Colombo Today Local News

බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහට දඬුවම් දිය යුතුයි

මහා පරිමාණ වංචා දූෂණ සෙවීමේ කොමිසම යටතේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වරදකරු වී සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නඩු පැවරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන බලමණ්ඩල සභික විජිත හේරත් මහතා පවසයි. ඊයේ (26) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවලට ප්‍රකාශයක් කළා 2015 මහ මැතිවරණයේ සිට 2018 ඔක්තෝබර් 25 දක්වා රනිල් වික්‍රමසිංහ අගමැති වුණු ආණ්ඩුවේ වංචා, දූෂණ හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා. අපි කියනවා, ඒ කොමිසම වහාම පත් කරන්න කියලා. තමන් නායකයා වුණු ආණ්ඩුවේ වංචා, දූෂණ හොයන්න කොමිසමක් පත් කරන එක ඉතාම හොඳයි. නමුත් අපි කියන්නේ ජනාධිපතිතුමනි, කොමිසමක් පත් කරලා විතරක් මදි. කොමිෂන් වාර්තාවට අනුව චූදිතයන්ට දඬුවම් දෙන්න කියලයි.

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව 2015 පෙබරවාරි මාසයේ සිදු වුණාට පසුව ජනතා විමුක්ති පෙරමුණේ අපි 2015 මාර්තු 10 විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා එම කුප්‍රකට ගනුදෙනුව ගැන රට දැනුවත් කළා. ඒ වගේම අපි ඒ වෙලාවේත් කිව්වා එම ගනුදෙනුවට සම්බන්ධ බලධාරීන් වහාම තනතුරුවලින් ඉවත් කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් ඒ වෙලාවේ ජනාධිපතිවරයා කිසිම දෙයක් කළේ නැහැ.

සමාජයෙන් විශාල බලපෑම් ආවා. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කාරක සභාව ඒ පිළිබඳව විමර්ශනයක් කරලා 2016 අගෝස්තු 09 වැනිදා වාර්තාවක් නිකුත් කළා. ඉන් පසුව තමයි ජනාධිපතිවරයා කොමිසමක් පත් කළේ. ඔහුට අවංක වුවමනාවක් තිබුණා නම් කොමිසම පත් කරන්න තිබුණේ එම කුප්‍රකට ගනුදෙනුව සිදු වෙලා දින කිහිපයකට පසුවයි. නමුත් එය කළේ නැහැ. පසුව පත් කළ කොමිසමෙන් හෙළිදරව් වුණු කරුණු අනුව අදාළ පුද්ගලයන්ට දඬුවම් කළේත් නැහැ.

එම වාර්තාවේ ඇතැම් පිටු හැංගුවා. එතුමා ළඟින්ම ඉන්න දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරු එම ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයන්ගෙන් මුදල් ගත්තා කියලා චෝදනා එල්ල වුණා. තමන්ගේ හිතවතුන් හංගන්න ඕනෑ නිසා ජනාධිපති විමර්ශන වාර්තාවට අනුව නීතිමය කටයුතු කළේ නැහැ.

“මහින්ද රාජපක‍්ෂ කිව්වා මේ, රට ගොඩගන්න තියෙන අවසාන අවස්ථාව කියලා. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩුවලින්, බයිබලයෙන්, කුරානයෙන් අනෙක් මන්ත්‍රීවරුන්ට පහර දුන් පාතාල නායකයින් ලෙස හැසිරුණු මහින්ද රාජපක‍ෂගේ පාතාල මැරයන්ට මේ රට බාර දෙන්න ජනතාව සූදානම් නැහැ. මෙවැනි මැර කල්ලියකට අපේ රට ගොඩගන්න පුළුවන්ද කියලා ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා. ඇති වෙලා තිබෙන ආර්ථීක අර්බුදයට එජාපයත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කණ්ඩායම් දෙකම වගකිව යුතුයි. පහුගිය කාලයේ ආණ්ඩුව කළේ එජාප, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙගොල්ලම එකතු වෙලා. මත්තල එයාපෝට් එක විකිණුවේ මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද සමරසිංහ ඇමතිවරයා යටතේයි. එම නිසා මේ කණ්ඩායම් දෙකම රටේ ආර්ථීක අර්බුදයට වගකිව යුතුයි.

ඒ වගේම අපේ රට මහා ණය කන්දක හිර කළේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකයි. ඒ විතරක් නෙවෙයි, දැන් මේ සෙල්ලම් කැබිනට් එක චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න තීරණයක් කරලා තිබෙනවා. ලබන අවුරුද්දේ ගෙවන්න තිබෙන ණය ගෙවාගන්න බැරුව තවත් ණය ගන්නවා.

ණය උගුලෙන් බේරෙන්න මේ කණ්ඩායම් දෙකටම නිසි වැඩපිළිවෙළක් නැහැ. බන්දුල කියනවා සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්න බැහැ කියලා. මම කොහොමද රුපියල කඩාවැටෙන එක පාලනය කරන්නේ කියලා බන්දුල අහනවා. එම නිසා මේ හොරු කණ්ඩායම් දෙකෙන්ම රට බේරා ගැනීමට ජනතාවාදී පාලනයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා. මේ කණ්ඩායම් දෙකටම රට ගොඩගන්න බැරි බව ඉතිහාසය විසින් ඔප්පු කර අවසන්.

“ජනතා විමුක්ති පෙරමුණ මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා සක්‍රියව මැදිහත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළා. ඒ වගේම පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයටත් පෙත්සමක් ගොනුකරන්න කටයුතු කළා. මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී උපරිම ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම මහජනතාව සමඟ පාරේ සටනක් ක්‍රියාත්මක කරනවා.

1982 ජේ.ආර්. ජයවර්ධන විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගෙන ආ ඊනියා ජනමත විචාරණය අභියෝගයට ලක් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්න රෝහණ විජේවීර සහෝදරයා කටයුතු කළා. රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්න, හිරේ දාන්න, අප පක‍්ෂය මර්දනය කරන්න අණපනත් හදපු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා එක්ක ඒ වෙලාවේ එජාප නායකයාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම අදත් ශ්‍රීලනිපය විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගන්නකොට ඊට එරෙහිවත් උපරිම ක්‍රියාමාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා.

ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කරන ඕනෑම පක‍ෂයකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ පසුබට වෙන්නේ නැහැ. එම නිසා අපි ජනතාවට සහතිකයක් දෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක‍්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කියලා.

“පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනා දෙකම සම්මත කළේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලවයි. තවත් ඕනෑ නම් විශ්වාසභංග එකක්, දෙකක්, තුනක් හෝ ඊට වැඩි ගණනක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉදිරියේදී තවත් එවැනි යෝජනා එන්නට නියමිතයි.

ජනාධිපතිවරයාට ඇඟට, මොළයට දැනෙන තෙක් එම යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අපි සූදානම්. දැන් රටේ අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැහැ. එම නිසා ඔවුන්ට මුදල් භාවිත කරන්න හැකියාවක් නැහැ. එම නිසා ඉදිරියේදී ඔවුන්ට මුදල් වෙන් නොකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එනවා.

“ජනතා විමුක්ති පෙරමුණ එජාපයට හේත්තු කරන්න උත්සාහ කරන දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම පහුගිය කාලයේ කාත් එක්කද හිටියේ? රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය යටතේ රැහැයියන් වෙලා හිටපු දයාසිරිලාට ජවිපෙ ගැන කථා කරන්න සදාචාර අයිතියක් තියෙනවාද? රනිල් වික්‍රමසිංහලත් එක්ක එකට ආණ්ඩුවේ ලැග්ග හිටං, හුටං කියලා පස්සේ ගිහින් මෛත්‍රී ළඟ දණ ගහපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරිලා ඇතුළු කණ්ඩායම ජවිපෙ ගැන කථා කිරීම කනගාටුවට කරුණක්.

“එස්.බී. කියලා තිබුණා දියමන්තිය ලකුණින් ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව සන්ධානයක් එනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දියමන්තියක් තමයි. නමුත් එස්.බී. මනෝ විකාරයෙන් දොඩවන බව ඔවුන්ගේ කණ්ඩායමේම රංජිත් සොයිසා කියලා තිබුණා. එස්.බී.ලා දැන් කථා කරන්නේ මනෝ විකාරයෙන් බව පැහැදිලියි. ඒ නිසා තමයි ඔහු කියලා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපති ගහපු ගැසට් එක හකුළාගන්න කියලා ඉල්ලනවා කියලා.”

Related posts

අන්ඳ ව්‍යාපාරිකයෙකුගේ නිවස බලෙන් අත්පත් කරගැනීමට පැමිණි ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් අත්අඩංගුවට නොගැනීම: බස්නාහිර DIGට නොතීසි

colombotoday

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday

රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග

colombotoday

මහින්ද මහත්තයා ළගම ඉන්න ගෝලබාලයන්ගේ උගුලකට අහුවුණා – කුමාර වෙල්ගම

colombotoday

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

colombotoday