Colombo Today Local News

මහින්ද මහත්තයා ළගම ඉන්න ගෝලබාලයන්ගේ උගුලකට අහුවුණා – කුමාර වෙල්ගම

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ළගම ගෝලබාලයන් පිරිසකගේ උගුලකට අසුවී ඇති බව  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් පලකරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.

ප‍්‍රශ්නය :- මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ බැලූ කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාගේ හෝ ලණුවක් කෑවා යැයි හිතෙන්නේ නැද්ද?

පිළිතුර :- ඇත්තටම ඔව්…!

ප‍්‍රශ්නය :- එතුමාට මේ ලණුව දුන්නේ කවුරුන් කියලද ඔබ හිතන්නේ…?

පිළිතුර :- මහින්ද මහත්තයට මේ ලණුව දුන්නේ එතුමා ළඟම ඉන්න ගෝලබාලයෝ ටිකක්.

ප‍්‍රශ්නය :- ඔවුන් එසේ කළා නම් ඒ ඇයි කියලා හිතන්න පුළුවන්ද?

පිළිතුර :- එතුමාගේ ජනප‍්‍රියත්වය නැති කරන්න ගෙනාපු කුමන්ත‍්‍රණයක් තමයි මේක…

ප‍්‍රශ්නය :- ඔබ කියන කුමන්ත‍්‍රණකාරයන් කවුරුන්ද යන්න දැනගැනීමට රටේ ජනතාව කැමතියි.

පිළිතුර :- අපිට අලුතින් ආපු අයත් අපි ගාව හිටපු කිහිප දෙනෙක් තමයි ඔය කුමන්ත‍්‍රණකාරයෝ. ඔවුන් මහින්ද මහත්තයාව නැත්තටම නැති කළා.

ප‍්‍රශ්නය :- යහපාලන රජය ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වෙමින් තිබූ කාලයක මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති තනතුර භාරගෙන ප‍්‍රශ්න ගොඩකට මැදිවීම. අතේ තිබූ ඉදිරි පැහැදිලි ජයග‍්‍රහණයත් දියකර ගැනීමක් වුණා නොවේද?

පිළිතුර :- ඇත්තටම ඔව්. පොහොට්ටුව මේ රටේ පළවැනි බලවේගය බවට ගෙනාවේ බැසිල් මහත්තය. මහින්ද මහත්තයා තමයි එයට මූලික වුණේ. නමුත් බැසිල් මහත්තයා තමයි මහින්සි වෙලා ඒ තැනට පොහොට්ටුව ගෙනාවේ. මම ඉස්සර කියපු කුමන්ත‍්‍රණකාරයෝ බැසිල් මහත්තයත් එක්ක පැහැදිලිවම තරහයි.

ප‍්‍රශ්නය :- ඔබ කොහොමද එහෙම කියන්නේ?

පිළිතුර :- මට පුද්ගලිකව ඒ අය කියලා තිබෙන නිසයි මම එහෙම කියන්නේ. මේ අයට තිබුණු ප‍්‍රශ්නය තමයි පොහොට්ටුව නැගිට්ටහම ඒ අයගේ පක්‍ෂවලට තැනක් ලැබෙන්නේ නැති එක. මේ අය පොහොට්ටුවට බැසිල් මහත්තයට සහ මහින්ද මහත්තයාගේ ජනප‍්‍රියත්වය අඩු කරන්න තමයි මේ කුමන්ත‍්‍රණය කළේ කියලයි මම දකින්නේ.

ප‍්‍රශ්නය :- ඔබතුමා කියන ලෙස පොහොට්ටුවට එකතුවෙලා ඉන්න අනෙකුත් කුඩා පක්‍ෂවලටයි ඔබ මේ චෝදනාව කරන්නේ…?

පිළිතුර :- ඔවුන්ට පමණක් නෙමෙයි… අලුතින් අපිට ආපු කිහිප දෙනෙක් සහ තවත් අපේ කිහිප දෙනෙක් මේ පිටුපස ඉන්නවා.

ප‍්‍රශ්නය :- ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාත් නොතේරෙන ‘ගේමක්’ ගැහුවා යැයි සමාජ මාධ්‍ය ජාලාවල පෝස්ට් පළ වෙනවා.

පිළිතුර :- මේ ජනාධිපතිතුමා අපිව තුන් පාරක් රැවැට්ටුවනේ. ඉතින් එතුමා අපිව හතරවැනි පාරත් රවට්ටයි කියලා ලොකු සැකයක් කුකුසක් තිබෙනවා… සමහර විට ඉහළ තැන්වලින් ලැබුණු නියෝග මේ පල්ලෙහ කට්ටිය ක‍්‍රියාත්මක කරන්න ඇතිවෙන්නත් බැරිකමක් නැහැ.

ප‍්‍රශ්නය :- මහින්ද රාජපක්‍ෂ කඳවුරේ ප‍්‍රබලයෙක් වන ඔබ පසුගිය මාස කිහිපය තුළ එම පාර්ශ්වයේ ඇතැම් තීන්දු තීරණ දැඩි ලෙස විවේචනයට ලක්කළා. විශේෂයෙන් මීළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය පිළිබඳව ඔබ කළ යම් යම් අදහස් දැක්වීම් සමාජය තුළ විශාල කතාබහක් ඇතිකළ ප‍්‍රකාශ වුණා.

පිළිතුර :- මම කියපුවා සමාජය තුළ කොපමණ කතාබහ වුණා ද යන්න මම දන්නේ නැහැ. මම දන්න ඇත්ත මම කතා කළා. දැනුත් එහෙමම තමයි.

ප‍්‍රශ්නය :- ඔබ පසුගිය කාලයේ යම් යම් දේ ප‍්‍රකාශ කරද්දි ඇතැමුන් ඔබව විවේචනය කළා. නමුත් එදා ඔබ කිවූ බොහෝ දේ අද ඇත්ත වෙමින් තිබෙනවා…

පිළිතුර :- මම දේශපාලනයට ආවේ මීට වසර 36 කට ඉහත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පින්සිද්ධ වෙන්නයි. මමත් දැන් දේශපාලනයේ හොඳට තෙම්පරාදු වුණ මිනිහෙක්. මටත් හොඳට දුර පේනවා. මට අනාගතය ගැන හොඳට පෙනුණා. 2015 ජනවාරි දහය සිරිසේන මහත්තයා හවුල් ආණ්ඩුවට කතා කරනකොට මම එයට විරුද්ධ වුණේ ඒකනේ. මම දන්නවා එ. ජා. ප. සහ ශ‍්‍රී ල. නි. ප. ප‍්‍රතිපත්ති එකිනෙකට ගැළපෙන්නේ නැති බව. අපට ඒ ගැන කියලා දුන්නේ සිරිමාවෝ මැතිනියයි. එදා මම එළියට බහිනකොට මගෙත් සමඟ එකෙක් ආවද? මම සිරිසේන මහත්තයට විරුද්ධව කතා කරනකොට මට කොච්චර කට්ටියක් දොස් කිව්වද? එදා ඉඳන් අද වෙනකම්ම මම කිව්ව අනාවැකි බොහෝ දුරට හරි ගිහිල්ලා තිබෙනවා.

ප‍්‍රශ්නය :- මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය භාරගන්නා තෙක් සිදුවූ තිරය පිටුපස ක‍්‍රියාදාමයන් පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්න බව කියවෙනවා. ඒ අතර ඔබත් සිටිනවද?

පිළිතුර :- සමහර දේවල් අපිට කිව්වේ නැහැ. අපි මාධ්‍යයෙන් තමයි ඇතැම් දේ දැනගත්තේ. සිරිසේන මහත්තයාලගේ ගෙදර ගිහින් මහින්ද මහත්තයා හා බැසිල් මහත්තයා සාකච්ඡා කළ කරුණු අපි දැනගෙන හිටියේ නැහැ. මේ සාකච්ඡාවලින් පසුව ජී. එල්. පීරිස් මහත්තයා එතුමාගේ ගෙදර ? කෑමත් සමඟ අප සාකච්ඡාවකට කැඳවීමක් කළා. එහිදී චමල් මහත්තයා මේ දීගයට විරුද්ධ වුණා. එතුමා කිව්වා මෙහෙම යන්න බැරි බව. එකතුවෙන්න එපා කියලා.

ප‍්‍රශ්නය :- ඒ කියන්නේ මෙම තනතුර ගන්න එපා කියලා ඇතුළතින්ම සාකච්ඡාවක් මතුවෙලා තිබෙනවා.

පිළිතුර :- ඔව්…නමුත් මහින්ද මහත්තයා කිව්වේ. අපි හැමදාම මේ පෝයට ආණ්ඩු ගන්නවා. ලබන පෝයට ආණ්ඩු ගන්නවා කියලා කියන නිසා ජනතාවට ලොකු බලාපොරොත්තුවකින් ඉන්න බවයි. ඒ නිසා ඒ මොහොතේ යටත් කළ යුතු බව ප‍්‍රකාශ වුණා. මම තව දෙයක් කියන්නම්, එතුමා චමල් මහත්තයාගේ අදහසට විරුද්ධව කථා කරනකොට මම කිව්වේ “සර් මම හැමතිස්සෙම ඔබතුමාට විරුද්ධව කථා කරනවා කියලා හිතන්න එපා. ඔබ තුමාට තිබෙන ලෙන්ගතුකම හා ආදරය නිසයි මම මෙහෙම කියන්නේ. ඔබතුමා නැවතත් සිරිසේන මහත්තයට රැවටෙන්න එපා. සර් මේ අගමැතිකම භාරගන්න එපා. අපි අයවැය පරද්දවමු. එහෙම නැත්නම් ඉදිරි මැතිවරණවලින් ජයගමු. ඒ හයිය අපට තිබෙනවා. අපිට තුනෙන් දෙකකින් ජයගන්න පුළුවන් තත්ත්වයක් තිබෙන්නේ. හැබැයි ඔබතුමා ඔය මතයේ ඉන්නව නම් මම ඔබතුමාට බහුතරය ගන්න ඡුන්දය දෙන්නම්. තුනෙන් දෙක ගන්න ඡුන්දය දෙන්නම්. හැබැයි මම ස්වාධීනව පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා කියලයි. මහින්දානන්ද කෙහෙළිය, සේමසිංහ, විමලවීර, රොෂාන්, රමේෂ් පතිරණ, අගමැතිකම ගන්නවට විරුද්ධව කථා කළා. එතකොටවත් මහින්ද මහත්තයාට හිතන්න තිබුණා.”

ප‍්‍රශ්නය – පසුගිය අවුරුදු හතරක කාලය ගැන, ඒ කළ උත්සාහයන්, කැපවීම් ගැන කනගාටුවක් දැනිලා වගේ තමයි පෙනෙන්න තිබෙන්නේ?

පිළිතුර – ඒ වසර හතරක කාලය තුළ අපි කට්ටිය මහින්ද මහත්තයාට මදුරුවෙක්වත් වහන්න නොදී ආරක්‍ෂා කළා. අපි එතුමාව දිගු ගමනක් ගෙනාව වගේ, පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත්තා. මේ කාලයේ ගෝඨාභය මහත්තය කොහෙද හිටියේ. දිනුවට පස්සෙ තමයි එතුමා ආවේ. මට හිතෙන විදියට මහින්ද මහත්තයට පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණය උහුලන්න බැරි වුණා. මීළග ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණය ගන්නේ එතුමාගේ ගෙදරදී එම පවුලේ කිහිපදෙනකු සමග පමණක් සාකච්ඡා කරලයි. එතැනදී තමයි වැරදි තීන්දුව ගත්තේ. ඒ නිසයි මම කිව්වේ. “මම මහින්ද රාජපක්‍ෂ මහතාට කඩේ යන්නම් වෙන කිසිම රාජපක්‍ෂ කෙනකුට කඩේ නොයන බවට… ඔය කියපු අයට ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න පුළුවන්ද? බැහැනේ….”

ප‍්‍රශ්නය – ඔබතුමාත් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තද?

පිළිතුර – නැහැ.

ප‍්‍රශ්නය – ඔබ ඒ පක්‍ෂයට යන්නේ නැද්ද?

පිළිතුර – ශ‍්‍රීලනිපය මට එකපාරට අතහරින්න බැහැ. මම මේ තැන ඉන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බණ්ඩාරනායක මැතිනියට පින්සිද්ධ වෙන්නයි. ඒ නිසා මට මේ පක්‍ෂය එකපාරට අතහරින්න බැහැ. ශ‍්‍රීලනි පක්‍ෂයේ නායකත්වය දැන් දුර්වල නිසා පක්‍ෂය පහළට ගිය බව ඇත්ත. නමුත් වසර තිස්හයක් අපිව මේ ගෙනාපු ගමනට ඒ පක්‍ෂයට අපි අනිවාර්යයෙන්ම ගරුත්වයක් දෙන්න ඕන.

ප‍්‍රශ්නය – 2020 ජනාධිපතිවරණයේදී ඔබ නියෝජනය කරන පාර්ශවයෙන් ඊට ඉදිරිපත් වන අපේක්‍ෂකත්වය ගැන අදහස් පළ වී අවසන්… දැන් පවතින දේශපාලන තත්ත්වය තුළ එම අපේක්‍ෂකත්වයන් වෙනස්වීමේ හැකියාවක් තිබේද?

පිළිතුර – ජනාධිපති අපේක්‍ෂකයා ගැන අපි සාමූහිකව කථා කරල ගන්න ඕන තීරණයක්. දෙන්නෙක් තුන්දෙනෙකුට ඒ තීරණය ගන්න බැහැ. ගෝඨාභය මහත්තයාව ගේන්න ඕන කියන කණ්ඩායමේ ඉන්නේ සිරිසේන මහත්තයාට කියලා අපිව රවට්ටපු කණ්ඩායමමයි. ඒ අය මෙතන ඇවිත් කොච්චර කෑගැහුවත් ඔවුන් අන්තිමට වැඩකරන්නේ සිරිසේන මහත්තයාටයි.

ප‍්‍රශ්නය – පසුගිය දින කිහිපය තුළ දේශපාලනයේ ඇතිවූ වෙනස්කම් පොදුජන පෙරමුණට පාඩුවක් වෙලා යැයි හිතෙන්නේ නැද්ද?

පිළිතුර – මෙහෙමයි… මේ වැඩවලින් වුණේ අපේ පැත්තට ඇවිත් හිටිය, නිදාගෙන හිටිය, පක්‍ෂය එපා වෙලා හිටිය එ.ජා. පාක්‍ෂිකයන් නැවත ඒ පක්‍ෂය තුළට ගොනුවීම පමණයි. එය පාඩුවක්. එය දැන් හරවන්න ටික කාලයක් යාවි. අපිට එය බැරි නැහැ. ඒ තැනට යන්න අඩුපාඩු හදාගන්න ඕන. මම මේ කෙලින් කතා කරන්නෙත් ඒ අඩුපාඩු හදා ගන්නයි.

ප‍්‍රශ්නය – ඔබගේ අදහස් දැක්වීම එජා පක්‍ෂයට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනවා නොවේද?….

පිළිතුර – මම කියන කරන දේ අවංකවම, භය නැතිව කියනවා. කරනවා. මම එජාපයට කඩේ යන්නේ නැහැ. අපි ඇත්ත කතා නොකළොත් පාඩු අපේ පක්‍ෂයට හා රටටයි. අපේ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන්නේ රටට ආදරය කරන මහින්ද මහත්තයා ඇතුළු අපේ පිරිස බලයට ගේන්නයි. ඒ දේ කරන්න බොරු වාර්තා බොරු වැඩ කරලා බැහැ. හරි දේ හරියට හරි වෙලාවේ කරන්නයි ඕනා. එහෙම නැතුව සැලසුමක් නැතිව කාගේවත් ඕනෑ එපාකම්වලට වැඩ කරන්න ගිහින් තවත් අමාරුවේ වැටෙන්න අපිට බැහැ.

ප‍්‍රශ්නය – මේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රට ඉදිරියට යා හැකිද?

පිළිතුර – බැහැනේ. මෙහෙම රටකට ඉස්සරහට යන්න බැහැ. මගේ මතය බහුතරය පෙන්නන කෙනාට බලය දෙන්න ඕනෑ. කවුරු කැමැති වුණත් අකැමැති වුණත් ඒ දේ විය යුතුයි. මේ වෙන දේවල් බලන්න තානාපතිවරු පවා ඇවිත් හිටියා. මෙහෙම ගියොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසීය විසිපහට රට යන්න වීසා එකක්වත් ගන්න බැරිවේවි.

ප‍්‍රශ්නය – මේ ඡන්දය ලබාගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල කලබැගෑනියක් වුණා. ගුටිකෙළි පවා සිදුවන ආකාරය දැකගන්න ලැබුණා. ඒ සිදුවූ දෙය ඔබ බලාගෙන සිටියා මිස ඊට සම්බන්ධ වන බවත් අප දැක්කේ නැහැ.

පිළිතුර – මම මුල ඉඳන්ම කිව්වනේ. 113 අපට නැත්නම් විපක්‍ෂයේ වාඩිවෙමු කියල. මම එදා ඉඳන්ම කීවනෙ. රටට වැරදි ආදර්ශ දෙන්න බැහැ. දෙගොල්ලම ඉතාමත් අශීලාචාර විදිහටයි එදා කටයුතු කළේ. මට වැරදි දේට මැදිහත් වෙන්න බැහැ. ඒ නිසා වෙන හැම දෙයක්ම මම බලාගෙන හිටියා. ගහගත්ත අය පස්සේ එකට කතා කර කරත් හිටියා.

ප‍්‍රශ්නය – ඇතැම් මන්ත්‍රීවරු පිහි පවා සභා ගැබට ගෙනත් තිබුණා.

පිළිතුර – මම හරියට ඒ ගැන දැක්කේ නැහැ. ගෙනාව නම් එය වැරදි කටයුත්තක්. ඉදිරියට එසේ නොවන්න කටයුතු කළ යුතුයි.

ප‍්‍රශ්නය – මහින්ද මහත්මයා අගමැතිකම් භාර ගැනීම සහ ඉන් අනතුරුව වුණු සිදුවීම් සමුදාය පොහොට්ටුව යම් පසුබෑමකට ලක් කර ඇති බව සඳහන් වෙනවා. එසේ වී ඇත්නම් අඩුපාඩු හදාගෙන ජයග‍්‍රාහී ගමනක් ඉදිරියට යෑමේ හැකියාවක් තිබේ යැයි ඔබ සිතනවාද?

පිළිතුර – අනිවාර්යයෙන් පුළුවන්. මෙයත් අසීරු අවස්ථාවක් තමයි. නමුත් අපට ඊට මුහුණ දීමේ හැකියාව, පන්නරය තිබෙනවා. සුළු කණ්ඩායමක් අපේ ‘ගැම්ම’ යම් මට්ටමකට නැති කළා තමයි. අපි එකට එක්වුණොත් මේ ගැටලු පැහැදිලිවම නිරාකරණය කර ගත හැකියි. අපි මේ රටට ආදරය කරන මිනිස්සු. ඊට පස්සේ තමයි පක්‍ෂයයි, එහි නායකයායි ඉන්නේ. රට ගැන හිතලයි කටයුතු කරන්න ඕනෑ. සිංහල , මුස්ලිම්, දමිළ, බර්ගර් ඇතුළු සියලු ජන කොටස්වලට මේ රට අයිතියි. ජාති ආගම් කුල මළ භේද දේශපාලනය ගේන්න ඕන නැහැ. එක අම්මාගේ දරුවෝ ලෙස ඉදිරියට ගියොත් අපිට මේ රට ගොඩදාන්න පුළුවන්.

 

Related posts

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

ජනපති මෛත්‍රීගෙන් මහින්දට ලොකු පුටුවක් !

colombotoday

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මෙරටින් හමුවීමත් සමග රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday