Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

2015 පෙබරවාරි 27 වැනි දින බැඳුම්කර විකිණීම ඇරැඹූ විට බිලියන 20ක් (කෝටි 2,000ක්) වටිනා බැඳුම්කර ගැනීමට ලංසු ලැබුණු බවද එම ප්‍රමාණය පිළිගෙන මුදල් ලබාගැනීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා උපදෙස් දුන් බවද ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (06දා) සාක්ෂි දුන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය පැවැසුවාය.

2015 මාර්තු මාසයේ රජයේ මූල්‍ය අවශ්‍යතාව රුපියල් බිලියන 2.56ක් බැවින් බිලියන 20ක බැඳුම්කර විකිණීමෙන් රජයට අහිතකර බලපෑම් ඇති විය හැකි බව මහ බැංකු නිලධාරීන් පැවැසූ බවද සාක්කිකාරිය සඳහන් කළාය.

රජයට දරුණු මුදල් හිඟයක් උද්ගත වී තිබෙන බැවින් බිලියන 20 විකුණා මුදල් ලබාගත යුතු බව මහේන්ද්‍රන් මහතාගේ අදහස විය.

මීට ටෙන්ඩර් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් විරෝධය පෑ බැවින් එය බිලියන 10.5ක්වත් ප්‍රමාණයක් මුදල් එකතු කරගත යුතු බව මහේන්ද්‍රන් මහතා ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන්ට බලපෑම් කළ බවද සාක්ෂිකාරිය පැවැසුවාය. මහ බැංකු අධිපතිගේ කීමට බිලියන 10.5ක් එකතු කරගැනීමට කවුරුත් අකැමැත්තෙන් එකඟ වූ බව සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළාය.

බැඳුම්කර සිද්ධියට පෙර එම වෙන්දේසිය භාරව ක්‍රියා කිරීම තමාව පෙබරවාරි 9 වැනි දින මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවට මාරු කළ බවද එම දෙපාර්තමේන්තුවේ වගකීම බැඳුම්කර මඟින් රජයේ මුදල් අවශ්‍යතා ඉටුකර දීම බවද සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

බැඳුම්කර වෙන්දේසියට දින 18කට පෙර මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවට මාරු කිරීම පිළිබඳ තමාට කිසිදු අත්දැකීමක් නැති අංශයකට මාරු කිරීම ගැන විරුද්ධ වී එම මාරුව අවලංගු කරන ලෙස ඇය මහේන්ද්‍රන් මහතාට කිහිප වරක්ම පැවැසුවද එහි වැඩ කරන විට පළපුරුද්ද සහ අත්දැකීම් ලබාගත හැකි බව ඔහු පැවැසූ බව ඇය සඳහන් කළාය.

බැඳුම්කර වෙන්දේසි කිරීම මඟින් රජයට මුදල් සැපයීමේ වගකීම පැවරුණේ තමාට බවද එහෙත් එම අංශයේ අනෙක් නිලධාරීන්ගේ සහාය ලබාගෙන වැඩේ පටන් ගත් බව සෙනෙවිරත්න මහත්මිය කීවාය.

මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය එතරම් ලෙහෙසි කාරණයක් නොවන බව පැවැසූ සාක්ෂිකාරිය එය මහ බැංකුවේ විවිධ කොමිටි ගණනාවක් මඟින් සිදු කළ යුතු බව කීවාය.

2015 පෙබරවාරි 26 වැනි දින භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තමාට ලිපියක් ලැබුණු බවද එහි සඳහන් වූයේ මාර්තු 5 වැනි දින වන විට රුපියල් බිලියන 1.5ක මුදල් ඉල්ලා ලැයිස්තු කීපයක් තමාට ලැබුණු බවද සෙනෙවිරත්න මහත්මියගේ සාක්ෂියෙන් සඳහන් විය.

මහ බැංකුවේ බැඳුම්කර විකිණීම මඟින් මුදල් සෙවීමට තමා යොමුවූ පළමු අවස්ථාවේදී දින 7කින් මුදල් සොයාදීමට ක්‍රියා කළ යුතු බවද තමාට පළමුවෙන්ම නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයකු වූ ආනන්ද සිල්වා මහතා උපදෙස් දුන්නේ පළමුව බැඳුම්කර විකුණන බව දන්වමින් පුවත්පත්වල දැන්වීමක් පළ කිරීමට බව සෙනෙවිරත්න මහත්මිය පැවැසුවාය.

එම දැන්වීම අනුව හොඳ ප්‍රතිචාරයක් ලැබූ බවත් මිලට ගනු ලබන බැඳුම්කර සඳහා කල් පිරෙන කාලය ලෙස වසර 30ක් බව නියම වූ බවත් සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළාය.

බැඳුම්කර විකිණීම වෙන්දේසියක් සහ සෘජුව බැඳුම්කර සඳහා ඉල්ලීම අනුව කළ යුතු යැයි මෙම දෙමුහුන් ක්‍රමය අනුව බැඳුම්කර විකිණීම මේ වන විට රජයට වාසිදායක ක්‍රමය බව සෙනෙවිරත්න මහත්මියගේ සාක්ෂියෙන් පැවසිණි. පෙබරවාරි 27 වැනි දින උදේ 8 සිට 11 දක්වා බැඳුම්කර විකිණීම අරඹා උදේ 10.45 වන විට බැඳුම්කර විකිණීම මෙහෙයවන මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි මහේන්ද්‍රන් මහතා සිදුවෙමින් පවතින ක්‍රියාවලියේ විස්තර දැනගැනීමට තමාගෙන් ප්‍රශ්න කළ බවද සාක්ෂිකාරිය කීවාය.

ක්‍රියාවලිය තවමත් සිදු වෙමින් පවතින හෙයින් ඒ පිළිබඳ විස්තර ඒ වන විට දිය නොහැකි බව සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළ විට ඔහු එතැනින් පිටත්ව ගිය බවද මේ වන විට ලංකා බැංකුව මඟින් පර්පචුවල් ට්‍රෙෂරීස් බිලියන 13ක බැඳුම්කර මිලට ගත් බවද සමස්ත බැඳුම්කර ප්‍රදානයෙන් 50%ක් එම සමාගම මිලට ගත් බවද සාක්ෂිකාරිය පැවැසුවාය.

Related posts

‘පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන බව පිළිගන්නවා’

Admin

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ඓතිහාසික තීන්දුවක්…

colombotoday

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයි

Admin

ඥානසාර හිමිගේ සිර දඬුවම අත්හිටුවීමට හෝමාගම මහාධිකරණයෙන් නියෝග

colombotoday

ඒකාබද්ධයේ සියළු මන්ත්‍රීන් ශ්‍රීලනිප සංවත්සරය වර්ජණයට තීරණයක් !

colombotoday

කුඹුරට ගිය ගොවියෙකුට වලසෙක් පහර දිලා

colombotoday