Uncategorized

මදුෂ් සමග ඇල්ලූ කොළඹ කුඩු ජාලයේ මහා මොලකරු ‘කන්චිපාන ඉම්රාන්‘ ගැන තොරතුරු එළියට…

මාකඳුරේ මදුෂ් ඊයේ අත්අඩංගුවට පත් වීමත් සමගම සමාජය තුළ විශාල කතා බහක් නිර්මාණය වී තිබේ.ඒ අනුව එම පිරිස අතර සිටි තවත් සුවිශේෂී පාතාල නායකයෙක් පිළිබඳව සමාජ තුළ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇත.ඒ කන්චිපාන ඉම්රාන් පිලිබඳවය.සත්‍ය වශයෙන්ම කවුද මේ කන්චිපාන ඉම්රාන්..? මේ ඔහුගේ කතාවයි,

මීට අවුරුදු හත අටකට උඩදී මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පල්ලිය ඉදිරිපිට මුස්ලිම් කොල්ලෙකු කැඳ වික්කේය. මේ කැඳ කොල්ලා නමින් ඉම්රාන් විය. කැඳ විකිණූ නිසා මොහු කන්චිපාන ඉම්රාන් ලෙස මාලිගාවත්තේ කා අතරත් ප්‍රසිද්ධව සිටියේය. (කන්චිපාන යනු මුස්ලිම් භාෂාවෙන් කැඳ පානයයි.)එකල මාලිගාවත්තේ මුස්ලිම් පාතාලය අති බිහිසුණු විය. ෆාජි අයුබ් ඛාන්, බයියා, මංජල් අක්‍රම්, මාමස්මී, ආනමාළු ඉමිටියාස් වැනි මිනීමරුවන් මෙන්ම මහා පරිමාන කුඩුකාරයන් මාලිගාවත්ත පාතාලය පාලනය කළහ.

මාලිගාවත්තේ මිනිස් ඝාතන සාමාන්‍ය සිද්ධියක් බවට පත් වූ කාලයක් තිබුණේය. මාලිගාවත්ත පාතාලයේ නඩු ඇසුවේය. වැරැදිකාරයන්ට දඬුවම් ලබා දුන්නේය. කොටින්ම මාලිගාවත්ත යනු වෙනම රාජධානියක් ලෙස පාතාලය විසින් පාලනය කළහ. මේ පාතාල මැරයන්ගේ අණසකට පිටින් මාලිගාවත්තේ කිසිවක් කළ නොහැකි විය.කොටින්ම පොලිස් නිලධාරියකුට පවා එදා මාලිගාවත්තට ඇතුළු වීමට අවසර තිබුණේ නැත. එදා මාලිගාවත්ත පාතාලයට එරෙහිව වැටලීමක් කිරීමට ගියේ නම් පොලිස් නිලධාරීන්ට සිදු වුණේ රෙදිත් නැතිව ආපසු ඒමටය.

එවැනි සිදුවීම් රැසක් එකල වාර්තා වී තිබුණේය. වරක් මාලිගාවත්තට ඇතුළු වූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් මේ පාතාල මැරයන්ගෙන් අම්බානක ගුටි කෑහ.විවිධ විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත රාජධානියට ඇතුළු වූ පොලිස් නිලධාරීන් ගුටි කෑ අවස්ථා අනන්තය. ඒ තරමටම එදා මාලිගාවත්ත පාතාලයේ මැරයන් බලවත්ව සිටියහ. කොටින්ම මේ පාතාල නරුමයන්ගේ අණසකට පිටින් මාලිගාවත්ත අහසේ කපුටකුටවත් පියෑඹිය නොහැකි විය.

මාලිගාවත්ත පාතාල ත්‍රස්තවාදයට එරෙහිව දැනට වසර 10කට පමණ පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය සටන් කළහ.විශේෂ කාර්ය බළකායේ ප්‍රහාරවලින් මාලිගාවත්තේ පාතාල කෙරුම්කාරයන් බහුතරයක් පරලෝසැපත් වූහ.මාලිගාවත්තට වින කළ මේ කාලකණ්ණින් රොත්ත චුතවීමෙන් පසු එහි ජනතාව සැනසුම් සුසුම් හෙලූහ.එදා පාතාලයේ අගනගරය ලෙස හැඳින් වූයේ මාලිගාවත්තය. මාලිගාවත්ත යන නම කියූ පමණින් ඇස් උඩ ඉන්දවන තරමට දරුණු තත්ත්වයක් එහි පැවතුණේය. මාලිගාවත්තට වින කළ කාලකණ්ණින් අකාලයේ විනාශ වී යෑමෙන් පසු එහි ජනතාව නැවතත් නිදහසේ සාමකාමීව කාලය ගත කරන්නට පටන් ගත්හ. මාලිගාවත්තට එල්ලවී තිබූ පාතාල ලේබලය කෙමින් කෙමින් මිනිස් සිත්වලින් ඇකී මැකී යාමට පටන්ගෙන තිබුණේය.

එහෙත් මාලිගාවත්තේ ජනතාවට වැඩි කාලයක් ඒ නිදහස භුක්ති විඳීමට වාසනාව උදාවී තිබුණේ නැත. පසුගිය මාසයක දෙකක කාලයක් තිස්සේ මාලිගාවත්ත නැවතත් ගිනිගන්නට පටන් ගත්තේය.2018 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාස වල රාත්‍රින් කිහිපයකදී මාලිගාවත්ත නගරයේදී එක්දරු මවක් වෙඩිතබා ඝාතනය කෙරිණි. එසේම 22 හැවිරිදි තරුණයකුට පාතාල මැරයන් පිරිසක් පන්න පන්නා වෙඩි තැබූහ.

මේ සිදුවීම් මාලාව මාලිගාවත්ත නගරය අපායේ දොරටුව ලෙස හඳුන්වන ලකුණු පහල කරමින් සිටියි. පසුගිය දින කීපය තිස්සේ මාලිගාවත්තේ ස්ථාන කීපයක එල්ල කළ ප්‍රහාර පිටුපස සිටියේ මාලිගාවත්තෙන් බිහිවූ කුඩුකාරයෙකි.මාලිගාවත්ත නැවතත් අමු සොහොන් පිටියක් බවට පත් කිරීමේ කාර්ය භාරගෙන සිටින්නේ ජුම්මාමස්ජිඞ් පල්ලිය ඉදිරිපිට කැඳ විකිණූ කැඳ කොල්ලා බව බොහෝ දෙනෙක් දන්නේ නැත. කන්චිපාන ඉම්රාන් නමැති රස්තියාදුකාරයා මේ වන විට පාතාලයේ මහ කෙරුම්කාරයකු වී සිටියි.

මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක පාතාල මැරයා සමඟ එක්ව මෙරට පාතාල ලෝකය මෙන්ම කුඩු ජාවාරම සංවර්ධනය කිරීමේ භාරදූර කාර්යයට අතගසා සිටින කන්චිපාන ඉම්රාන් නමැති මැරයා අද මහා ධනවතකු බවට පත්ව සිටියි.කන්චිපාන ඉම්රාන් මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පල්ලිය අසල කැඳ විකුණමින් සිටි කාලසීමාවේ පාතාලයේ මහ මැරයන් කීපදෙනකු ඇසුරු කළේය.ඇසුරු කළා කීවාට එය පාතාල මැරයන් පසුපස යමින් උන්ට බැලමෙහෙවර කිරීමක් බඳු විය. මාලිගාවත්තේ පාතාල මැරයන් වූ ෆාජි, මංජල් අක්‍රම් ,මාමස්මි වැන්නවුන්ගේ දෙපා මුල වැටී සිටිමින් කන්චිපාන ඉම්රාන් පාතාල වැඩකාරයකු වීමට උත්සාහ ගත්තේය.

පාතාල මැරයන්ට ආවතේව කරමින් උන්ගේ උදව් උපකාර ලබා ගනිමින් ඉම්රාන් ගංජා හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට පටන් ගත්තේය. මත්ද්‍රව්‍ය අලෙවියෙන් ඉතාම කෙටි කාලයක් තුළ මහා ධනවතු වීමට හැකි බව තේරුම් ගත් ඉම්රාන් තම මුල්ම රැකියාව වූ කැඳ විකිණීමේ ව්‍යාපාරයට පයින් ගැසුවේය.මාලිගාවත්ත, පිටකොටුව, කොටහේන, මරදාන වැනි ප්‍රදේශවල මත්ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරය කරගෙන ගිය ඉම්රාන් යහමින් මුදල් ඉපයීමට පටන් ගත්තේය.

ෆිනෝසා මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකාරියකි. ඉම්රාන්ට ෆිනෝසා මුණගැසෙන්නේ ඔහු සෑහෙන වත් පොහොසත්කම් ඇති පුද්ගලයකු ලෙස ජීවත් වෙමින් සිටියදීය. ෆිිනෝසා ඉම්රාන් විවාහ වීමෙන් පසු මාලිගාවත්තේම වෙනත් නිවසක පදිංචියට ආවාය.විවාහයෙන් පසුවද කන්චිපාන ඉම්රාන් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළේ නැත. පාතාල නායකයන් සමඟ සබඳතා පවත්වාගෙන යෑම නතර කළේ ද නැත.

එවකට රජය විසින් පාතාල මර්දන මෙහෙයුම් දරුණු අන්දමින් ක්‍රියාත්මක කරමින් සිටියහ. මාලිගාවත්ත පාතාලයේ කෙළිකාරයන් වූ ෆාජි, මාමස්මි ,ආනමාළු ඉමිටියාස් වැන්නවුන් විශේෂ කාර්ය බළකාය අතින් ඝාතනය වුණේය.කන්චිපාන ඉම්රාන්ගේ නමද පාතාල මර්දන ලැයිස්තුවල ඉහළින්ම සටහන්ව තිබුණේය.කොයිවේලාවක හරි මාවත් උස්සනවා. ඊට ඉස්සර මම ඩුබායිවලට පැනගන්නවා එහෙම ගිහින් මම ඔයාවයි දරුවවයි ගන්නම්.කන්චිපාන ඉම්රාන් ජීවිතය බේරා ගැනීමට ඩුබායිවලට පලා යෑමට සැලසුම් කළේය. දරුවා සහ බිරිඳ පසුව ඩුබායි දේශයට ගන්නා පොරොන්දුව පිට ඔහු පැන ගත්තේය. ෆිනෝසා තම දරුවාද සමඟ මාලිගාවත්තේ තනි වූවාය.

මෙරට පාතාලයේ මෙන්ම හෙරොයින් ජාවාරමේ මහ කෙරුමා ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් සිටියේද ඩුබායි දේශයේය. කන්චිපාන ඉම්රාන්ට මාකඳුරේ මධුෂ් මුණගැසුණේය. ඉම්රාන් මධුෂ් මෙහෙයවන හෙරොයින් ජාවාරමට සම්බන්ධ වන්නේ ඉන් පසුවය.ඉම්රාන් ඩුබායි ගියපසු ෆිනෝසා හුදකලා වූවාය. ඉම්රාන්ට ෆිනෝසා ගැන අසන්නට ලැබුණේ නරක ආරංචිය. ඉම්රාන් ඇයට නිතර දුරකථනයෙන් තර්ජනය කළේය.

උඹට එක එක සම්බන්ධකම් තියනවා කියලා ආරංචියි. මාව නරක මිනිහා කරන්න එපා. ඒ සම්බන්ධකම් නතර කරගන්න.කන්චිපාන ඉම්රාන් ෆිනෝසාට තර්ජනය කළ ද ඇය ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත. මාලිගාවත්තේ සිටි කාලයේ ඉම්රාන් ෆාතිමා නමැති කාන්තාවක සමග ද අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන සිටියේය.

මේ ගෑනි ළඟ හිටියොත් මගේ දරුවත් විනාශ වෙනවා. කොහොමහරි දරුවව ඩුබායිවලට ගෙන්න ගන්න ඕන.ඉම්රාන් මාලිගාවත්තේ සිටි තම අනියම් බිරිඳ වූ ෆාතිමාට කීවේය. කන්චිපාන ඉම්රාන් තම දරුවා සහ අනියම් බිරිඳ ඩුබායි දේශයට ගෙන්වා ගත්තේය.මේ අතර මධුෂ් ඉම්රාන් සුසංයෝගය කොළඹ නගරය දෙවනත් කරන්නට පටන් ගත්හ. තම විරුද්ධවාදීන් අමු අමුවේම ඝාතනය කරමින් කොළඹ නගරය පුරා මහා භීෂණයක් වපුරුවා හැරීමට මේ පාතාල නරුමයන් දෙදෙනා කටයුතු කළහ.

කොටහේන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පසුගිය කාලය පුරා සිදුවූ මිනිස් ඝාතන හත අටකටම නායකත්වය දුන්නේ ඩුබායි හි සැඟවී සිටින මධුෂ් සහ කන්චිපාන ඉම්රාන් යන චන්ඩින් දෙදෙනාය. මේ මිනිමැරුම් වැඩි ප්‍රමාණයකට නායකත්වය දුන්නේ කන්චිපාන ඉම්රාන්ය.බයියා නමැති තවත් පාතාල මැරයකු මාලිගාවත්තේ ජීවත් වුණේය. මේ මැරයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ ද හෙරොයින් ජාවාරමය. බයියා මේ වන විට සිටින්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ සැඟවී සිටිමින් බයියා දුරකථන මාර්ග ඔස්සේ මෙරට හෙරොයින් ජාවාරම මෙහෙයවයි.

බයියාගේ ගෝලයන් ද මාලිගාවත්ත, කොටහේන, පිටකොටුව ප්‍රදේශය පුරා හෙරොයින් බෙදාහරිති. කන්චිපාන ඉම්රාන්ගේ ගෝලයන් සහ බයියාගේ ගෝලයන් හෙරොයින් බෙදාහැරීමේදී නිතරම පැටලූණහ. ඔවුන් අතර නිතර නිතර ගැටුම් හටගෙන තිබිණි.කන්චිපාන ඉම්රාන්ට අවශ්‍ය වී තිබුණේ කොළඹ ප්‍රදේශයේම හෙරොයින් බෙදාහැරීමේ ආධිපත්‍ය තමන් වෙත ලබාගැනීමය. ඒ සඳහා විරුද්ධවාදීන් විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ඉම්රාන් රහසිගතව ක්‍රියාත්මක කරගෙන ගියේය. මේ අතර තම නිත්‍යානුකූල බිරිඳ ෆිනෝසා පිළිබඳ නරක ආරංචි දිගින් දිගටම ඉම්රාන්ට අසන්නට ලැබුණේය.

මට උඹව ඩිවෝස් කරන්න ඕනෙ. ඒකට උඹ කැමති වෙයන්. උඹ කිසිකමකට නැති ගෑනියක් මට දැන් උඹෙන් වැඩක් නැහැ. කන්චිපාන ඉම්රාන් ෆිනෝසාට නිතර දුරකථනයෙන් කතාකරමින් දික්කසාදය ඉල්ලා සිටියේය.‘මං මලත් උඹට දික්කසාදෙ දෙන්නෙ නැහැ. උඹ මාව දාල දරුවත් අරන් රට පැන්නා. මම උන්නද මලාද කියලා ඇහැක් ඇරලා බැලූවෙ නැහැ. උඹ ෆාතිමා එක්ක හිටපං. මට මගේ දරුවව දීපං…’’

ෆිනෝසා කන්චිපාන ඉම්රාන්ට පෙරලා බැන වැදුනාය. ඉම්රාන් ෆිනෝසා ආරවුල සෑහෙන කාලයක සිට පැවතිණි. ඉම්රාන් තම නිත්‍යානුකූල බිරිඳ පිළිබඳව පසුවුණේ දැඩි වෛරයකින්ය.‘‘මේකිව අයින් කරලා දාන්න ඕනෙ. මේකි මං ගැන තොරතුරු දෙනවා එගේන්ස් ටීම්වලට. ෆිනෝසා ජීවත්වෙලා ඉන්න එක මට මහ හිසරදයක්.’’

ඉම්රාන් සිය ගෝලබාලයන්ට කීවේය. ෆිනෝසාට මරණ වරෙන්තු නිකුත් වුණේය. ඇයගේ ගමන් බිමන් පිළිබඳ සොයා බැලීමට ඔත්තුකාරයකු සොයා ගැනීමට අවශ්‍ය විය.වසීම් කන්චිපාන ඉම්රාන්ගේ ළඟ ඥාතියෙකි. මාලිගාවත්තේම පදිංචිකරුවකු වූ ඔහු කුඩා කල සිට ඉම්රාන් ඇසුරු කළේය.
වසීම් ෆිනෝසාගේ ද ඥාතියෙකි. ඔහු පදිංචිව සිටියේ ෆිනෝසාගේම නිවසේය.

අපේ වඩේට වසීම්ව සෙට් කරගන්න පුළුවන්. මිනිහට මේ ගැන කිව්වා. මිනිහ කැමතියි. අපි කිව්ව ඉම්රාන් අයියා උඹට ලොකු ගානක් දෙයි කියලා.ඉම්රාන්ගේ ගෝලයන් ඔහුට දුරකථනයෙන් කතාකර වසීම් ගැන කීහ.දිනක් ඉම්රාන් වසීම්ට දුරකථනයෙන් කතා කළේය.

වසීම් උඹ තමයි මට ඉන්න එකම විශ්වාසවන්ත මිනිහා. එකම ඥාතියත් උඹ විතරයි. මට උදව් කරපං ෆිනෝසා ගැන මට විස්තර හොයල දීපං මං උඹට ඒකට හොඳට ගෙවන්නම්.ඉම්රාන් තම සමීප ඥාතියා වූ වසීම්ට කීවේය.

‘‘හරි හරි ඉම්රාන් අයියා මම මේකි ගැන හැම දෙයක්ම හොයලා දෙන්නම්. ෆිනෝසාගෙ ගෙදරම ඉන්න මිනිහනෙ. මට ඒක කරන්න පුළුවන්. ෆිනෝසා පිළිබඳව තොරතුරු සැපයීමේ කාර්ය වසීම් භාර ගත්තේය.ෆිනෝසාගේ අනියම් සම්බන්ධකම් මෙන්ම ඇය යන එන ස්ථාන පිළිබඳ සියලූ තොරතුරු වසීම් ඩුබායි හි සිටින කන්චිපාන ඉම්රාන් වෙත ලබා දුන්නේය. ඒ සඳහා ඔහුට නිතර නිතරම ඉම්රාන්ගෙන් මුදල් ලැබුණේය.

‘‘මට ෆිනෝසාව ඉවරයක් කරලා දාන්න ඕනෙ. මේ ගෑනි මහ වධයක්. මම ගෝලයො දෙන්නෙක් ලෑස්ති කරන්නම් උඹට තියෙන්නෙ මට ඉන්ෆොමේෂන් ටික දෙන්න.’’ඉම්රාන් කියූ දෙයින් වසීම් උඩ ගොස් බිම වැටුණේය. ඉම්රාන් අද සිටින තත්ත්වය පිළිබඳව වසීම් හොඳින් දැන සිටි නිසා ඔහුගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි විය.

‘‘මම උඹට පනස්දාහක් දෙනවා. මේකිව ඉවරයක් කරලා දාන්න හොඳ වෙලාවක් සෙට් කරලා දීපං.’’ ඉම්රාන්ගේ ඉල්ලීමට වසීම් කැමති වුණේය.

තම නිවසේ සිටින ඥාති සොහොයුරිය ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වසීම් භාරගත්තේය. එතැන් පටන් වසීම් ඇයගේ ගමන් බිමන් පිළිබඳව වෙනදාට වඩා සොයා බලන්නට වුණේය.

ඉම්රාන් අයියා හෙට ෆිනෝසයි ගෙදර අයයි විහාරමහාදේවි පාර්ක් එකට යනවා. එදාට ගෑනිව ඉවරයක් කරලා දාන්න පුළුවන් වෙයි. ෆිනෝසා තම ඥාතීන්ද සමග විහාරමහා දේවි උද්‍යානයේ විනෝදවීමට යද්දී ඇය මරා දැමීමට ඉම්රාන් සැලසුම් කළේය. එහෙත් එදින සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණේ නැත.2018 අගෝස්තු 26 වැනිදා රාත්‍රියේ ෆිනෝසා ඝාතනය කිරීමට සැලසුම් සකස් කළේ ඉන් පසුවය. වසීම් තම මිතුරකු ද ඔත්තු බැලීමේ කාර්ය සඳහා සම්බන්ධ කරගත්තේය.

ෆිනෝසා කිසියම් අවශ්‍යතාවක් සඳහා නිවසින් බැහැරට ගොස් නැවත මාලිගාවත්තට එන්නේ රාත්‍රිය උදාවීමෙන් පසුවය. වසීම් ලබාදුන් තොරතුරු අනුව කුලී ඝාතකයන් දෙදෙනා යතුරුපැදියක නැගී සූදානමින් සිටියහ.

එදින රාත්‍රිය මහා මූසල එකක් විය. තමන් ඝාතනය කිරීමට තම නිත්‍යානුකූල සැමියා වන කන්චිපාන ඉම්රාන් සැලසුම් කරගෙන සිටින බව නොදත් ෆිනෝසා මාලිගාවත්තට ආවේ නිවස බලා යෑමේ අරමුණෙන්ය. එහෙත් මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් ප්‍රදේශය පසුකර යන්නට ෆිනෝසාට ඉඩක් ලැබුණේ නැත. කුලී ඝාතකයන් දෙදෙනා ඇය පසුපස ගොස් වෙඩි වරුසාවක් එල්ල කළහ.ෆිනෝසා අවසන් ගමන් යන්නේ මාලිගාවත්ත නැවතත් ගිණිගොඩක් බවට පත්කරමින්ය.

තම බිරිඳ ඝාතනයට ලක්වූ බව ඇසීමෙන් වඩාත් සතුටු වුණේ ඉම්රාන්ය. බිරිඳ ඝාතනය කිරීමට මෙන්ම මාලිගාවත්තේ තම පාතාල බලය පෙන්වීමේ අවශ්‍යතාවද ඉම්රාන්ට තිබිණි.ඔත්තු බැලීම වෙනුවෙන් වසීම්ට පොරොන්දු වූ රුපියල් පනස්දහසක මුදල ෆිනෝසා ඝාතනය වී දින දෙකක් ගතවන්නට පෙර ඔහුට ලැබිණි.

ඩ්‍රොප් මී වාහන කුලියට ලබාදෙන ආයතනයේ හිමිකරු වූ රිස්කොන් මධුෂ්ගේ මෙන්ම කන්චිපාන ඉම්රාන්ගේ ද සමීපතම මිතුරෙකි. ඩ්‍රොප් මී ආයතනය වෙත මධුෂ් මෙන්ම ඉම්රාන් ද රුපියල් කෝටි ගණනක මුදල් ආයෝජනය කර තිබිණි.කඩුවෙල පාතාලය විසින් රිස්කාන් ඝාතනය කරන්නේ මධුෂ්ගෙන් පළි ගැනීමටය. රිස්කාන් ඝාතනයට එකට එක කිරීමක් ලෙස කොස් මල්ලී මරා දමා ඔහුගේ හිස අලූත්කඬේ අධිකරණය ආසන්නයට ගෙනැවිත් දමන්නේ මධුෂ්ගේ නියෝග මතය.

මේ ඝාතනය පිටුපස ද ඉම්රාන් සිටියේය. තම සමීපතම මිතුරා වූ රිස්කාන් ඝාතනයේ පළිය මොවුන් ගනු ලැබුවේ ඒ ආකාරයටය.මේ අතර බයියා විසින් මෙහෙයවූ කුඩු පාතාලය සෑහෙන දුරට හිස ඔසවමින් තිබුණේය.බයියාට ඕනවට වඩා නටන්න දුන්නොත් අපිට උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ ඒ නිසා බයියගෙ උන්ට වැඩක් දෙන්න ඕනෙ.

බයියාගේ කුඩු ජාලයේ සාමාජිකයන් සොයා ඔවුන් ඝාතනය කිරීමට කන්චිපාන ඉම්රාන් සිය සගයන්ට උපදෙස් දුන්නේය. කන්චිපාන ඉම්රාන් අතදිගහැර මුදල් වියදම් කරන නිසා මේ මැරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට මාලිගාවත්තේ පාතාල හෙන්චයියන් සැදී පැහැදී සිටිති.කුඩු පැකට්ටුව, රුපියල් පන්දහසට මිනිසුන් ඝාතනය කිරීමට තරම් පහත් තත්ත්වයකට මේ පාතාලය පත්ව සිටිති. වලව්වත්තේ රිස්වාන් බයියාගේ කුඩු ජාලයේ ප්‍රධානියෙකි. ඉම්රාන්ගේ ගෝලබාලයන් රිස්වාන් හෝ ඔහුගේ ගෝලයකු මරා දැමීමට මානබලමින් සිටියහ. පසුගිය 12 වැනිදා රාත්‍රිය මාලිගාවත්ත ප්‍රදේශය නැවතත් උණුසුම් වුණේය.

වලව්වත්තේ රිස්වාන්ගේ මස්සිනා මාලිගාවත්ත ප්‍රදේශයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි ඉම්රාන්ගේ ගෝලයන් ඔහුට වෙඩි තැබුවෝය.වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවද ඔහුට තවදුරටත් ජීවත් වීමේ වාසනාව උරුමව තිබුණේය.මාලිගාවත්ත කොටහේන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙන භයානක තත්ත්වය පිළිබඳව මෙරට පොලිසියට හෝ රජයට ඒ තරම් බරක්පතලක් නැත.

මරාගන්නේ පාතාලයේ කාලකණ්ණින් යැයි කියා නිසොල්මනේ සිටීම බරපතළ තත්ත්වයකි.මේ පාතාලය සිදුකරන අපරාධවලින් රටේ ජාතික ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්‍ෂාවට ද එල්ල වී තිබෙන්නේ බරපතළ තර්ජනයකි.පාතාල ක්‍රියාකාරකම් දිනෙන් දිනම ඉහළ යද්දී විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනයට දෙවරක් සිතා බලති. එනේම මේ ආකාරයට පාතාල සන්නද්ධවීම නිසා රටේ ජනතාවට අද ආරක්‍ෂාවක් නැත. නීතිගරුක පුරවැසියන්ට නිදහසේ ගමන් බිමන් යෑමට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන ජීවත් වීමේ හැකියාවක් නැත.

කෙසේ වෙතත් ඊයේ දිනය අපේ රටට විශාල ජයග්‍රහණයක් උදාකරදුන් දිනයකි.ඒ මේ සමස්ථ පාතාල ක්‍රියාවලියේ මහ මොළකරුවන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වීම නිසාවෙනි.නමුත් තවමත් කොස්ගොඩ සුජී. මාලිගාවත්තේ බයියා, රත්ගම නදුන්, අංගොඩ ලොක්කා, ලසියා ,වැනි අය විදේශ රටවල සැඟවී සිටී.මේ සියලු දෙනා වහා අත්අඩංගුවට ගෙන රටේ නීතිය බලාත්මක කළ යුතු කාලය එළඹ තිබේ.

slstory.com

Related posts

ඇමති විෂය ගැසට්ටුව සංශෝධනය කෙරේ… රාජ්‍ය බැංකු, රාජ්‍ය වතු සමාගම් කිරිඇල්ල යටතට…

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

colombotoday

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් රැගත් ඝාරියල් කොළඹ වරායට

colombotoday

“එන ඡන්දයට එන්නේ පොහොට්ටුවෙන්.. එදා අලුත් පක්ෂයකින් ඉල්ලුවානම් අපි දිණුම්” – මහින්ද

colombotoday