ArticlesColombo Today Local News

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

first uav

නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා තාක්‌ෂණය දේශීයව දියුණු කිරීමේ කාර්යය මොරටු විශ්වවිද්‍යාලය මගින් 2012 දී ඇරඹීමෙන් පසුව අද වන විට අවසාන කඩඉම දක්‌වා සාර්ථකව පැමිණීමට හැකි වී තිබේ. එහිදී පසුකරනු ලැබූ අදියරයන් මෙසේයි. (1) ස්‌වයංක්‍රීය පාලන පද්ධතිය (autopilot, 2012) නිර්මාණය කිරීම හා එමගින් කි.ග්‍රෑම් 1 ක ඉතා සැහැල්ලු යානයක්‌ නියම කරනු ලැබූ ගමන් මාර්ගයක ස්‌වයංක්‍රීයව පියාසර කරවීම, (2) ගුවන් යානයේ බර කි.ග්‍රෑම් 3.5 දක්‌වා ඉහළ නැංවීම (2013), (3) කි.ග්‍රෑම් 7.5 ක්‌ මීටර් 4 ක්‌ දිග පියාපත් සහිත මධ්‍යම ප්‍රමාණයේ RAVAN යානය සාර්ථකව ගුවන්ගත කිරීම (2014), (4) පෙනුමින්, සැලසුමෙන් සහ වේගයෙන් RAVAN ට වඩා දියුණු කි.ග්‍රෑම් 6.5 ක්‌ වන CeyHawk) යානය සාර්ථකව ගුවන්ගත කිරීම (2015) සහ (5) CeyHawk යානය ප්‍රථම වරට තාක්‌ෂණික වාණිජ භාණ්‌ඩයක්‌ ලෙස නිපදවීම (2016)

seehok1
2016 වසරේ නිෂ්පාදන තත්ත්වයෙන් නිම කළ සීහොක්‌ (CeyHawk) යානය
see1
යානය නිපදවූ පර්යේෂණ කණ්‌ඩායම

මොරටු සරසවියේ ශිල්පීන් ඉදිරිපිට ඇති අභියෝගය වන්නේ දේශීයව දියුණු කළ මෙම තාක්‌ෂණය Unmanned Aerial Vehicle Technology) දේශීයව සහ ගෝලීයව භාවිතාවේ යෙදවීමයි. විවිධ කාර්යයන් සඳහා යොදාගත හැකි එකිනෙකට වෙනස්‌ නියමුවන් රහිත ගුවන් යානා හතරක්‌ (RAVAN, CeyHawk, Delta Wing, VTOLer) මේ වන විට එම සරසවිය සතුව තිබෙන අතර එම යානා මගින් විවිධාකාර කාර්යයන් රාශියක්‌ ඉටු කළ හැකියි. උදාහරණ ලෙස ගංවතුර, නාය යැම් ආදී ආපදාවකදී ක්‌ෂණිකව ගුවන්ගත වී එම ප්‍රදේශයේ භූ විෂමතාව ඉතා පැහැදිලිව 24 මෙගා පික්‌සල් තත්ත්වයෙන් සිතියම්ගත කිරීම, අක්‌කර දහස්‌ ගණන් විශාල වගා බිම් ඉහළින් ගුවන්ගත වී ඊට වැළඳී ඇති පලිබෝධ රෝග ආදිය හඳුනා ගැනීම කළ හැකියි. මෙවැනි කාර්යයන් සඳහා යොදවන නියමුවන් රහිත ගුවන් යානා ඉතා අධික මිලකට විදේශීය සමාගම් කිහිපයක්‌ මගින් මේ වන විටත් වෙළෙඳපොළට හඳුන්වා දී ඇති නමුත් මොරටු සරසවියට එම සේවාවම සාපේක්‍ෂව අඩු මිලකට හඳුන්වා දිය හැකි නිසා විදේශීය වෙළෙඳපොළේ තරග කළ හැකි පැහැදිලි ඉඩකඩක්‌ පවතී. දේශීය කාර්යයන් සඳහා ඕනෑම ආයතනයකට මෙම නියමුවන් රහිත ගුවන් යානා මගින් අවශ්‍ය සේවාව ඉතා අඩු මිලකට ලබා දීමට ඔවුනට හැකිය. ඒ සඳහා සාකච්ඡා මේ වන විටත් ආරම්භ වෙමින් පවතී. විදේශීය භාවිතාවේදී විශේෂයෙන් ඇමරිකාවේ තිබෙන අක්‌කර ලක්‍ෂ ගණන් විශාල පයින් වතු වල කුරුමිණියන් මගින් වන හානිය කල්තියා හඳුනා ගැනීමට මේ යානාවන් යොදා ගැනීමට සාකච්ඡා කෙරෙමින් පවතී.

රාවන් යානයත් සීහොක්‌ පළමු යානයත් පර්යේෂණ තත්ත්වයෙන් නිර්මාණය කොට සියලුම පියාසර පර්යේෂණවලට ලක්‌ කරන ලදී. ඒ අනුව රාවන් යානය 72 වතාවක්‌ද සීහොක්‌ යානය 12 වතාවක්‌ද ගුවන්ගත කරන ලදී. සුළඟට එදිරිව යානාවේ සැකිල්ලේ ශක්‌තිමත් බව, සුළං බැදීම අවම කිරීම මෙන්ම ස්‌වයංක්‍රීය පාලන පද්ධතිය, සන්නිවේදන පද්ධතිය, බලපද්ධතිය සහ බර දැරීමේ හැකියාව ද මෙම පර්යේෂණ වලින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ගෝලීය වෙළෙඳපොළට ලංකාවෙන් හඳුන්වා දෙන උසස්‌ තාක්‌ෂණික භාණ්‌ඩයක්‌ ලෙස සීහොක්‌ නිර්මාණය කිරීමට තීරණය ගන්නා ලදී. ඉන් අනතුරුව, පසුගිය අඩ වසර තුළ යානාවේ සියලුම කොටස්‌ පරිගණක මෘදුකාංග මගින් සැලසුම් කොට එම කොටස්‌වල අච්චු ලේසර් කැපුම් මගින් අඩු වියදම් ක්‍රමයකට නිපදවන ලදී. එම අච්චු යොදාගෙන සීහොක්‌ යානය නිෂ්පාදනය කිරීමට කාර්බන් ෆයිබර් තාක්‌ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍ය නිසා කාබන් ෆයිබර් තාක්‌ෂණය ද ස්‌වඅධ්‍යයනයෙන් ප්‍රගුණ කරන ලදී, සමස්‌ත ක්‍රියාවලිය අවසනදී කි. ග්‍රෑම්. 7.5 බර නවතම සීහොක්‌ යානය ගෝලීය වෙළෙඳපොළට තරගකාරී අයුරින් නිපදවීමට හැකි විය. මෙම යානයේ තිබෙන කවාකාර සහ පැතලි තටු, දැකුම්කලු පෙනුම, V හැඩයේ කොටස මෙන්ම වර්ණ සංකලනය ද තීරණය කරනු ලැබුවේ ගෝලීය වෙළෙඳපොළේදී උපරිම ආකර්ෂණය සීහොක්‌ වෙත ලබා ගැනීම සඳහායි.

නියමුවන් රහිත ගුවන් යානා තාක්‌ෂණය දියුණු කිරීමේ උත්සාහයට ප්‍රධාන මූල්‍ය දායකත්වය මොරටුව විශ්වවිද්‍යාලයේම සනාතන පර්යේෂණ කමිටුව විසින් ලබාදුන් අතර ලෝක බැංකුවේ ද එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ද දායකත්වය ලැබිණි. මේ දක්‌වා වසර 4 ක්‌ තුළ වැය කළ මුළු මුදල රු. ලක්‍ෂ 20 ක්‌ පමණ වන අතර ඒ සඳහා වැය කළ බුද්ධිමය ශ්‍රමය ගණනය කර නොමැත. මොරටු සරසවියේ සිසුන් පිරිසක්‌ තම උපාධි අධ්‍යාපනයේ අවසන් වසර ව්‍යාපෘතිය ලෙස නියමුවන් රහිත ගුවන් යානා සෑදීම වසරින් වසර දියුණු කළ අතර පශ්චාත් උපාධි පර්යේෂණය ලෙස මෙම තාක්‌ෂණය දියුණු කරන සිසුන් කිහිප දෙනෙක්‌ මෙම කාර්ය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරමින් සිටිති. චාමික ගමගේ ප්‍රධාන සැලසුම්කරණයත්, අනුරුද්ධ තෙන්නකෝන් පාලන පද්ධතියත්, රොෂාන් ලලන්ත යානා සැලසුම්කරණයත්, සංජීව ප්‍රනාන්දු සහ සුධීර ඒකනායක එකලස්‌ කිරීමත්, ලක්‍ෂ්මන් ගමගේ බාහිර පයිලට්‌ ලෙසත්, සරත් ආනන්ද, එච්. ඩී. සී. පෙරේරා, ජගත් ප්‍රියදර්ශන සහ සුනිල් ප්‍රනාන්දු යාන්ත්‍රික කොටස්‌ සැකසීමෙන් ද තම උපරිම දායකත්වය ලබා දෙනු ලබයි. මේ ලිපිය එහි අලුත්ම තත්ත්වය හෙළි කරයි.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යැමට පූර්ණ සහයෝගය ලබාදුන් අය අතර මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අතලගේ සහ ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය අනුරුද්ධ පුස්‌වැවල විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එමෙන්ම ආරක්‍ෂක අමාත්‍යංශය, ගුවන් හමුදාව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය ද මෙම කාර්ය සඳහා අනුග්‍රහය ලබා දුනි.

මහාචාර්ය රොහාන් මුණසිංහ ඉලෙක්‌ට්‍රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු අංශය මොරටුව විශ්වවිද්‍යාලය සමඟ සාකච්ඡාවකින් සකස්‌ කරන ලදී.

හේමන්ත වික්‍රමපාල

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කිරීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday

ආණ්‌ඩුවේ මහබැංකු වංචාව අතේ පත්තුවෙලා.. ඒක වහගන්න ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැන් වලිකනවා

colombotoday

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

“හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ඝ කරනු” – චන්ද්‍රිකා ශ්‍රීලනිපය ට නියෝග කරයි

colombotoday