Colombo Today Local News

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

වර්තමාන ආණ්ඩුව ගෙනැවිත් තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධ වීම නොවන බවද වර්තමාන ව්‍යවස්ථාවේ පුළුල් වෙනස්කම් සිදුවිය යුතු බව පිළිගන්නා බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළැඹෙන ජාතික මැතිවරණයකදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් තම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවට ජනතාවගෙන් වරමක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එයට සහයෝගය දෙන ලෙසට ජනතාවගෙන් සහ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත් සිරස්තලය යටතේ ඊයේ (23දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රටේ පවතින කෘෂිකාර්මික පළිබෝධ උවදුරත්, ණය උගුල ඇතුළු අනේක විධ අර්බුද මධ්‍යයේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ආණ්ඩුව කරන හොරගල් ඇහිලීම පිළිබඳව සියලු දෙනා අවධානයෙන් සිටිය යුතු බවයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වාර්තාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු රට වටේ යන ආකාරය අපි දුටුවෙමු. එවැන්නක් කියන අතරම අලුත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදිය නොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්, බුදු දහමට තිබුණු තැන වෙනස් නොවන බවත් අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්ෂයේ වෙනත් ඇමැතිවරුත් කියයි.

වර්තමාන පාලකයන් 2015 බලයට පැමිණෙන විට ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්ථාවර පාර්ලිමේන්තු ආණ්ඩු පිහිටුවීමට හැකිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් පමණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ කෙටුම්පතේ විධිවිධාන තිබේ. අපි එයට විරුද්ධ නොවෙමු. නමුත් මෙහි යෝජනා කර තිබෙන නව මැතිවරණ ක්‍රමය 2017දී පළාත් පාලන ආයතන හා පළාත් සභාවලට හඳුන්වාදුන් ආකාරයේ ‘පූර්ණ සමානුපාතික’ මැතිවරණ ක්‍රමයකි. ඒ මැතිවරණ ක්‍රමය ගෙන ඒමට 2017 කටයුතු කළ අයම දැන් එය ප්‍රතික්ෂේප කර ඇත. ස්ථාවර ආණ්ඩු ඇතිවන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට නම් හඳුන්වා දිය යුත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කළ 70%ක් කේවල ආසන හා 30%ක් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රිවරුන් තෝරා පත් කෙරෙන ‘දෙමුහුන්’ ඡන්ද ක්‍රමයයි. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ දෙමුහුන් මැතිවරණ ක්‍රමය යෝජනා කළේ 2002 සිට 2007 දක්වා එජාප සහ එජනිස ආණ්ඩු දෙකක් යටතේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ කරනු ලැබූ අධ්‍යයනයකින් පසුවය.

පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථා දායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත. පළාත් සභාවලට අයිති විෂයයන් ගැන පාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට නම් හැම පළාත් සභාවක්ම එයට එකඟ විය යුතු වේ. එක පළාත් සභාවක් හෝ එම නීතියට විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ය වේ. නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක් වුවද ඕනෑම පළාත් සභාවකට ඕනෑම වෙලාවක සරල බහුතරයකින් සම්මත කරන පනතකින් අහෝසි කර දැමිය හැකිය. (කෙටුම්පතේ 132 ඡේදය) පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයට සීමා කළ විටඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වේ. අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමු.

සමගාමී ලැයිස්තුවට අයිති විෂයයන් ගැන පාර්ලිමේන්තුව නීති සෑදීමට නම් සියලුම පළාත් සභාවල එකඟත්වය ලබාගත යුතු වේ. (134ඡන්දය) එවන් එකඟතාවක් ලබාගන්නවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමට වත්මන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හිමි බලය එයින් අහෝසි වනු ඇත. පාර්ලිමේන්තුව විසින් නීතියක් සම්මත කළ පසුත් අලුත් ව්‍යවස්ථාවෙන් පිහිටුවීමට යෝජනා කර තිබෙන ව්‍යස්ථාමය උසාවියට ඒ නීතිය අවලංගු කළ හැකිය. එයින් පාර්ලිමේන්තුවේ බලය තවත් හීන වේ. (182 – ඇ සහ 185 ඡේද) මේ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ පළාත් සභා බලතල ලැයිස්තුවක් ගැනත් සමගාමී බලතල ලැයිස්වක් ගැනත් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුවක් ගැනත් සඳහන් වුවද ඒ ලැයිස්තු අපේ වර්තමාන ව්‍යවස්ථාවේ තිබෙන ලැයිස්තුද නැත්නම් වෙනත් ඒවාද යන්න සඳහන් කර නැත.

මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් සමඟ කිසිදු ප්‍රයෝජනයක් නැති තොරතුරු අඩංගු ලියැවිලි මිටි ගණන් සභාගත කෙරුවද වැදගත්ම කාරණයක් වන මේ බලතල ලැයිස්තු ඉදිරිපත් කර නැත. අලුත් ව්‍යවස්ථා යෝජනාවලට අනුව, මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාට පළාතේ මහ ඇමැති යටතේ කටයුතුකිරීමට සිදු වේ. වත්මන් ව්‍යවස්ථාවේ විධිවිධානවලට හාත්පසින්ම වෙනස්ව පළාතේ විධායක බලය ඇත්තේ මහ ඇමැතිවරයාට මිස ආණ්ඩුකාරවරයාට නොවන බවට සඳහන්ව තිබීමෙන්ද මේ යෝජනාවල ෆෙඩරල්වාදී නැඹුරුව තවත් පැහැදිලි වේ. (242 ඡේදය)

පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පළාත්බද පොලිස් සේවාවන් 9කට කඩා ඒ හැම එකටම වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධිවිධාන ඇත. ජාතික පොලිස් සේවයට අයිති වන්නේ රාජ්‍ය විරෝධී කටයුතු, මැතිවරණ සම්බන්ධ වැරැදි, හොර මුදල් අච්චු ගැසීම වැනි නම් කරනු ලැබූ කාරණා කිහිපයක් පමණි. අනෙක් සියලුම එදිනෙදා පොලිස් කටයුතු, එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථවාහන, මහජන සාමය වැනි කරුණු අයිති වන්නේ පළාත්බද පොලිසිවලටය. (254, 259 හා 284 වැනි ඡේද) මේ ආකාරයට පොලිසිය කොටස් කිහිපයකට කැඩීමෙන් පමණක් මේ රට ඉවර කර දැමිය හැකිය. 13 වැනි සංශෝධනයේ කුමක් තිබුණත් අවුරුදු 30ක් මුළුල්ලේ කිසිම ආණ්ඩුවක් පොලිසිය කෑලි දහයකට වෙන් නොකළේ ඒ නිසාය.

අලුත් යෝජනා යටතේ, වර්තමානයේ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයන් සඳහා භාවිත වන ඉඩම් හැරුණු විට සෙසු සියලුම රජයේ ඉඩම් අයත් වන්නේ පළාත් සභාවලටය. මධ්‍යම ආණ්ඩුවට එවන් රජයේ ඉඩමක් අවශ්‍ය වුවහොත්, එය අදාළ පළාත් සභාවෙන් ඉල්ලා සිටිය හැකිය. පළාත් සභාව ඒ ඉඩම නොදී සිටියහොත් එම දුක්ගැනවිල්ල ත්‍රිපුද්ගල බේරුම් කරන කමිටුවකට යොමු වේ. එම කමිටුවේ තීන්දුව ගැන සෑහීමකට පත් නොවන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාමය උසාවියට ඒ ඉඩම ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය. ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කාරණයකට මධ්‍යම ආණ්ඩුව රජයේ ඉඩමක් පවරා ගත්තත් අදාළ පළාත් සභාවට ව්‍යවස්ථාමය අධිකරණය වෙත ඒ පවරා ගැනීමට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය. (302, 307 සහ 308 ඡේද)

අලුත් ව්‍යවස්ථා යෝජනාවලට අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප්‍රකාශ කළත් එයට විරුද්ධව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබා ගත හැකිය. මාස තුනකට වැඩි කාලයකට නැත්නම් දින 180ක කාලයක් ඇතුළත දින 90කට වඩා හදිසි නීති තත්ත්වයක් පවත්වාගෙන යෑමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වේ. (290-5, 291- අෑ, 292 ඡේද) එයින් ප්‍රායෝගිකව සිද්ධ වන්නේ හදිසි තත්ත්වයකටවත් මධ්‍යම ආණ්ඩුවට සුදුසු ආකාරයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීමයි. හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් යනු විධායකයේ ක්‍රියාවකි. එවන් කාරණා සම්බන්ධයෙන් අධිකරණයට කටයුතු කිරීමට නොහැකිය. හදිසි නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව වාරණයක් ලබාගත හැකි නම්, හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන්ද පලක් නැත.

උතුරු – නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට හඳුන්වා දී ඇති විධිවිධාන (237-3 ඡේදය), වර්තමානයේ ශේ‍ර්ෂ්ඨාධිකරණයට හිමි ව්‍යවස්ථාව සම්බන්ධ අධිකරණ බලය වෙනම ව්‍යවස්ථාමය අධිකරණයකට පැවරීම (181 සිට 191 දක්වා ඡේද) ඇතුළු තවත් ගැටලු ගණනාවක්ම ඇත. 1983 හය වැනි සංශෝධනයෙන් වත්මන් ව්‍යවස්ථාවේ 7 වැනි උපලේඛනය හැටියට ඇතුළත් කරන ලද බෙදුම්වාදයට එරෙහිව විශේෂ ප්‍රතිඥාව අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ පෙනෙන්නට නැත. මෙහිදී අප සඳහන් කර ඇත්තේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ අපට එකඟ විය නොහැකි විධිවිධාන කිහිපයක් පමණක් බව සැලකිය යුතුය.

මේ ව්‍යවස්ථා කෙටුම්පතේ පැහැදිලි රටාවක් පෙනෙන්නට තිබේ. එමඟින් පාර්ලිමේන්තුවත් මධ්‍යම ආණ්ඩුවත් හැකි තරම් දුර්වල කරනු ලැබේ. පළාත් සභා හැකි තරම් බලසම්පන්න කරනු ලැබේ. ආණ්ඩුකාරවරුන් මහ ඇමැතිවරුන්ට යටත් කරනු ලැබේ. සෑම පළාත් සභාවකටම වෙන වෙනම සන්නද්ධ පොලිස් සේවාවන් ඇති කරනු ලැබේ. පළාත් සභාවලට අයත් බලතල මොනවාද? මධ්‍යම ආණ්ඩුවට අයත් බලතල මොනවාද යන්න දැන්මම ප්‍රකාශයට පත් නොකර, පසුව නියම කර ගැනීමට ඉඩ ඉතිරි කරනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල හදිසි නීතියවත් ප්‍රකාශ කිරීමට බැරි තත්ත්වයක් ඇති කරනු ලැබේ. මේ සියල්ලම කුමන අරමුණින් කරනවාද යන්න කාටත් පැහැදිලි විය යුතුය.

අද රට පාලනය කරන එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප්‍රවේශය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතළ ලෙස පලුදු වී ඇත. ඔවුන් ජනතාවත් ශේ‍ර්ෂ්ඨාධිකරණයත් නොමඟ හැරීම සඳහාම 19 වැනි සංශෝධනය තුළින් හිස් වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළ ආකාරය කවුරුත් දනී. සම්පූර්ණයෙන්ම වෙනත් කාරණා සඳහා ඉදිරිපත් කර තිබුණු පනත් කෙටුම්පත් දෙකකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ගෙන එනු ලැබූ සංශෝධනවලින් පළාත් පාලන මැතිවරණ ක්‍රමයත් පළාත් සභා මැතිවරණ ක්‍රමයත් පස්සා ‍ෙදාරින් වෙනස් කළ ආකාරය කවුරුත් දනී. 2016 අගෝස්තු මාසයේදී විවාදයක්වත්, හරිහමන් ඡන්දයක්වත් නොපවත්වා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් මැද මේ ආණ්ඩුව අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කරගත් හැටි කවුරුත් දනී.

මේ ආණ්ඩුවේ කපටිකම්වලට සීමාවක් නැත. ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු ඔවුන් කතා කරන්නේ බුද්ධාගමට හිමි තැන ගැනත් ‘ඒකීය’ යන වචනය ගැනත් පමණය. අපට ලබාදී ඇති කෙටුම්පතේ මේ කාරණා දෙකම සම්බන්ධයෙන් විකල්ප වගන්ති යෝජනා කර ඇත. අප මෙතැනදී පරීක්‍ෂාකාරී විය යුතුය. බෙදුම්වාදීන්ටයි ෆෙඩරල්වාදීන්ටයි වැදගත් වන්නේ නමවත්, වචනයවත් නොවේ. ඔවුන්ට අවශ්‍ය දේ ලැබෙනවා නම් නම කුමක් වුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නැත. මේ පිරිස සැබවින්ම ඉලක්ක කරගෙන සිටින්නේ ඒකීය කියන වචනයවත් බුදු දහමවත් නොවේය.

රටේ ඒකීය භාවය ගැනත් බුදුදහම ගැනත් ඉදිරිපත් කර තිබෙන විකල්ප වගන්ති කේවල් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් විසින්ම ඉල්ලා අස් කරගෙන බොරු නම්‍යශීලී බවක් පෙන්වා මේ ව්‍යවස්ථා කෙටුම්පතේ හරය වන ෆෙඩරල් පාලන ක්‍රමය දිනා ගැනීමට ඔවුන් උත්සාහ කිරීමට ඉඩ ඇත. විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ උප්පරවැට්ටි ගැන අවබෝධයෙන් සිටිය යුතු යැයි මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන දී තිබියදීත්, මේ ආණ්ඩුව භික්ෂුන් වහන්සේව මර්දනය කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා ඒකීය ලේබලය එලෙසම තිබියදී ඔවුන්ට රට ෆෙඩරල් කළ හැකිය. මේ රටේ දමිළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ උතුරු- නැඟෙනහිර පළාත්වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වන්නේ නැඟෙනහිර පළාතෙන් පිටය. මේ වගේ රටකට අලුත් ව්‍යවස්ථාවක් සෑදිය යුත්තේ ඒ යථාර්ථයත් හිතේ තබාගෙනය.

Related posts

ග්ලයිපොසෙට් හොදායි.. අධි විෂක් නෑ..! තහනම ඉවත් කරන යෝජනාව අද කැබිනට් හමුවට..!

colombotoday

මුස්ලිම් ආක්‍රමණයක් සිදුවෙන බව සිංහලයාට දැන් තේරෙනව.. අරාබියෙන් එන අරමුදල් ගැන සෙවිය යතුයි

colombotoday

ජනපති – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

colombotoday

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ නියපොත්තෙ ඉදන් පතුරුගහගෙන කනවා

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday