණනකින් ඇප ලබා දීමට පමණක් නොව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද කරන්නේ මේ නීතිපති දෙපාර්තමේන්තුව ම නොවේද? මේ පිලිබදව, නඩු කාර තුමනි…. ඔබට, කල හැකි දෙයක් නොමැති බව මට හොදින් වැටහෙනවා. මම ඊයේ සිතුවේ ඔබට නීතිය පසින්දුලීමට සර්වබලධාරී දෙවි කෙනෙකුගේ බලයක් ඇති බවයි. සාධාරණ මිනිසකු ලෙස. හදවතක් ඇති මිනිසකු ලෙස ඔබට බලය තිබුනා නම් ඔබ නිවැරදි දේ කරන බව මා විශ්වාස කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය සිය නීති පොත්, සිය අධිකාරි බලය මගින් ඔබට සීමා ඇති කරන බව මට දැන් හොදින් තේරෙනවා. මහේස්ත්‍රාත්, දිස්ත්‍රික්, මහාධිකරණ, ශ්‍රේෂ්ඨධිකරණ ආදී වශයෙන් සාධාරණත්වය ඉටු කිරීමේ සීමා හා මට්ටම් ඇති බව මම ඊයේ රාත්‍රියේ දැන ගත්තා. යුක්තිය හා සාධාරණත්වය මේ යාන්ත්‍රණ තුල වසර ගණන් හිර වී සිටින බව මට තේරුනා…

නඩුකාරතුමනි , අද අප යම් පමණක් සැනසිල්ලේ ඉන්නවා. එත් 2009 ට පෙර….මට මතකයි ඒ කුරිරු යුද්දය. මගේ ළමා කාලය, තාරුණ්‍ය ඒ යුද්ධය කාලයේදී දිය වී ගියා. එය ඔබටත් , මිලියන ගණනකටත් එසේමයි. එදා අපි පාරේ ගියේ බයෙන්, කොයි වෙලේ වෙඩි වදීද, බෝම්බ පිපිරේ ද කියා අවිශ්වාසයෙන්..දෙමාපියෝ දරුවෝ එකට ගියේ නැහැ. අම්මා තාත්තා එකට ගියේ නැහැ. අද මේ නීති වේදීන්ට යහපාලනය නාමයෙන් ඒවා අමතක වෙලා. අද පොලිසියට ඒවා අමතක වෙලා. එත් නඩුකාර තුමනි, අපිට අතීතය අමතක නැහැ. අපි යුද්දේ කරන කොට සටන් බිමට ගියා. මිනී මරන්න නෙමේ. තුවාල වූ සොල්දාදුවන්ට උපකාර කරන්න. භික්ෂුන් හැටියට අපිට යුද්දෙට ආශීර්වාද කරන්න බැහැ පිරිත් කියන්න බැහැ . එත් සොල්දාදුවන්ගේ ආරක්ෂාවට පිරිත් කියන්න පුළුවන්. පිරිත් නුල් බඳින්න පුළුවන්. මේ ගිරිතලේ කැම්ප් එක පටන්ගත්ත දවසේ ආරක්ෂාවට පිරිත් කිවුවේ මම. එක යුද්දෙට ආශීර්වාද කරන්න නෙමේ. අපි ආරක්ෂාවට පිරිත් කිව්වා. යුද්දේ ඉකමනට ඉවර වෙන්න කියලා ආශිරවාද කළා. එක එහෙම සිද්ද උනා. මෙහෙම යහපාලනයක් තිබ්බනම් අදත් සිංහල කොල්ලෝ වගේම දෙමළ කොල්ලෝ, අපේ කොල්ලෝ මැරෙනවා යුද්දෙන්. ඒ යුද්දේ අසාධාරණයි. ඇමරිකාව බිල් ලාඩන් මරනකොට මානව හිමිකම් ගැන කතා නැහැ. වියට්නාමය යුද්දේ දී ඒ ගැන කතා නැහැ. UN නිහඩයි. එතකොට ඇමරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සියල්ල සාධාරණය කරනවා.

මේ ශාම්මිගේ බිරිද, දරුවෝ අනිත් මහත්වරුන්ගේ බිරින්දලා, දරුවෝ, දෙමාපියෝ මාව හම්බ වෙන්න එනවා. අඬනවා , දුක කියනවා. අපිටත් පපුවක් තියෙනවා..අපි භික්ෂුන් හැටියට මිනිස්සුන්ගේ දානේ වළඳලා ජීවත්වෙන්නේ, අපි අයිති අපිට නෙමේ මේ මිනිස්සුන්ට. ඒ නිසා මේ අයගේ ගැටළු අපේ ගැටළු. ඒක භික්ෂු උරුමය, වගකීම. එක සුද්දගේ නීති පොතේ නැහැ. එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අලිඛිත නීතිය. මේ අයගේ වැටුප් නවත්වලා. ඔවුන් ජීවත්වෙන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද? ලමයි පාසල් යන්නේ කොහොමද? බෙහෙත් ගන්නේ කොහොම ද? තමන්ගේ තාත්තලා මිනීමරුවෝ කියලා මාධ්‍ය වල යන කොට ඒ දරුවෝ ඉගෙන ගන්නේ කොහොමද? ප්‍රගීත් කොටියෙක් කියනවට වඩා ඒක දරුණු නේද?

අපි කියන්නේ නැහැ මේ හමුදා නිලධාරීන්ව නිදහස් කරන්න කියලා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට වගේ ඇප දෙන්න, වරදක් කරලා තියෙනවා නම් නඩු අහලා සුදුසු දඬුවමක් දෙන්න. අපි දහස් ගනනක් හාමුදුරුවරු ඇප වෙන්නම්. එහෙම නැත්නම් අපිව ඇපේට හිරේට දාල මේ මිනිස්සුන්ට ඇප දෙන්න. අපිට රකින්න දරුවෝ පවුල් නැහැ. අපි හිර ගෙවල් ඇතුලේ බන කියන්නම්, පිරිත් කියන්නම්. මම හිතුවේ ඔබතුමාට ඇප දෙන්න පුළුවන් කියලා. අපි හොරෙන් ඔබතුමාගේ ගෙදරට ගිහින් ඉල්ලුවේ නැහැ. මම හිතුවා ඔබතුමාට කියලා සාධාරණයක් කර ගන්න පුළුවන් කියලා. දවස් කිහිපයක් උසාවි අපි ආව, ඒ ගැන බලාපොරොත්තුවෙන්. ඊයේ මේ නිලධරීන් රිමාන්ඩ් කරන තීන්දුව දුන්න වෙලාවේ ඒ අයගේ ඇස් වල කඳුළු මට කතා කළා. ඒ කතාව තමයි මම ඔබතුමාට කිව්වේ. අපි දන්නවා සමහර අවස්ථා තියෙනවා සමහර නිලදාරීන් මේ වගේ නඩු ගෙනියන්නේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් නෙමේ.ඊ ළඟ උසස් වීම් ගැන හිතලා, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, සම්මාන ගැන හිතල. ඒ උදෙසා ඉහල නායකයෝ සතුටු කරන්න.

අපි සාධාරණත්වය ඉල්ලා ආයුධ ගත්තේ නැහැ. බෝම්බ පිපිරෙව්වේ නැහැ. අපි මිනිස්සු මැරුවේ නැහැ. දේපල හානි කලේ නැහැ. ඔබතුමා ගාවට ඇවිල්ල ඉල්ලීමක් කළා. දුකට පත් වුයෙක් දේවාලේ කන්නලවු කරනවා වගේ. මොනවා කරන්නද මගේ කට හඬ වේගවත්. එක මගේ ජන්ම උරුමයක්. ඒ වගේම් හොඳට බන පිරිත් කියන්නත් පුළුවන්. ඇයි මාව අපරාධකාරයෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය මෙතරම් උනන්දු උනේ. ආයුධ ගත්ත. බෝම්බ පිපිරෙව්ව මිනිස්සු මැරුව. දේපල හානි කල LTTE සැකකරුවන් නිදහස් කරන්න නිර්දේශ කරන සමහර නීතිපති නිලධාරීන්, පොලිස් නිලධාරීන්, උසාවියේ කතා කරපු භික්ෂුවක් වන මාව දරුණු ගනයේ අපරාධකරුවකු ලෙස අත්අඩංගුවට ගන්න දණ්ඩ නීති සංග්‍රහයේ පිටු පෙරලා නිර්දේශ කිරීම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ජේදයේ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යන 9 වන වගන්තිය බලාත්මක කිරීමක්ද? එසේ නැත්නම් ආයුධ ගැනීමට සිංහලේ තරුණ තරුණියන් පොලඹවා JVP., LTTE නිසා විනාශ වී ඉතිරි වී ඇති අපේ කොල්ලෝ කෙල්ලෝ විනාශ කරන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද යන්න මට පැහැදිලි නැහැ.

අද අපිට රටේ නම සිංහලේ අහිමි කරලා . සිංහල කොඩිය අහිමි කරලා .. සිංහල ජාතිකත්වය අහිමි කරලා අද ගෝලීය සුළුතරයක් බවට සිංහලයා පත් වෙලා ඉන්න මේ මොහොතේ පසුගිය වසර 20 ම මගේ තරුණ කාලෙම මම පුජා කලේ රට වෙනුවෙන්, පරිවේනාධිපති තනතුර, රජයේ ගුරු පත්වීම පුජා කලේ රට වෙනුවෙන්, අපි සටන් කලේ අපේ රට රකින්න, පුජා භුමි රකින්නන, බෞද්ධයෝ රකින්න. ක්‍රිස්තියානි අන්තවාදයෙන්, මුස්ලිම් අන්තවාදයෙන් ආරක්ෂා වෙන්න. 1815 සුමන්ගල් හිමි, කුඩාපොළ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි , ධරමපාල තුමා පෙන්නපු පාරේ අපි යනවා. මේ සුද්දෝ හදපු, කළු සුද්දෝ පෝෂණය කල වල් නීතිය යටතේ ඔබතුමා හිර වෙලා. මට භික්ෂුවක් ලෙස විශේෂයක් කරන්න එපා. මට සුදුසු දඬුවමක් දෙන්න. හැබැයි මගේ පස්සේ තව දහස් ගනනක් ඒවි. හිරගෙවල් මදි වේවි, මෙහෙම ගිහිල්ලා හැම පාසලක්ම හිර ගෙයක් කරන්න වෙවේ. හැම පොල් ගහක්ම එල්ලුම් ගහක් කරන්න වෙව්. හැමදාම, හැමතැනම උද්ගෝෂණ තහනම් කරන්න උසාවි නියෝග අරගෙන මේ විදිහට ගැටළු විසදන්න බැහැ . සංවාදයක් අවශ්‍යයි. විසංවාදයට ඉඩ දිය යුතුයි.

හැබැයි අපි සියලු දෙනා තේරුම් අරගෙන වැඩ කලොත් මේ ගැටළු විසදලා හොඳ සමාජයක් නිර්මාණය කර ගන්න පුළුවන්. මොකක්ද මේ නීතිය. 75% සිංහල බෞද්ධයා ඉන්න රටේ තියෙන්නේ ඉංග්‍රීසි-ලන්දේසි ක්‍රිස්තියානි නීතිය… දෙමළ තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය.. ඉතා සුළු වශයෙන් උඩරට නීතිය… කෝ අපේ තිබුණ සිංහලේ පෙර සිරිත… අපි මේ කුණුහරුප ව්‍යවස්ථා සංශෝධනය කරලා වැඩක් නැහැ.. සිංහලයා,බෞද්ධයා විනාශ කරන ව්‍යවස්ථාව වෙනුවට -සිංහලයා , බෞද්ධයා රකින ව්‍යවස්ථාවක් හදන්න ඔනෑ . එකෙන් වැඩක් නැහැ මේ සිංහල බෞද්ධයා හිර කරන්න , විනාශ කරන්න හදපු නීති පද්ධතිය වෙනස් කරලා සිංහලයා, බෞද්ධයා රකින නීති පද්ධතියක්, අධිකරණ ක්‍රමයක්, පොලිසියක් වගේම රාජ්‍ය නිලධාරී පන්තියක් බිහි කරන්න ඕන…ඒ සඳහා සිංහලේ සැබෑ නිදහස් අරගලයට අපි පෙරමුණ ගන්නවා…

බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා ඥාණසාර හිමියන්ගේ විශේෂ ප්‍රකාශය මාධ්‍ය හමු‍වේදී ප්‍රකාශ කරමින්
[mom_video type=”youtube” id=”r1Oo8ZxE6Ow”]

Related posts

සිංහරාජය දෙපළු කර තවත් පාරක් හදයි… ලෝක උරුමය විනාශයි..

colombotoday

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

colombotoday

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

colombotoday

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

“ආණ්ඩුව සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්.. රටම අනාථයි” – ඥාණසාර හිමි හෙළිකරයි

colombotoday

සෝභිත හිමි ඇරඹූ සාධාරණ සමාජය ජවිපෙ 20ට අත උස්සයි…

colombotoday