Colombo Today Local News

පොලිස්පති නමනව.. නාවික හමුදාපති තලනව.. ස්වාධීන කොමිෂන් සභා බෝඩ් ලෑලි වෙලා

mohomed musammil

මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා අද බෝඞ් ලෑලිවලට සීමා වී ඇති බවත් පොලිස්පතිවරයා නීතිය නමද්දී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීන්ට තලන තත්වයකට පත් වී ඇති බවත් ජනතාව අද ‘මේකද යහපාලනේ?’ කියා අසන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

“මේ දිනවල හම්බන්තොට වරාය හා බැඳුණු සිදුවීම් දාමය ආරම්භ වූයේ එම වරාය චීන සමාගමකට විකුණා දැමීමට වත්මන් ආණ්ඩුව ගත් තීරණයත් සමඟයි. සුළුපටු කාලයකට නොවෙයි, වසර 198කටයි හම්බන්තොට වරාය මෙසේ විකුණා දමන්නේ. ඒක 99 අවුරුදු බදු දෙකක කාලසීමාවක්. සාමාන්‍යයෙන් යම් දේපළක් 99 අවුරුද්දකට බදු දෙනවා කියන්නේ, සින්නක්කරම විකුණනවා වගේ වැඩක්. ඒ අනුව මෙතැනදී මේ ආණ්ඩුව කරලා තියෙන්නේ හම්බන්තොට වරාය දෙවතාවක් විකුණනවා වගේ වැඩක්. මේ විදිහට මේ රටේ ජනතාව සතු වටිනාම සම්පතක් අපේ උපනූපන් පරම්පරා ගණනාවකට අහිමි වෙනවා. මේ වරාය යළි ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතව ඇත්තේ 2215 දීයි. එවිට මෙය චීනයේ භුක්තියට සවි වී නොතිබේවිද ?

හම්බන්තොට වරාය විකුණා දැමීමට ගත් තීරණයත් සමඟ එහි සේවකයන් විශාල අසීරුතාවකට පත් වූවා. එසේ තිබියදී ඉදිරියේදී මේ කලාපයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වරාය බවට පත්වීමට නියමිත හම්බන්තොට වරාය විකුණා දැමීමේ අපකීර්තිය වසා ගැනීමට ආණ්ඩුව මෙහිදී සැලසුම් සහගතව නාවික හමුදාව යොදා ගත් බවයි අපි විශ්වාස කරන්නේ. කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාව වසර 30ක යුදමය කාලසීමාව තුළ සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. ඒ නිසා මේ රටේ ජනතාව තුළ නාවික හමුදාව කෙරෙහි ගෞරවනීය පිළිගැනීමක් තිබුණා. එය තුට්ටුවකට මායිම් නොකර මෙවැනි වැඩවර්ජනයක් මර්දනය කිරීමට නාවික හමුදාව යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කළා. එමගින් ආණ්ඩුව සිදු කළේ නාවික හමුදාවේ ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසීමක්.

‘පොලීසියේ ගෞරවයත් කෙලෙසලා’

මේ ‘යහපාලන’ ආණ්ඩුව නාවික හමුදාවේ ගෞරවය පමණක් නොවෙයි අද කෙලෙසලා ඇත්තේ. ඔවුන් අද වන විට කීර්තිමත් දෙපාර්තමේන්තුවක් වූ පොලීසියේද ගෞරවය කෙලෙසා දමා තිබෙනවා. අද පොලිස්පතිතුමාට නියෝග දෙන ‘සර්ලා‘ ඉන්නවා. ‘යම් තැනැත්තකු අත්අඩංගුවට ගන්නවාද, නැද්ද?‘ කියා පොලිස්පතිවරයාට තීරණය කරන්න වෙලා තිබෙන්නේ ඒ සර්ලාගේ නියෝග අනුවයි. ඒ අනුව අද පොලිස්පති ධුරයේ වටිනාකම මේ ආණ්ඩුව ඉතා පහත් තැනකට ඇදදමලා තිබෙනවා. අවසානයේ මාධ්‍යවේදියාට පහරදෙන, කුණුහරුප කියන චණ්ඩියකුගේ තත්වයට අද නාවික හමුදාපති කියන ගෞරවනීය තනතුර පහතට ඇද දැමීමටත් මේ ආණ්ඩුව කටයුතු කළා.

‘ස්වාධීන කොමිෂන් සභා බෝඞ් ලෑලි බවට පත් කරලා‘

මේ ‘යහපාලන‘ ආණ්ඩුව බලයට ආපු ගමන් කතා කළේ ස්වාධීන කොමිෂන් සභා ගැන. ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන පොලිස් කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් ගැන ඔවුන් පුරාජේරු කතා කීවා. නමුත් බලයට ඇවිත් අවුරුදු 02ක් යන්න කලින් මොකද වෙලා තිබෙන්නේ ? ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබෙනවා, නමුත් පළාත් පාලන මැතිවරණය වසර 02ක් තිස්සේ කල් දමමින් ඉන්නවා. මැතිවරණය පවත්වන්නේ නැහැ.

‘පොලිස්පති නමනවා – නාවික හමුදාපති තලනවා’

ඒ වගේම ස්වාධීන පොලිස් කොමිසමක් කියලා එකක් තිබුණට පොලීසිය අද ස්වාධීනව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ‘සර්ලාගේ කෝල්වලට අනුව ක්‍රියා කරන පොලිස්පතිවරයෙක්’ තමයි අද ඉන්නේ. ස්වාධින රාජ්‍ය සේවා කොමිසමක් තිබුණට වැඩක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් අය පමණයි අද රාජ්‍ය සේවයට ගන්නේ. එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් උස කෙනෙක් නම් ‘සිකියුරිටි’ පත්වීමක් දෙනවා, කොට කෙනෙක් නම් ‘කම්කරු’ පත්වීමක් දෙනවා. (මාධ්‍යවේදීන්ගේ සිනා) එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් උපගුරුවරුන් දේශපාලන පලිගැනීම්වලට ලක් වුණා කියලා, විදුහල්පති සේවයේ 1 ශ්‍රේණියට උසස් කරලා තිබෙනවා. ඒ වගේම ජාතික පාසල් 353 සඳහා අනධ්‍යයන සේවකයන් (කම්කරු, මුරකරු, රසායනාගාර සහකාර) බඳවාගෙන ඇත්තේ කුලියාපිටිය ආසනයෙන්. ‘එක්සත් ජාතික පක්‍ෂයේ කුලියාපිටිය ආසන සංවිධායක කවුද? කියලා රටම දන්නවානේ. ඒ නිසා අද රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, උසස්වීම්, මාරුවීම් සිදු කෙරෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ට ඕනෙ විදියට. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම අද බෝඞ් ලෑල්ලකට පමණක් සීමා වෙලා. ආණ්ඩුව බලයට එද්දී පෙන්වූයේ ස්වාධින කොමිෂන් සභා. නමුත් අද වන කොට ඒ කොමිසන් සභා බෝඞ් ලෑලිවලට පමණක් සීමා වෙලා ඉවරයි. ඒ ස්වාධීන කොමිෂන් සභා බෝඩි ලෑලි බවට පත් කරලා අද ‘පොලිස්පති නමනවා- නාවික හමුදාපති තලනවා’

‘මාධ්‍යවේදීන්ට පහරදීම දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා’

තොරතුරු දැන ගැනීම ජනතාව සතු අයිතියක්, කියමින් තොරතුරු දැනගැනීමේ පනතක් ගෙනවිත් මහා බොරු ඝෝෂාවක් කරපු ආණ්ඩුවක්, අද තොරතුරු වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට නාවික හමුදාපතිවරයා ලවා පහර දෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී නින්දිත ක්‍රියාවක්. එම ක්‍රියාව සිදු කරපු මේ යහපාලන ආණ්ඩුවට අපි අපේ දැඩි පිළිකුල මේ අවස්ථාවේ පළකර සිටිනවා. ඒ වගේම අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා. ‘නාවික හමුදාවේ ගෞරවය රැකීම සඳහා මේ නාවික හමුදාපතිවරයා ඉවත් කරලා මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි’ කියලා. මේ නාවික හමුදාපතිවරයා අස් කිරීම පසෙක තියලා ඔහුගෙන්ම මේ පිළිබඳව පරීක්‍ෂණ වාර්තාවක් කැඳවීමට ආරක්‍ෂක ලේකම්වරයා කටයුතුකර තිබෙනවා. ගහපු කෙනාගෙන්ම, ගහපු එක ගැන පරීක්‍ෂණ වාර්තාවක් ඉල්ලුවාම ලැබෙන වාර්තාව ගැන අපට හිතාගන්න පුළුවන්නේ. අද මේ ‘යහපාලන’ ආණ්ඩුව කටයුතු කරන්නේ නාවික හමුදාපති බේරලා, මාධ්‍යවේදියා වරදකරු කරන්නයි.

‘වරාය සේවකයන්ට සලකපු හැටි’

ගල් කැටයක්වත් අතේ තියාගෙන නොහිටපු හම්බන්තොට වරාය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් හමුවේ මේ ආණ්ඩුව කටයුතු කරපු අන්දම ඉතා නින්දිතයි. ඒ නිරායුද සේවකයන් හමුවට තුවක්කු අත දරපු හමුදාවක් එවලා වෙඩි තැබීමට මේ ‘යහපාලන’ ආණ්ඩුව කටයුතු කළා. ඒ නිසා ආණ්ඩුව මුලින්ම දියත් කළේ මර්දනයයි. ඊට පසුව අධිකරණ නියෝග ගත්තා. අපි මේ ආණ්ඩුවේ සේවක දඩයම දැඩි ලෙස හෙළා දකිනවා. ඒ වගේම මේ සියලු සිදුවීම්වලට මුල් වූ මේ රටේ ජනතාව සතු වටිනාම සම්පතක් වූ හම්බන්තොට වරාය කුණු කොල්ලයට, වසර 198කට විකුණා දැමීම අතහැර දමන ලෙස ආණ්ඩුවට බලකර කියා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

Admin

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට.. විරෝධතාවට තහංචි !

colombotoday

චීනෙන් එක්දින ධීවර ය්‍රාත්‍රා වලට නොමිලේ භූමිතෙල්

Admin

සාම්පූර් සිද්ධියේ වරද හමුදාවට පැටවෙයි! ඇමති පිරිසක් හමුදාවට එරෙහිව අගමැතිට ගතු කියයි.. වහාම වාර්තාවක් කැදවයි

colombotoday

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday