Colombo Today Local NewsHot News

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

up-country-high-way-robary-with-kamba-horu

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතිය උල්ලංඝනය කර අදාළ මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ජපන් Taisei Corporation සමාගමට ලබා දී ඇත.

මංතීරු හතරකින් සමන්විත කිලෝමීටර් 32.5 ක් දුරැති තුන්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේය.

මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තුව ජපන් සමාගමකට පිරිනැමීමත් අරමුදල් මූලාශ්‍රය සඳහා ජපන් බැංකුවක් තෝරා ගැනීමත් ජපන් තානාපති කාර්යාලය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අතර සිදුව ඇති රහස් ලිපි හුවමාරුවක් මඟින් මෙරට ප්‍රභූ පුද්ගලයකු බරපතළ මූල්‍ය අපරාධයක් සැලසුම් කර ඇති බව පෙනී යන්නේ යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ප්‍රකාශකයකු පැවසීය.

2015 වසරේ දෙසැම්බර් මස අට වන දා කැබිනට් අනුමැතිය හිමි වූයේ කිලෝමීටර් 6.5 බැගින් මාර්ගයේ ඉදිකිරීම් කොටස් කර දේශීය කොන්ත්‍රාත්කරුවන් පස් දෙනකුට අදාළ ඉදිකිරීම් පවරා දීමටය. ඒ සඳහා තෝරා ගන්නා කොන්ත්‍රාත්කරුවන්ට මහා භාණ්ඩාගාරය මැදිහත් වී දේශීය හෝ විදේශීය බැංකුවලින් මූල්‍ය පහසුකම් සලසා දීමට ද තීරණය කර තිබිණි. අමාත්‍ය මණ්ඩල තීරණය වෙනස් කරමින් ජපන් Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කර තිබෙන්නේ කිලෝමීටර් 32.5 ක සමස්ත දුර ප්‍රමාණයම ඉදිකිරීම් කටයුතු ආවරණය කිරීම සඳහායි.

මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා Taisei සමාගම නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයයි. එම සමාගමට අමතරව ජපන් තානාපති කාර්යාලය විසින් Penta – Ocean Construction, Wakachiku Construction යන සමාගම් දෙක ද නම් කර තිබිණි. ජපන් තානාපති කාර්යාලය අදාළ සමාගම් නම් කිරීමට හේතු වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර්. සූරියආරච්චි ජපන් තානාපති කාර්යාලයට යොමු කරන ලද විශේෂ ලිපියකි.

එකී රහස්‍ය ලිපියට අනුව ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවේ දී ජපන් සමාගම් තුනෙන් සමාගම් දෙකක් මිල ගණන් ඉදිරිපත් නොකරන බව පවසා ඉවත් වී ඇත.

එම ඉවත් වීමත් සමඟ Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කෙරෙන්නේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගෙන නොවේ. ව්‍යාපෘතියේ ඉංජිනේරුමය වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය විස්සක්ව තිබිය දී ජපන් සමාගමට ටෙන්ඩරය පිරිනමන්නේ රුපියල් බිලියන 159.2 කටය. එය ඉංජිනේරුමය ඇස්තමේන්තුවට වඩා 30% ක වැඩි වීමකි.

ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අනිවාර්ය කෙරී ඇති ලන්සු බැඳුම්කරය ඉදිරිපත් කිරීමට ද ජපන් Taisei සමාගම සමත්ව නැත. ජපන් Taisei සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් මූලාශ්‍රය ලෙස තෝරාගෙන තිබෙන්නේ ජපානයේ Mitsubishi බැංකුවයි. එම බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණණුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතාය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව ජපන් සමාගමට ලබා දී ඇත්දැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සමාගම ‘ලන්සු බැඳුම්කරය’ තැන්පත් නොකිරීම හේතුවෙන් ගැටලුවක් පැනනැගී ඇති බවයි.

අදාළ ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් සභානායක මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී ඔහු කියා සිටියේ අදාළ ටෙන්ඩරය ජපානයේ Taisei සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා රජය කිසිදු අවසන් තීරණයක් ගෙන නැති බවයි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගනුදෙනුව සම්බන්ධව මැදිහත්ව ඇති බවයි.

– දයා නෙත්තසිංහ
සත්හඩ පුවත්පත

Related posts

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුම්

colombotoday

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් පරීක්ෂණයක් ඉල්ලා කොටි ඩයස්පොරාව වීදි බසී

colombotoday

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

colombotoday

සරුංගල් ආරවුලක් 16 හැවිරිදි සිසුවෙකුගේ අතක් වෙන්කර‍යි

Admin

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

colombotoday