Colombo Today Local News

ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුළු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳා ගන්න බැහැ.. – ජනපති

රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලුව බැවින් එය උසාවියේ දී විසඳාගත හැකි දෙයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, ඊයේ (21) පස්වරුවේ මහනුවරදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් හා නීතිඥවරුන් හමුවිය.

එහිදී ඔහු රටේ තත්ත්වය පිළිබඳව කළ කරුණු පැහැදිලි කිරීමේදී පලකළ අදහස් ජනාධිති මාධ්‍ය අංශය අද (21) නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබුණි.

උපුටා ගැනීම

රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලුවයි. එය ඉලක්ක කර ගෙන තමයි අපි කටයුතු කළ යුත‍්තේ. එසේ නොමැතිව මේ ප්‍රශ්නය සැඟවිය නොහැකියි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය ආණ්ඩු මාරු කරන එකක් නොවෙයි. පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවිය තීන්දුවක් ලබාදේවි. නමුත් රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුළු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී විසඳා ගත හැකි දෙයක් නෙවෙයි. ආර්ථිකය පවත්වා ගෙන යාමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එම නිසා පාර්ලිමේන්තුවේ 225 එක තැනකට පැමිණ වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළ යුතුයි.

-උපුටා ගැනීම අවසන් –

මේ අතර ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ, අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගය, ඉරාන් සහ හර්ෂගේ යෝජනා වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ හැකි බවයි.

‘සමහර දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ.ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතාවට බොරු කියලා දේශපාලන සෙල්ලමක් කරනවා. අපට අනාගතය සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ.රටේ තරුණ තරුණියන්ගෙ අනාගතයට අපි වගකිව යුතුයි. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා.ඕනෑම අයෙකුට විකල්ප යෝජනා තිබෙනවා නම් මම කැමතියි වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරන්න අවස්ථා ලබා දෙන්න.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොලැබුණහොත්, නැවතත් අසීරු තත්ත්වයක් උදාවනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

”රටේ එක් පුද්ගලයෙක් විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා සති හයක් ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වුණා. නැත්නම් ජනවාරි මාසය අවසන් වන විට අපට මෙය අවසන් කළ හැකිව තිබුණා.මේ වනවිට අපට ලබා දුන් කරුණු 15 ම ඉටුකර අවසන්.දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවස්ථාවයි.අපට ණය ලබා දී තිබෙන පැරිස් සමාජය ඉන්දියාව සහ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණ තිබෙනවා.පැරිස් සමාජය ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දෙන ක්‍රමවේදයක් තිබෙනවා.ඉන්දියාවට තවත් ක්‍රමවේදයක් තිබෙනවා. චීනය තවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා.පැරිස් සමාජයේ රටවල් ඔවුන්ගේ ක්‍රමවේදයට අමතරව ඉන්දියාවේ ක්‍රමවේදයත් පිළිගෙන තිබෙනවා.නමුත් චීනයේ ක්‍රමවේදය ගැන තවම එකඟත්වයක් නෑ.මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙනවා.එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී ජී- 20 රටවල්වල මුදල් ඇමතිවරු සාකච්ඡාවක් පවත්වනවා.ආර්ථිකය කඩා වැටුණු රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද? යන්න සම්බන්ධව එහිදි සොයා බැලීමට නියමිතයි. එතැනදි චීන මුදල් ඇමතිවරයා සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.ඔවුන්ගේ ස්ථාවරය අනුව අප ක්‍රියාත්මක කිරීමට විකල්ප දෙක තුනක් තිබෙනවා.අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර නොලැබුණොත්, ඉදිරියට ඉන්ධන නැතුව, පැය 12 ක පමණ විදුලි කප්පාදුවක් සමග ජීවත්වීමට සිදු වෙනවා.යල කන්නයට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ. මේ තත්ත්වය යටතේ ජනතාවට ඉතා අසීරුතාවකට මුහුණ දෙන්න වෙනවා.”

Related posts

එජාප ජනපති අපේක්ෂකයා තේරීමට සිරිකොතේ විශේෂ රැස්වීමක් !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

colombotoday

රුසියාවේ-චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් හෙද නිලධාරීහු එපා කියති

colombotoday

“පැරදිලා මේ පැත්ත පළාතේ එනු එපා” – අගමැති එජාප සංවිධායකයන්ට දන්වයි

colombotoday

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයෝ දෙකක් රත්මලානේදී අත්අඩංගුවට

colombotoday