Colombo Today Local NewsHot NewsUncategorized

යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.

british embජනපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ බෑණා වන අයෙකු බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරකට පත් කිරීමේ සූදානමක් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. එම තැනැත්තා බ්‍රිතාන්‍යයයේ පුරවැසිභාවය ලත් තැනැත්තෙකු වන අතර එම රටේ පුරවැසිභාවය ලත් තැනැත්තකු තානාපති සේවයට පත් කිරීම රාජ්‍යතාන්ත්‍රික නීතිරීති උල්ලංඝණය කිරීමක්ද වන අතර එමගින් ඉදිරියේ දී රටට සහ බ්‍රිතාන්‍යයයේ පුරවැසිභාවය ලත් ශ්‍රී ලාංකිකයන්ට දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවද පැවසේ.

එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරමින් මෙම පත් කිරීමට විරුද්ධව අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය ඔස්සේද මේ වන විට දැඩි කතා බහක් ඇතිව තිබෙන අතර මෙම මතභේදකාරී පත්වීම පිළිබදව තව දුරටත් අනාවරණය කෙරෙන සවිස්තරාත්මක ලිපියක් අප වෙත ලැබී තිබේ. එම ලිපිය පහත දැක්වේ.

යහපාලනයත් පැරණි වැරදි පාරේම යයි. ඥාති හිතමිතුරු සංග්‍රහයෙන් ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයට නීති විරෝධී පත්වීමක් ලබාදෙයි.

වංචාව, දූෂණය, අල්ලස මෙන්ම ඥාති හිතමිතුරු සංග්‍රහයටද තිත තැබීමට වේදිකාවෙන් වේදිකාවට ගොස් හත් පොලේ දිවුරා පොරොන්දු පිට පොරොන්දු ලබාදෙමින් බලය ලබාගත් යහපාලන ආණ්ඩුවත් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහල නිලයකට නීති විරෝධී මෙන්ම දැඩි ගැටළු සහගත පත්වීමක් ලබා දෙමින් මහජනතාවට ලබාදුන් පොරොන්දු කඩ කිරීමේ කනගාටුදායක පුවතක් පසුගියදා කොළඹින් දැනගැනීමට ලැබුණි.

මෙම පත්වීම ලබා දී ඇත්තේ එංගලන්තේ බකින්හම්ෂර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන මනෝජ් වර්ණපාල නමත්තෙකුටයි. ඔහු වර්තමාන රජයේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වන ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ බෑණාය (දුවගේ සැමියා). ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ විවිධ ඉහල තනතුරු දැරූ පුද්ගලයෙකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොළොන්නරුවේ ග්‍රාම සේවක තනතුරක සේවය කරන සමයේ එම ප්‍රදේශයේ දිසාපති වශයෙන් කටයුතු කලේ ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියේ දිවුරුම් දී නොබෝ දිනකින්ම ඒ වන විටත් විශ්‍රාම සුවයෙන් කල් ගෙවූ ජනාධිපතිතුමාගේ පැරණි මිතුරාට මිත්‍රත්වයේ පඬුරක් ලෙසින් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමකින් පුදනු ලැබීය.

එතනින් සෑහීමකට පත් නොවුණු ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඔහුගේ ජනාධිපතිවරයාට ඇති සම්බන්ධතාවය හා බලය පාවිච්චි කරමින් දැඩි බලපෑම මත තම බෑනාට මෙම නීතිවිරෝධී පත්වීම ලබාදීමට ජනාධිපතිවරයා පොළඹවා ඇතිබව ජනාධිපතිවරයාට සමීප ඉතාමත්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුනේ මෙම පත්වීම ලබාදීම කෙරෙහි විදේශ ඇමති වරයා හෝ අගමැතිවරයා ඔවුන්ගේ අකමැත්ත ඵල කිරීමත් සමගිනි. ජනාධිපතිවරයාට සමීප පිරිස්ද මෙම පත්වීම ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීම සම්බන්දයෙන් දැඩි කනස්සල්ලකින් පසු වන්නේ මෙම තීරණය නැවතත් රාජපක්ෂ සමයේ මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා විදේශ සේවයත් යාලු හිතමිතුරු හා ඥාතී සංග්‍රහ වලින් පිරවීමේ ආරම්භක වෙඩි මුරය පත්තු කිරීම හේතුවෙනි. හිටපු ජනාධිපතිවරයාත් බොහොමයක්ම නොමග යැව්වේ තම වාසියට පමණක් ක්‍රියා කල ඔහු වටා සිටි අවස්ථාවාදී සට කපටි පිරිස බැවින් මෙම වැරදි පූර්වාදර්ශය ලබා දීමෙන් එයම අනාගතයේදී විදේශ අමාත්‍යංශයේ පත් කිරීම් පසුගිය රජයටත් වඩා දූෂිත වේදෝයි ඔවුන් තුල දැඩි බියක්ද මේ වන විට පහල වෙමින් තිබේ. තවද පසුගිය ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේදීත් මහ ජනතාවට හත් පොලේ දිවුරා ලබාදුන් පොරොන්දු මෙලෙස ඉතාම කෙටි කලකින් අමු අමුවේම කඩ කිරීම යුක්ති සහගත නොවන බවත් ඔවුන්ගේ මතයයි.

කෙසේවෙතත් මෙහිදී සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණු කිහිපයකි. පසුගිය රජය යටතේ බ්‍රිතාන්‍යය තුල ශ්‍රී ලංකාවට හිමිවුයේ ඉතාමතම් ඛේදනීය තත්වයකි. දේශපාලන මෙන්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්ද එය ඉතාමත්ම පහත අඩියක පැවතුනි. එහෙත් වර්තමානය වනවිට නව රජයේ දේශපාලන හැසිරවීම තුල එම තත්වය සැලකිය යුතු ලෙසින් ඉතාමත්ම ඉහල තත්වයකට ඔසවා තබන්නට ශ්‍රී ලංකා විදේශ සේවයේ වෘත්තීමය නිලධාරියොත් වර්ථමාන රජයේ දේශපාලඥයොත් සමත් වූ බව නොරහසකි. එහෙත් සිදුකිරීමට යන දේශපාලන පතිකිරීම් හේතුවෙන් මෙය පූර්වාදර්ශයක් කර ගනිමින් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකා විදේශ සේවයත් පසුගිය රජයේ ක්‍රියාකලාපය නැවත අනුගමනය කිරීමේ මාවත විවෘත වනවා නොඅනුමානයි. පසුගිය රජය අනුගමනය කිරීම හෝ එම රජය ගෙනගිය වැරදි වැඩපිළිවෙල නැවත පනගැන්වීම යහපාලනය නොවන බව මෙහිදී අවධාරණයෙන් යුතුව සඳහන් කල යුතුය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එහෙත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය, ද්විත්ව පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය ලැබූ සැවොම මේ රටේ නීතියට යටත්ය. එවැනි පුද්ගලයින් රාජතාන්ත්‍රික පත්වීමක් ලැබුවද ඔවුන්ට ලැබිය යුතු මුක්තිය නොලැබෙන්නේ ඔවුනට මේ රටේද නීතියට යටත්වන බැවිනි. එහිදී එවැනි පුද්ගලයින්ට තම රාජකාරිය සිදු කිරීමේදී විවධ ගැටළු වලට මුහුණ පෑමට සිදුවන බව නොරහසකි. තවද බ්‍රිතාන්‍ය රජය තුල එවැනි පුද්ගලයින්ට ලැබිය යුතු රාජතාන්ත්‍රික පිළිගැනීමේද අඩුපාඩු දැකීමට හැකිවීම සිදුවෙනවා නොඅනුමානයි. තවද ලන්ඩනයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව තුල ජීවත්වෙන පුද්ගලයෙකු මෙවැනි තමාටම අභිමතය පරිදි තීරණ ගැනීමේ හැකියාව ඇති තනතුරකට පත්වීමෙන් ඔහුගේ ලබන්දියාවන් අතර දැඩි මතභේදකාරී, ගැටළු සහගත තත්වයක් ඇතිවීම අනිවාරයයෙනම සිදුවෙන කරුණකි.

තවද විදේශ තානාපති කාර්යාල යනු එම රටේ පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ පෞද්ගලික මෙන්ම ඉතාමත්ම රහස්‍ය තොරතුරු, ලියකියවිලි හුවමාරුවන ස්ථානයකි. එම ලියකියවිලි පරිහරණය සඳහා නීතියෙන් අවසර ඇත්තේ විදේශ අමාත්‍යාංශයෙන් පත් කර එවන නිලධාරීන්ට පමණි. තවද එම නිලධාරින් නිසි සුදුසුකම් සපරු විදේශ සේවයේ හෝ පරිපාලන සේවයේ ස්ථීර රැකියාව කරන වුර්තිමය නිලධාරින්ය. එහෙත් වසර කිහිපයකට මෙරටින්ම පත්කරන මෙම දේශපාලන පත් කිරීම හේතුවෙන් මෙම පුද්ගලයා මෙරටේ ජීවත් වෙන අනෙකුත් ශ්‍රී ලාංකිකයින්ගේ රහස්‍ය තොරතුරු දැන ගැනීමේ හැකියාවක් පවතියි. එය එම ජනතාවගේ පෞද්ගලිකත්වයට විශාල ලෙස බලපාන කරුණකි. තවද මෙවැනි බටහිර රටවල පුද්ගලයින්ගේ රහස්‍ය තොරතුරු අති රහස්‍ය ලෙස හැසිරවිය යුතුය. මෙම පත් කිරීම එම රහස්‍ය භාවයට නැතිවීමට සෘජුවම බලපාන සාධකයකි. ඥාති හිත මිතුරු සංග්‍රහය යටතේ වසර කිහිපයකට දෙනු ලබන මෙම පත්වීමෙන් පසුව අනාගතයේදී මොහු නැවතත් සමාජයට යන්නේ බොහෝ පිරිසකගේ රහස්‍ය හා අති පෞද්ගලික තොරතුරු රාශියක් දැන ගැනීමෙන් අනතුරුවය. එබැවින් මෙම භයානක පත් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් විදේශ ඇමතිතුමා ඇතුළු විදේශා අමාත්යංශය නැවත වතාවක් සිතිය යුතු තම අවධානය යොමු කල යුතු කරුණකි.

තවද මෙම පුද්ගලයාගේ පවුලේ බොහෝ පිරිසක් මෙරට නීතිඥ වුර්තියේ නියැලෙන්නන් බැවින් අනාගතයේදී ලබන්දියාවන් අතර ගැටුමක් ඇති නොවේවි යයි කිව හැක්කේ කාටද? තවද මෙම පුද්ගලයා හරහා ඔහුගේ පවුලේ නීතිඥ ව්‍යාපාරයට සුවිශේෂී වාසියක්ද සමහර විට ලැබීමේ ප්‍රවනතාවය නැවැත්විය හැක්කේ කාහටද යන්න විශාල ගැටලුවකි. එයට හේතුව ලෙස අප දකින්නේ අලුත් ගුවන් ගමන් බලපත්‍ර ගැනීම්, ලියකියවිලි සහතික කර ගැනීම්, උප්පැන්න, විවාහ හා මරණ ලියා පදිංචිය, දිවුරුම් පෙත්සම් ඇතුළු අනෙක විධි ලියකියවිලි අත්සන් කිරීම්, සහතික කිරීම් ඇතුළු මුදල් හුවමාරු වන මුදල් ගනුදෙනු සිදුවෙන ක්‍රියාවන් රාශියක් සිදුවෙන බැවිනි.

පසුගිය රජයේ දූෂණ වංචා අක්‍රමිකතා ඇතුළු සියලු විධි වැරදි වලට උඩ පැන පැන පහර දුන් සමහරු යහපාලන රජයේ මෙම ලජ්ජා සහගත පත්වීම සාධාරණීකරණය කරමින් පවසන්නේ රාජපක්ෂ පාලන සමයේ අවසන් භාගයේදී මෙවැනිම පුද්ගලයින් දෙදෙනෙකු ට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පත්වීම් ලබා දුන් බවයි. එය සත්‍යයකි. රාජපක්ෂ රජය කටයුතු කලේ ඔවුන්ගේ හිතු මතේටය. රාජපක්ෂ පාලන සමයේදී මෙවැනි මුග්ධ පත්වීම ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙරට අතර ද්විපාර්ෂික සම්බන්දතාවයන් අන්තයටම පිරිහුණු බව කාටත් නොරහසකි. එම යුගය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අඳුරුම යුගය බව මේ වනවිටත් ඉතිහාසයට එක්වී හමාරය. ඔවුන්ගේ එම පත්වීම් නීති විරෝධී මෙන්ම බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍යංශයේ විදේශ තානාපති සේවයට පැමිණෙන පුද්ගලයින් අනුගමනය කලයුතු නීති රීති වලට පටහැනි බව දන්නේ එම වකවානුවේදී ඒ බව සොයා බැලු අය පමණි. එහෙත් යහපාලන ආණ්ඩුව පත් කරනු ලැබුවේ දහසකුත් බලාපොරොත්තු සහිතව ඒ වැරදි සහ එම දේම දිගුවක් ලෙසින් නැවත එලෙසම ක්‍රියාත්මක කරවීමට නොවන බව නැවත නැවතත් සටහන් තබන්නට කැමැත්තෙමි.

තවද ඔවුන් දෙදෙනාටම ලන්ඩනයේ ඔවුන්ගේම නමට නිවාස තිබුණු අතර ඔවුන් දෙදෙනාම එම නිවාස කුලියට දී එම මුදල් තම බැංකු ගිණුමට බැර කර ගත්හ. ලංකාවේ ජනතාවගේ හිසට අසීමිත බරක් පටවමින් ගැසූ අනෙකවිදි බදු වලින් වැටුප් ලබා ගත් ඔවුහු ඊට අමතරව ලබා දෙන නිවාස ප්‍රතිපාදන මුදලින් වෙනත් නිවසක් කුලියට ගෙන එහි පදිංචි වුහ.

ශ්‍රී ලංකාව අතහැර අප සැවොම මෙරටට මෙන්ම යුරෝපයට පැමිණියේ ආර්ථික වාසි පෙරදැරිව යහපත් ජීවිතයක් අපේක්ෂාවෙනි. එසේ පැමිණි අප මෙරට ජීවත් වෙමින් සාර්ථක ජීවිත ගත කරන බව නොරහසකි. එහෙත් ශ්‍රී ලංකාව තුලම ජීවත් වෙමින් දහසකුත් කම් කටොලු මධ්‍යයේ අධ්‍යාපනය ලබා ඔවුන්ද රජයේ රැකියාවක් ලබා ගන්නේ ජීවිත් ජය ගන්නටය. විදේශ සේවය තුලින් හෝ පරිපාලන සේවය තුලින් ඔවුන්ට මෙරටට පැමිණ වසර කිහිපයකට හෝ සේවයක් කිරීමට ලැබෙන්නේ නම් එය ඔවුන්ගේ ජීවිතයට ආර්ථික වශයෙනුත්, වුර්තිමය වශයෙනුත් වාසි ගෙන දෙන තත්වයකි. එම දුර්ලභ අවස්තාව ලැබෙන තෙක් ඔවුන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. එම අවස්ථාවත් ඔවුන්ට හිමි වන්නේ ඉතාමත්ම කළා තුරකිනි. එය හරියට කන කැස්බෑවා විය සිදුරෙන් සඳු බලන්නාක් මෙනි. එබැවින් ඔවුන්ට හිමි රැකියාවන් ලංකාව අතහැර පැමිණි පුද්ගලයින් අතරේ නැවතත් බෙදා දීම මොන තරම් සාධාරණද, සදාචාර සම්පන්නද, රාජපක්ෂ රජයේ ප්‍රතිපත්තිම නැවතත් ක්‍රියාත්මක කිරීමක් නොවේද යන්න යහපාලන රජයේ වගකිව යුත්තොත් එම රැකියාවන් ලබා ගන්න පුද්ගලයොත් නැවත වතාවක් විමසා බැලිය යුතුය.

තවද මේ සටහන තබන්නේ කාගේවත් පත්වීමකට ඇතී ඉර්ශියාව නිසාවත් හෝ එම පුද්ගලයා සමග ඇතී පෞද්ගලික හේතුවක් නිසා නොවන අතර මෙය හුදෙක්ම යහපාලන රජයේ ලබාදුන් අනේකවිධි මහජන පොරොන්දු වලට එරෙහිව ගනු ලැබූ දැඩි මතභේධකාරී පත්වීමක් නිසාවෙනි. තවද යහපාලන රජය කෙරෙහි තැබූ මහජන බලාපොරොත්තු සුනු විසුනු කිරීමට කාටවත් අයිතියක් නොමැති බව පසක් කර දීමටය. යහපාලන රජයත් පෙර රජය සේම වැරදි පාරේ ගමන් කරන්නේ නම් ඒ බව ඔවුන්ට පවසා වරද නිවැරදි කර ගැනීමේ, සෑම දෙනාගේම හිත සුව පිණිස අවස්තාවාදින්ගෙන් යහපාලන රජය බේරා ගැනීමේ පරම පිරිසිඳු චේතනාවෙනි. එය පුරවැසියන් වශයෙන් අපගේ යුතුකමකි.

Related posts

බෝම්බ සෑදුවේ යැයි සැකපිට 12ක් අල්ලයි… පාකිස්ථානුවන් 9ක්, ඉන්දියානුවන් 3ක් ඒ අතර…

colombotoday

විනිමය අනුපාතිකය පාලනයට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වන්නේ නැහැ – ආචාර්ය නන්දලාල් වීරසිංහ

Admin

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර ඇමතිගෙන් උපදෙස්

colombotoday

ස්වයං නිරෝධායනයෙන් තොරව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

colombotoday

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday