Colombo Today Local News

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

1977 ආරම්භ වූ මෙරට විධායක ජනාධිපති ක‍්‍රමය අනුව එළැඹෙන මැතිවරණයෙන් පත්වන්නේ මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා යි. ව්‍යවස්ථාදායකය සතුව පැවති ශ‍්‍රී ලංකාවේ පාලන සුක්කානම ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් විධායකය වෙත හරවාගත් දා පටන් එය හොඳ නරක සම්මිශ‍්‍රණය වෙමින් විවිධ තල ඔස්සේ කි‍්‍රයාත්මක වේ.

අසීමිත බලතල රැසක් සමග සිය පාලනය ගෙන ගිය මෙරට විධායක ජනාධිපති ක‍්‍රමය 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග විශාල ලෙස බලතල අඩුවන පාලන ක‍්‍රමයක් දක්වා විතැන් විය. නමුත් සිය ධුර කාලය අවසන් වී විශ‍්‍රාම ගන්නා ජනාධිපතිවරයෙකුට තම ජීවිත කාලය පුරාම පෙර දැරූ රාජ්‍ය නායකත්වයේ අභිමානය රැකෙන පරිදි විශ‍්‍රාම කාලය ගත කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ කඩ සලසා තිබේ.

 විධායක ජනාධිපතිවරයෙකුට විශ‍්‍රාම යෑමෙන් පසුව හිමි වන්නේ කුමන ආකාරයේ වරප‍්‍රසාද ද යන්න සාකච්ඡා කිරීමට පෙර එම වරප‍්‍රසාද හිමිවීමට බලපෑ පසුබිම හා නෛතික තත්ත්වයන් කෙටියෙන් වුවත් සොයා බැලීම වැදගත්ය.

1986 අංක 04 දරන විශ‍්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප‍්‍රසාද හා හිමිකම් පිළිබඳ ගැසට් පත‍්‍රයෙහි ඒ පිළිබඳ කරුණු මනාව පැහැදිලි කර තිබේ. එයට අමතරව විධායක ජනාධිපති ධුරයට හිමි වරප‍්‍රසාද පිළිබඳ 2005 වසරේ දී සිවිල් පුරවැසියන් දෙදෙනකු විසින් ගොනු කළ නඩුවක තීන්දුවක් ද බලපා ඇත. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විශ‍්‍රාම ගැනීමෙන් පසුවද කැබිනට් පත‍්‍රයක් මගින් අසීමිත බලයක් ලබාගෙන ඇති බවට සඳහන් කරමින් ගොනු කර තිබූ නඩුවට අදාළව 2007 මාර්තු 02 වැනිදා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් හිටපු රාජ්‍ය නායකයන්ට ලබාදිය යුතුව ඇති ආරක්ෂාවට අදාළව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයි. එම නඩු තීන්දුව අනුවද හිටපු විධායක ජනාධිපතිවරයෙකුට හිමිවන වරප‍්‍රසාදවල යම් සංශෝධනයක් සිදු විය.

ඉහත තත්ත්වයන්ට අනුව විශ‍්‍රාම ලැබූ විධායක ජනාධිපතිවරයෙකුට හෝ එම ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන්ට යම් යම් වරප‍්‍රසාද හිමිය. විශේෂයෙන් විශ‍්‍රාම වැටුප, කාර්ය මණ්ඩලය, නිල නිවාසයක්, ආරක්ෂක රැකවළුන්, රථවාහන සහ ඒවාට යන ඉන්ධන වියදම් ද හිමි වේ. මෙම වරප‍්‍රසාද තම තමන්ගේ රුචිකත්වය පරිදි මෙහෙයවා ගැනීමට ද ජනාධිපතිවරු කටයුතු කර ඇති බව පෙනී යයි.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිය විශ‍්‍රාම දිවිය ගත කිරීමට රජයේ නිල නිවසක් ලබා නොගත්තේය. ඔහු තෝරාගත්තේ වෝඞ් පෙදෙස් පිහිටි තම පාරම්පරික නිවස වූ බ්‍්‍රරේමා මැඳුරයි.

ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා තනතුරේ සිටියදී මිය යෑම හේතුවෙන් ඒ මහතාට හිමි වූ නිල නිවසේ නවාතැන් ගත්තේ බිරිඳ වූ හේමා පේ‍්‍රමදාස මහත්මියයි. පළමුව ස්ටැමෝර් චන්ද්‍රවංකයේ නිවසක් එතුමියට ලබාදී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවත, සී 80 දරන නිවස ඇයගේ පදිංචියට ලබා දෙන ලදී.

රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසුව පත් වූ තෙවන විධායක ජනාධිපතිවරයා වූ ඞී. බී. විජේතුංග මහතා සිය විශ‍්‍රාම දිවිය ගත කළේ වත්මන් ජනාධිපතිවරයා පරිහරණය කරන මහගමසේකර මාවතේ පිහිටි (එවකට පැජට් මාවත) නිවසේ යි. එකිනෙක සම්බන්ධ වූ අමාත්‍යවරුන්ට හිමි නිවාස දෙකක් එක් නිවසක් ලෙස ඒ අනුව ඞී. බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයා විසින් භාවිතයට ගත් අතර ඒ නිසාම එහි භූමි ප‍්‍රමාණය ද අනෙක් නිවාසවලට වඩා තරමක් විශාල විය.

ඞී. බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසුව එම නිවස කලක් හිටපු අමාත්‍යවරයෙකු වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය නිල නිවස ලෙස භාවිතයට ගනු ලැබීය. පසුව එය ප‍්‍රතිසංස්කරණය කර වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවස ලෙස භාවිත කරනු ලබයි. ඒ කොටුව ජනාධිපති මන්දිරය අතහැර දමාය. කොටුව ජනාධිපති මන්දිරය පාවිච්චියට ගතහොත් මසකට වැයවන විදුලි බිල පමණක් ලක්ෂ විස්ස ඉක්මවීමට නියමිතව තිබුණි. වියදම අවම කරමින් අමාත්‍යවරයෙකුගේ නිල නිවසක් පාවිච්චියට ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආරක්ෂක අංශවලට ද අභියෝගයක් විය.

ඞී.බී. විජේතුංග ජනාධිපතිවරයාගෙන් අනතුරුව පත් වූ මෙරට හතරවන විධායක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය විශ‍්‍රාම දිවිය ගත කිරීම සඳහා තෝරාගත්තේ නිදහස් මාවතේ අංක 27 දරන නිවසයි. විශාල භූමි භාගයක පිහිටි එම නිල නිවස ඇය අදටත් පරිහරණය කරයි.

 මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමට පෙර අමාත්‍යවරයෙකු ලෙස භාවිත කළ කොළඹ 07 විජයරාම මාවතේ අංක 11 දරන නිවස එතුමාගේ නිල නිවස ලෙස ලබා දෙනු ලැබීය. ඉතා විශාල මුදලක් වැයකර එම නිවස ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළ අතර, ඉහළ මහලට ගමන් කිරීමට විදුලි සෝපානයක් ද ඇතුළුව එම නිවස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරිහරණයට භාරදෙනු ලැබීය.

 විශ‍්‍රාම ගිය පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පදිංචියට තෝරාගෙන ඇති මහගමසේකර මාවතේ එතුමා දැනට සිටින නිවස සින්නක්කරව ජනාධිපතිතුමා හිමිවන බව අර්ථ ගැන්වෙන ආකාරයේ කථා බහක් මේ වන විට සමාජය තුළ නිර්මාණය වී තිබේ. එය ඉතා සාවද්‍ය තොරතුරක් වන්නේ විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට නිල නිවසක් ලබාදීමේ ක‍්‍රමවේදය සැලකිල්ලට ගැනීමේදීය.

 එම නිල නිවස ජනාධිපතිවරයා වෙත ලබාදීමට අදාළ ගැසට් පත‍්‍රයේ (Act, No.4 of 1986) සඳහන් වන්නේ මුදල් ලබාගැනීමෙන් තොරව බදු පදනමෙන් යුතුව විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරියකට මෙම නිල නිවස ලබාදෙන බවයි. (The use of an appropriate Residence free of rent) මෙරට ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකුට විශ‍්‍රාම ගිය පසු එකම නිවසක්වත් සින්නක්කරව ලබා දී නොමැති අතර, විශ‍්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට නිල වශයෙන් හිමි වැඩකයුතු ඉටුකර ගැනීම සඳහා කාර්යාලයක් සහිත නිල නිවසක් ව්‍යවස්ථානුකූලව හිමිවෙයි. විධායක ජනාධිපතිවරයෙකුට සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු කැබිනට් අනුමැතියක් ඉල්ලා සිටිය ද, නොසිටිය ද නිල නිවසක් ලබාදීමට ඒ අනුව රජය බැඳී සිටී. එහි වගකීම ඇත්තේ ජනාධිපති කාර්යාලයටයි. සියලූම විධායක ජනාධිපතිවරුන්ගේ නිල නිවාස නඩත්තුව සහ සෙසු අයිතිවාසිකම්වල පරිපාලන බලය හිමිවන්නේ ජනාධිපති ලේකම්වරයාටයි.

 ඒ අනුව වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට ලැබෙනුයේ ද එම අයිතිවාසිකම පමණකි. එම නිසා ජනාධිපතිතුමාට හෝ එම මැතිනියට කිසිදු ආකාරයකින් එම නිවස සින්නක්කර දේපලක් ලෙස ලබා දී නොමැත.

 6 වන විධායක ජනාධිපතිවරයාගේ විශ‍්‍රාමික නිල නිවසේ වටිනාකම පිළිබඳව ද මාධ්‍ය හරහා ඇතැමුන් වැරදි ප‍්‍රවෘත්ති ජනගත කිරීමට උත්සාහ දරයි. මහගම සේකර මාවත නිවසේ භූමි ප‍්‍රමාණය අනෙකුත් විශ‍්‍රාමික ජනාධිපතිවරුන්ගේ නිවාසවලට සාපේක්‍ෂව වැඩි වන්නේ ඉතාමත් සුළු වපසරියකි. ධුරයේ සිටින ජනාධිපතිවරයකු ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේ සුඛෝපභෝගී බව අනෙක් නිවාසවලට වඩා ඉහළ තත්ත්වයක තිබීම ගැන විවාදයක් නැත.

 ඒ අනුව අනෙකුත් විශ‍්‍රාමික ජනාධිපතිවරුන්ගේ නිවාසවල ගුණාත්මක බව භූමියේ වටිනාකම (සියලූ නිවාස පිහිටා ඇත්තේ කොළඹ 07 ප‍්‍රදේශවලයි) ගණනය කළොත් ඒවා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිවසේ වටිනාකමම වේ.

 ඉහත සියලූ කාරණා විමසා බැලීමේදී පෙනී යන්නේ දේශපාලන අවශ්‍යතා මත අතීතය අමතක කර වර්තමානයට පමණක් චෝදනා, ගැරහුම්, නින්දා, අපහාස සිදුකිරීමේ ක‍්‍රියාවලිය සූක්‍ෂමව රට තුළ ක‍්‍රියාත්මක බවයි.

Related posts

විදුලි බල සංශෝධන පනත අද සිට බලාත්මකයි

colombotoday

නාවික හමුදා මෙහෙයුමකින්‍ මහ මුහුදේදී හෙරොයින් සමග විදේශිකයින් 9ක් අත්අඩංගුවට

colombotoday

වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑ

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල අයෙක් අල්ලයි

Admin

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

colombotoday