Colombo Today Local News

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

“යුක්තිය මෙහෙයුම තුළින් රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන, මත්ද්‍රව්‍ය බෙදා හරින පිරිස් අත්අඩංගුවට ගැනීම දිගින් දිගට ම සිදුවන අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිතුමාටත් අමාත්‍යවරයා ලෙස මටත් දිගින් දිගට ම විවිධ ආකාරයේ බාධාවන්වලට මුහුණ දීමට සිදුව තිබෙනවා.”

මීගමුව ප්‍රදේශයේ පැවැති ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැත්වූ විශේෂ වැඩමුළුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පල කරන ලදි.

“අතළොස්සක් නීතිඥවරුන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් යැපෙන පිරිස් මේ මෙහෙයුම කඩාකප්පල් කිරීම සඳහා විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපහාස සිදුකරනවා. රාජ්‍ය නොවන සංවිධානවල ඇතැම් නියෝජිතයන් සමග එක්ව ජාත්‍යන්තරයට විවිධ පැමිණිලි සිදු කරනවා. ඒ අනුව පසුගිය දිනෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද මෙම මෙහෙයුම නතර කරන ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නමුත් රටේ සමස්ත ජනතාව ම ඉල්ලා සිටින්නේ මෙම මෙහෙයුම කිසිසේත් ම නතර නොකරන ලෙසයි.”

“මේ අපේ රට. අපි අපේ රටේ පනත් ඉදිරිපත් කරන්නේ අපට අවශ්‍ය ආකාරයට මේ රටට ගැලපෙන ආකාරයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට නොවේ. මා මෙම අමාත්‍ය ධුරය දරන තාක් ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන බව ප්‍රකාශ කරන්නට කැමතියි. සමාජ මාධ්‍ය තුළින් රටට එරෙහිව කටයුතු කරන ඇතැම් කුහකයන් පමණක් මේ මෙහෙයුම අඩපණ කිරීමට උත්සහ දරනවා.

දිගින් දිගට ම සිදුවන මරණ තර්ජනවලට පවා මුහුණදෙමින් අප මේ උත්සහ කරන්නේ රටේ අනාගත දරු පරපුර සුරක්ෂිත කිරීමටයි. ජාවාරම්කරුවන්ගේ, අපරාධකරුවන්ගේ කිසිදු බලවේගයකට අප නතර කිරීමට හැකියාවක් නැහැ. අපරාධකරුවන්ගේ මිලියන ගණනක් මුදල් මත යැපෙන ඇතැම් නීතිඥයන් ඇතුළු පිරිස් උත්සාහ කරන්නේ අප සිදුකරන වැඩපිළිවෙළ කෙසේ හෝ කඩාකප්පල් කිරීමටයි. අවශ්‍ය අවස්ථාවේදී රටේ ජනතාව ඔවුන්ට නිසි පිළිතුරු ලබාදෙනු ඇති බව මා විශ්වාස කරනවා. ජුනි 30 වන විට රට තුළ සම්පූර්ණ වෙනසක් සිදු කිරීමට අප කටයුතු කරනවා. රටට බරක් වූ අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රටින් තුරන් කළ යුතුයි. අපරාධවලින්, මත්ද්‍රව්‍යවලින් රට බේරා ගැනීමේ එක ම අරමුණකින් යුතුව අප කටයුතු කරනවා.

එමෙන් ම දරුවන් සහ කාන්තාවන් වෙත සමාජයෙන් සිදුවන විවිධ ආකාරයේ අපචාර ක්‍රියා මර්දනය පිළිබඳවද අපේ විශේෂ අවධානය යොමු වෙනවා. පසුගිය කාලය තුළ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඇතුළු දර්ශන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනවා.

මෙම තත්ත්වය මැඬපැවැත්වීම සඳහා අවශ්‍ය නීති රීති දැඩි කළ යුතුයි. ඒ වෙනුවෙන් පනතක් ඉදිරිපත් කළ අවස්ථාවේ සෑම දෙසින් ම ඊට එරෙහිව ප්‍රහාර එල්ල වුණා. නමුත් අවසානයේ අප පනත සම්මත කර ගත්තා.

නිවැරදිව සමාජ මාධ්‍ය හසුරුවන කිසිවෙකු මේ පනතට බිය විය යුතු නැහැ. සත්‍ය කරුණු සමග නොබියව තමන්ගේ මතය ඉදිරිපත් කළ හැකියි.

ඕනෑ ම අයෙකු විවේචනය කළ හැකියි. රජය විවේචනය කළ හැකියි. නමුත් අසත්‍ය පැතිරවිය නොහැකියි. කාන්තා හිංසනය, ළමා අපචාරවල නිරතවන, අසත්‍ය ප්‍රචාර පතුරුවන පිරිස් මීට බිය විය යුතුයි.

නිවැරදිව කටයුතු කරන කිසිවකුත් ඊට විරුද්ධ වේ යැයි මම සිතන්නේ නැහැ. සියලු මාධ්‍ය තුළින් රටට ලබාදිය යුත්තේ සත්‍යයි.”

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමජිකයන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ආපදා සහන දෙන්න, ජාත්‍යන්තර සමුළුවක් කැදවා ආධාර ඉල්ලන්න යයි !

colombotoday

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin

1015 දරණ දුම්රියේ සියලු දුම්රිය මැදිරි 20 වැනිදාට අමුතු අංකයකින් වෙන්කරලා

Admin

කොළඹට එන දුර ගමන් සේවා බස් රථ යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර

colombotoday

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday