Colombo Today Local NewsExclusive :extremism & terrorism activitiesfeatured

ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…

ලෝකවාසී සමස්ත මුස්ලිම් ප්‍රජාව වඩාත්ම අප්‍රිය කරන මුස්ලිම් පූජකවරයෙක් ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඉමාම් මොහොමඩ් තව්හීඩී (Imam Mohommad Tawhidi) ය. ඊට හේතුව ඔහු සිය දහම හා එහි ශුද්ධ ග්‍රන්ථවල අන්තර්ගතය පිළිබඳ සිදු කරන විවේචන නිසාය. එහෙත් ශ්‍රී ලංකාවේ මතු වී ඇති තත්ත්වය ගැඹුරින් වටහා ගැනීම සඳහා ඉමාම් තව්හීඩීගේ ඉස්ලාම් ධර්මය පිළිබඳ විවේචන ඉතා වැදගත් බව පෙනේ.

මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම හා බලවත්ම මුස්ලිම් ඇමැතිවරයා ලෙස සැලකිය හැකි රවුෆ් හකීම් ඉකුත් 24 දා පාර්ලිමේන්තුවේ පැවති ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය පිළිබඳ විවාදයේදී පැවැත්වූ කතාවේ කොටසක් ‘‘දෙරණ’’ ප්‍රවෘත්ති විකාශයෙන් මට අසන්නට ලැබුණි. ඔහු එහිදී ප්‍රකාශ කළේ එම මරාගෙන මැරෙන බෝම්බකරුවන් ‘‘යම් ඉල්ලීමක් හෝ ඉල්ලා නොසිට’’ එම බිහිසුණු ක්‍රියාවේ යෙදුණු බවය. එසේම එම බෝම්බකරුවන් ‘‘අසීමිත ලෙස මානසික කම්පනයට පත් උන්මත්තකයන්’’ ලෙසට ද ඔහු හැඳින්වූයේය. එම උන්මත්තකයන් සිටින්නේ ඉතා සුළු පිරිසක් බව ද පැවසූ ඔහු ඔවුන් මුලිනුපුටා දැමීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව’ ද ප්‍රකාශ කළේ ය.

ඉමාම් මොහොමඩ් තව්හිිදි

ඔහු කියන පරිදි එම ඉස්ලාම් අන්තවාදීන් කිසිම ඉල්ලීමක් නොකර බෝම්බ පුපුරුවාගෙන මැරුණේ නම් (හේතුවකින් තොරව) ඔවුන් එසේ කළේ කුමන හේතුවක් නිසාද යන්න අධ්‍යයනය කළ යුතුය. එසේම අමාත්‍යවරයා පවසන පරිදි, මානසික කම්පනයට පත් උන්මත්තකයන් නම් ඔවුන් ඒ තත්ත්වයට පත්ව ඇත්තේ කුමන පසුබිමක් නිසාද යන්න සෙවිය යුතු වැදගත් කාරණයකි. දැනට වාර්තා වි ඇති ආකාරයට එම බෝම්බකරුවන් බහුතරය ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජයේ මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියට අයත් හොඳ අධ්‍යාපන පසුබිමක් ද සහිත පුද්ගලයන්ය.

හකීම් අමාත්‍යවරයා බෝම්බකරුවන්, ඉල්ලීමක් හේතුවක් ප්‍රකාශ නොකර එම බිහිසුණු ක්‍රියාවේ යෙදුණු බව ප්‍රකාශ කළද, එම බෝම්බකරුවන් මිය යන්නට පෙර රූගත කර තිබූ ‘‘දිවුරුම් දීමේ’ වීඩියෝවෙන් ඔවුන්ගේ අරමුණ හෙළි වේ. එම දිවුරුම ‘අයිසිස්’ ත්‍රස්තයන්ගේ මොඩලයේ දිවුරුමකි. එබැවින් ඔවුන් මේ විනාශය කළේ ආගමික අරමුණු නිසා බවට හොඳටම පැහැදිලිය. මෙම විනාශය පිළිබඳ ශ්‍රී ලංකාවේ විවිධ මුස්ලිම් සංවිධාන හා උලමාවරු පවසන පොදු කාරණා කීපයක් තිබේ. ඒ එම ක්‍රියාව ඉස්ලාම් ධර්මයට පටහැනි බව, ත්‍රස්තවාදීන්ට ආගමක් නොමැති බව හා කුරාණයේ සඳහන් නබිතුමාගේ ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන් විරුද්ධ බව ආදී කාරණාය. මේ හේතු ලෝකය පුරා කොතැනක හෝ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වූ පසු මධ්‍යස්ථ යැයි කියන මුස්ලිම්වරුන් ඉදිරිපත් කරන කතාන්දරය.

එසේම ලංකාවේ උලමා සංවිධාන කීපයක්ම ඉස්ලාමය තුළ හිංසනයට හා ත්‍රස්තවාදයට ඉඩක්​ නොමැති බවට කුරාණය උපුටා දක්වමින් මාධ්‍ය නිවේදන ගණනාවක් නිකුත් කර තිබුණේය. එයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකාවේ හේතුවාදී සංගමය කුරාණයේ තිබෙන හිංසනයට හා ත්‍රස්තවාදයට අනුබල දෙන අවස්ථා ගණනාවක් පෙන්වා දෙමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවාද මම දුටුවෙමි. එයින් පෙනෙන්නේ අපි තවමත් කැරකෙන්නේ කුරාණය වටා බවය.

කෙසේ නමුත් ඉමාම් මොහොමඩ් තව්හීඩි (Imam Mohommad Tawhidi)ට අනුව මුස්ලිම් තරුණයන් උන්මත්තකයෝ කර ත්‍රස්තවාදය සඳහා යොමු කරනු ලබන්නේ ඉස්ලාමයේ ශුද්ධ වූ ග්‍රන්ථවල සඳහන් ඉගැන්වීම්ය. ඔහුට අනුව කුරාණයට වඩා භයානක ඉගැන්වීම් ඇත්තේ ඉස්ලාමයේ දෙවන ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ‘‘සාහි අල් බුකාරි’ (Sahih al Bukhari) ග්‍රන්ථයේය. සෑම මුස්ලිම් පල්ලියකම හා සෑම ඉස්ලාම් පාසලකම කුරාණය ළඟට තබා ඇත්තේ මේ කෘතිය බව ඔහු පෙන්වා දේ. මේ කෘතිය කුරාණයේ සඳහන් නබිතුමාගේ ඉගැන්වීම තවදුරටත් විස්තර කරන්නකි. කෘතියක් ලෙස එය ඉතා විශාල බැවින් කාණ්ඩ කිහිපයකට මුද්‍රණය කර තිබේ. ඉමාම් තව්හීඩී පවසන්නේ මේ කෘතියෙ අඩංගු කරුණු හා ඉගැන්වීම් මුස්ලිම් නොවන ලෝකය හරිහැටි නොදන්නා බවය. ඒ සඳහා ඔහු කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි. එම කෘතිය මේ වන විට පරිවර්තනය (සම්පූර්ණයෙන්) කර තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට පමණක් ආවේණික භාෂා කීපයකට පමණක් වීම, එම භාෂා කියවිය හැකි අන්‍යාගමිකයකුට වුවද කෘතියේ සාහිත්‍යමය අරුත් වටහා ගැනීමට ඇති අපහසුව ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව ඔහු පවසයි. ඉංග්‍රීසියට හෝ වෙනත් ප්‍රධාන භාෂාවකට එම කෘතිය පරිවර්තනය කර තිබෙන්නේ ඉතා කුඩා පොත් පිංචක් ලෙස බවද ඉමාම්වරයා පෙන්වා දේ.

‘‘මුස්ලිම් ආගමික ලෝකය කැමැති නැහැ ‘සාහි අල් බුකාරි’ කෘතියේ තිබෙන කරුණු සෙසු ලෝකය දැනගන්නවට. ඔවුන් මේ විශාල ග්‍රන්ථ කාණ්ඩයේ තිබෙන කරුණු ඉතා කුඩා පොත් පිංචක් ලෙස පමණක් පරිවර්තනය කරලා තියෙන්නේ ඒ නිසයි. මේ පොත් පිංචේ ඉදිරිපත් කරලා තිබෙන්නේ උලමාවරුන්ට අවශ්‍ය දේ පමණයි.’’ ඉමාම් තව්හීඩී පවසයි.

කුරාණයේ තිබෙන ඉගැන්වීම් හිංසාවට හා ත්‍රස්තවාදයට පොලඹනවාද නැද්ද යන්න පිළිබඳ මේ තර්ක දෙකටම අදාළව කරුණු සොයාගත හැකි නමුත් ‘සාහි අල් බුකාරී’ ග්‍රන්ථය හිංසාවට කෙළින්ම අනුබල දෙන බවද ඔහු පවසයි. සවුදි අරාබියේ සිට බොස්නියාව දක්වාත්, අාසියාව දෙසින් ඉන්දුනීසියාව දක්වාත් කඩුවේ ආධාරයෙන් ඉස්ලාමය ව්‍යාප්ත වූයේ මේ ඉගැන්වීම්වලින් බවද ඔහු පෙන්වා දේ. එසේ වර්තමානයේදීත් ඉස්ලාම් අන්තවාදීන් පෝෂණය වන්නේ මේ කෘතිවලින් බවත්, පාරාදීසයේදී කන්‍යාවන් බර ගණනක් සමග යහන්ගත වීමේ ආසාව ඇතිකර අන්‍ය ආගමිකයන් හෙවත් මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ බෙලි කැපීමට පොලඹවන බවත් ඔහු චෝදනා කරයි. ඉස්ලාම් ආගමික විද්‍යාලවල කුරාණයට පසුව ඉතා වැදගත් ලෙස සලකා සාහි අල් බුකාරි ග්‍රන්ථය උගන්වන බවද ඔහු පවසයි.

ඉමාම් තව්හීඩි ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් සමාජයද දැඩි ලෙස විවේචනය කරන්නෙකි. ඔහු කියන්නේ ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් සමාජය ඉස්ලාම් ත්‍රස්තවාදීන් බිහි කරන තිඹිරිගෙයක් බවට පත්ව ඇති බවය. දැඩි මතධාරී අන්තවාදීන් අති විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන නිසා එරට ජාතික ආරක්ෂාවද කොයිවෙලේ හෝ පුපුරා යා හැකි අවදානමක පවතින බවටද ඔහු නිතර අනතුරු අඟවයි. ඔස්ට්‍රේලියාවේ තිබෙන නිදහස් සාමකාමී සමාජ පරිසරය මුස්ලිම්වරුන් අන්තවාදීන් බිහි කිරීම සඳහා ප්‍රයෝජනයට ගෙන ඇති බවටද ඔහු ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේද සිදුව ඇත්තේ මේ තත්ත්වයම බව තවත් අමුතුවෙන් පැහැදිලි කර ගැනීම අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ පැවති ආගමික සංහිඳියාව පරිසරය අවසානයේ මග පෙන්වා ඇත්තේ ඉස්ලාම් අන්තවාදීන් මහජනතාව පුපුරවා දමන තත්ත්වයකටය. දැනට මාධ්‍ය ඔස්සේ පැවසෙන අන්දමට එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරා ඇති අයෙකි. ඒ අනුව ඔහු අන්තවාදියෙක් වීම සඳහා ඔස්ට්‍රේලියාවේ ගත කළ සමයද ඉවහල් වූවාද යන්න අධ්‍යයනය කළ යුතුය. එය එසේ නම් ඉමාම් තව්හීඩී සිදුකරන ඔස්ට්‍රේලියානු මුස්ලිම් සමාජයේ සැඟවී තිබෙන අන්තවාදය පිළිබඳ ප්‍රකාශ නිවැරදි විය යුතුය. ඔස්ට්‍රේලියානු සමාජය ඉස්ලාම් අන්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉමාම් තව්හීඩි විවිධ යෝජනා ඉදිරිපත් කරයි. ඒ අතර ප්‍රමුඛ යෝජනාව වන්නේ ත්‍රස්තවාදයට අනුබල දෙන ‘සාහි අල් බුකාරි’ ඇතුළු තවත් ආගමික ග්‍රන්ථ ඔස්ට්‍රේලියාව තුළ තහනම් කළ යුතු බවයි. දැනට රට තුළ තිබෙන කෘතීන් සොයා ගිනි තබා එම කෘතීන් ඉගැන්වීම තහනම් කළ යුතු බවය. ඔස්ට්‍රේලියාවේ තිබෙන සියලුම ඉස්ලාම් මද්රාසා (ආගමික පාසල්) වසා දැමිය යුතු බවය. එමෙන්ම මැද පෙරදිග හෝ වෙනත් කලාපයක සිට ඔස්ට්‍රේලියාවට මුස්ලිම් සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්විය යුතු බවටද ඔහු යෝජනා කරයි.

පසුගිය වසර කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදයක් ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකදීම අපේ මුස්ලිම් සමාජය සිදු කළේ, මේ විපත අවස්ථාවේ කියූ ආකාරයටම සිය ධර්මය තුළ ත්‍රස්තවාදයට හිංසනයට ඉඩක් නැතැයි යන ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණි. එහෙත් දැන් එවුන්ගේ එම ප්‍රකාශවල වගකීම පුපුරා ගොසිනි. එබැවින් මේ අවස්ථාවේදී පාඩමක් ඉගෙනගෙන අපේ මුස්ලිම් ජනතාව සිය ආගමික ඉගැන්වීම් තුළ සඟවාගෙන ඇති හිංසනයට තුඩුදෙන ඉගැන්වීම් පිළිබඳ මුලින්ම විවෘත හා ප්‍රසිද්ධ ස්වයං විවේචනයක යෙදිය යුතුය. මා මෙහිදී ‘‘විවෘත හා ප්‍රසිද්ධ’ යන වචන දෙක යොදන්නේ මේ ක්‍රියාවලිය සෙසු ආගමිකයන්ටද වටහාගත හැකි ආකාරයට සිදු නොකරන්නේ නම් ප්‍රයෝජනයක් නොමැති නිසාය.

ඉමාම් මොහොමඩ් තව්හීඩී ලෝක වාසී මුස්ලිම්වරුන් අප්‍රියම කරන ඉස්ලාම් පූජකයකු බව මම මුලින් සඳහන් කළෙමි. ඔහු අයිසිස්, තලේබාන්, අල්කයිඩා හා සෙසු අන්තවාදී මිනීමරු සංවිධානවල ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නෙකි. ඔහුගේ පණ මෙතෙක් රැකී තිබෙන්නේ ඔහු ඔස්ට්‍රේලියාවේ ජීවත්වන නිසාය.. ඔස්ට්‍රේලියාවේ මුස්ලිම්වරු සිටින්නේ සුළු ප්‍රතිශතයකි. එහෙත් මුස්ලිම් වෙළෙඳසල් බහුලව ඇති වීදි ඔස්සේ ගමන් කරද්දී ඉමාම් තව්හීඩීට මුස්ලිම්වරුන්ගේ ආක්‍රෝෂ, නිග්‍රහවලට මුහුණ දීමට සිදුවී ඇත.

මෙතෙක් ලෝක ඉස්ලාම් ඉතිහාසය ගලා ආ ආකාරයට ඉදිරියේදී ද සිදු වෙන්නේ නම් කනගාටුවෙන් නමුත් කිව යුත්තේ ශ්‍රී ලංකා ජනතාවද ඉතා අවබෝධයෙන් අනාගතයට සූදානම් විය යුතු බවය. මා ඉකුත් මාර්තු 10 වැනිදා ‘‘සති අග අරුණ’’ පුවත්පතට ‘‘මුස්ලිම්වරුන්ගේ විශ්වාසය මුස්ලිම්වරුන්ටම විනාශය ගෙන එන්නේ මෙහෙමයි’’ යනුවෙන් ලිපියක් සකස් කළෙමි. එම ලිපියෙන් පාකිස්තානයේ අන්තවාදී මුස්ලිම් අධ්‍යාපනය හේතුවෙන් එරට ජනතාව මුහුණ දී ඇති අඳුරු කල දසාව පෙන්වා දුන්නෙමි. ඒ සමගම එම ඉරණම ලංකාවටද බලපෑමට ඉඩ ඇති බවට අනතුරු ඇඟෙව්වෙමි. එම ලිපිය පළ වී මාස එකහමාරක් ගත වීමටත් පෙර එය ශ්‍රී ලංකා පොළොවේ යථාර්ථයක් වී තිබේ. එබැවින් අවදානම් අනාගතය මඳක් හෝ අවම කර ගැනීමට එම අනතුර ගැන දැනුවත් වීම සඳහා ඉමාම් මොහොමඩ් තව්හීඩී ඉස්ලාම් ධර්මය පිළිබඳ සිදු කරන විග්‍රහයන්ට සවන් දීම සුදුසු බවට යෝජනා කරමි. ඔහුගේ විග්‍රහයන් අන්තර්ජාලයෙන් සොයාගත හැකිය.

අන්‍ය ආගමක් අදහන්නන්ගේ ආගමික විශ්වාස, ආගමික ඉගැන්වීම් හා ආගමික හැසිරීම පිළිබඳ ප්‍රශ්න කිරීම හා විවේචනය සදාචාරාත්මක නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඉකුත් පාස්කු ඉරිදා ඛේදවාචකය සමග මෙය අනිවාර්යයෙන් සිදු කළ යුතු කාර්යයක් බවට පත්ව තිබේ. එසේම ශ්‍රී ලංකා මුස්ලිම් සමාජයද තමන්ගේ ආගමික විශ්වාසය, ඉගැන්වීම් හා හැසිරීම පිළිබඳ තමන් අතර සංවාදයක් ඇතිකරගෙන සැබෑ ප්‍රශ්නය තිබෙන්නේ කොතැනකදැයි අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුව ඇත. ඉමාම් මොහොමඩ් තව්හී පූජකවරයාගේ විග්‍රහයක් ඇසුරින් ඒ ස්වයං විවේචනය සඳහා මගපෙන්වීමක් වේවා යන අදහසිනි.

නුවන් ගන්කන්ද – ඉරිදා අරුණ පුවත්පත

Related posts

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

නිදි යහන මත සැමියා ඝාතනය කළැයි බිරිය අත්අඩංගුවට

colombotoday

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

පුතාගේ මරණයේ සැකකරුට පියාගෙන් ඇසිඩ් පහරක්

Admin

ඇමෙරිකා දූත පිරිස හා ජනපති අතර හමුවක්

colombotoday