Colombo Today Local News

එ.ජා.ප.යේ කළු බැටලුවෝ දෙතුන්දෙනෙක් මාව දුරස් කරන්න හැදුවා – රවී

පසුගිය කාල සීමාවල තුළ ඔබ පක්‍ෂයෙන් දුරස් වී සිටි බව පිළිගන්නේ නැද්ද?

නැහැ. පක්‍ෂයෙන් මම දුරස් වුණේ නෑ. පක්‍ෂයේ ඉන්න කළු බැටලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් දුරස්ථ කරන්න හැදුවා.

ඒ “කළු බැටලුවෝ” කවුද කියලා කියන්න පුළුවන්ද?

අලි නොවන කට්ටිය. ඒ ගොල්ලන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කට්ටියක්.

ඔබ පසුගිය කාලය පුරාම වැඩිපුර කතා කළේ ආර්ථිකය ගැන. නමුත් අන්තිමට ලැබුණේ විදුලිබල අමාත්‍යාංශය. මොකද හිතෙන්නේ ඒ ගැන?

මට ඕනෑ එකක් ගන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒත් පක්‍ෂයක් තියෙනවා. නායකතුමා වෙනින් එකක් දීලා තියෙනවා. සමහර විට අමාරු බැරෑරුම් ඒවා දෙනවා. ඕවා තමයි අර කළු බැටලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඇති කරන ප්‍රශ්න. හැබැයි අපි ඕනෑ අභියෝගයක් භාර ගන්නවා.

ඔබ මොන කතන්දරය කිව්වත් ඇත්තටම බලාගෙන හිටියේ මුදල් අමාත්‍යාංශය දෙනතුරු නේද?

ඔව්.

නොලැබුණේ?

දන්න එක්කෙනෙක්ට දෙන්න මිසක් නොදන්න එක්කෙනෙක්ට දීලා හරියනවයැ. දැන් ඔබට දක්‍ෂතාව තියෙනවා මාධ්‍ය පැත්තෙන්. හැබැයි වෙනින් දෙයක් භාර දුන්නොත් ඒක නෙමේනේ සැබෑ එක. අන්න ඒ වගේ දෙයක් තමයි අපට වෙලා තියෙන්නේ. මං වරලත් ගණකාධිකාරිවරයෙක්. ඒ දක්‍ෂතාව මං පෙන්නලා තියෙනවා. නැති නම් ආසියාවේ හොඳම මුදල් ඇමැති වශයෙන් බි්‍රතාන්‍ය එහෙම තක්සේරු කරලා දෙන්නේ නෑනේ.

තවමත් කලකිරීමෙන් වගේ කතා කරන්නේ?

කලකිරීමක් නෑ. මට ඒ වගේ කිසිදෙයක් නැහැ. මට අවශ්‍ය වෙන්නේ අපේ ජනතාවට සේවය කරන්න. මොනවා වුණත් එක්සත් ජාතික පක්‍ෂය රැකගෙන ඉන්න කට්ටිය තමයි අපි. ඒක අපි කරගෙන යනවා. එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ප්‍රශ්න ඒ කෙනෙහිලිකම් දැකලා තියෙනවා. අන්තිමට ඒ කරපු කට්ටියටම අපි අවශ්‍ය වෙලා තියෙනවා.

ඔබට අනුව එක්සත් ජාතික පක්‍ෂයේ තීන්දු තීරණ ගන්නේ කළු බැටලුවෝ ටිකක්ද?

තීන්දු ගන්නවා එක්කෙනෙක් දෙන්නෙක්. නමුත් ඔය කළු බැටලුවෝ ටික ඒක වෙනස් කරන්න හදනවා.

ඔබ හිතන ආකාරයට ඔබට මුදල් අමාත්‍යාංශය නොලැබෙන්න තව කාරණා හේතු වුණාද? ඔබේ පසුගිය වකවානුවේ සිදු වූ දේවල් බලපෑවද?

මොනවද වුණේ? මගේ වැඩක්යැ. අනිත් අයගේ පව් අපි කර ගහන්නේ මොකටද?

මං ඔබට එක උදාහරණයක් කියන්නම් ඔබේ මුදල් අමාත්‍ය ධුරය ඔබට අහිමි වුණා යම් චෝදනාවක් මත?

අහිමි වුණේ නෑ. මං ඉවත් වුණා. අනිත් අය වගේ පෙරේතකමින් හිටියේ නැහැ. ආදර්ශවත් මට්ටමට එය පෙන්වලා දුන්නා. ඒක තමයි කළ යුත්තේ. ඊට වඩා ලොකු චෝදනා තියෙන කට්ටිය ඉන්නවා. නමුත් අපි පෙන්නුවා ඒක තමයි ආදර්ශවත් කියලා.

ඔබ වටෙන් නොයා ඇයි සෘජුවම මේ මේ පුද්ගලයා කියලා ඒ දෝෂාරෝපණය පවරන්නේ නැත්තේ? පක්‍ෂයේ අයම නිසා ඔබ හිරවීමකට ලක්වෙලාද?

පක්‍ෂයක් ඇතුළේ ඉන්නකොට විනයක් තියෙනවනේ. මාධ්‍ය ඇහුවා කියලා නිකම් බැන බැන යන චරිතයක් නෙමේ මට තියෙන්නේ. මගේ පක්‍ෂය, මගේ රට ආරක්‍ෂා කරන්න ඕනෑ. නමුත් ඒ අතරතුරේ ඔය පක්‍ෂය වැරැදි කරන කට්ටිය ගැන අපි කිසි ප්‍රශ්නයක් නැතිව හෙළිදරව් කරනවා.

යූ.එන්.පී.ය ආවොත් රට ගොඩ, ආර්ථිකය ගොඩ කියා ගොඩනඟා තිබූ මතය වසර 4ක් තුළ නිෂ්ඵල, එය යථාර්ථයක් නොවන මතයක් බවට පත් වුණා නේද?

මං දන්නේ නැහැ. අපි දුවනකොට ඒක හොඳට ගියා. ඊට පස්සේ මට වගකියන්න බෑ.

නමුත් ඔබත් මේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරන පුද්ගලයෙක්?

මම කියන්නේ මං මුදල් අමාත්‍යාංශය දරන කාලේ ආර්ථිකයේ වර්ධනයක් පෙනුණනේ. ප්‍රවර්ධනය මොකක්ද කියලා.

ඔබ හිටපු මුදල් අමාත්‍යවරයෙක් ලෙස දැන් එහි තිබෙන තත්ත්වය ගැන මොකක්ද තක්සේරුව?

ආණ්ඩු කරනකොට නොයෙක් නොයෙක් ප්‍රශ්න තිබෙනවා. මට සදාචාර අයිතියක් නැහැ වෙනින් අය ගැන කතාකරන්න.

විපක්‍ෂයේ තර්කය නම් ආර්ථික ඔස්තාර්ලා කියාගෙන ඇවිත් තිබුණු ආර්ථිකයත් බංකොළොත් කළ බවයි. එය ඔබ පිළිගන්නවාද?

ඒගොල්ලොනේ බංකොළොත් කළේ.

රට ණය කන්දක සිර වී ඇති බව සමස්ත ජනතාවම දන්නා කාරණයක්. නමුත් ඇමැතිතුමා ඔබලාගේ ආණ්ඩුවට වසර හතරක් ගත වී තිබෙනවා. මොනවද රට, ජනතාව වෙනුවෙන් කළේ කියලා අහන්න හැකියාවක් ඉතිරි වී තිබෙනවා නේද?

නැහැ. මෙහෙම හිතන්නකෝ. ආණ්ඩුව ලබාගත්තට පස්සේ ඒ මෙහොතේම මොකුත් පව් නැතිනම් ඇදගෙන යන්න පුළුවන්. නමුත් තමන්ගේ පිට උඩ තියෙන්නේ අනුන්ගේ බර නම් ඒවත් උඩින්නේ යන්න තියෙන්නේ. ඒක ලේසි ගමනක් නෙමේනේ. ඉතින් ඒවත් එක්කම තමයි නිවැරැදි කරගෙන යන්න තියෙන්නේ. ළමයෙක් කුසට ආවත් මාස 9ක් යනවා ඉපදෙන්න. ඊට පස්සේ අවුරුදු දෙක තුනක් යනවා ඇවිදින්න. කතා කරන්න. ඒ වගේ කාලාන්තරයක් දෙන්න තියෙනවා. ඉතින් ඔබතුමිය කියන්නේ පටන් ගත්ත දවසේ ඉඳලාම දුවන්න ඕනෑ කියලා.

ඔබ ඔය කියන කාලාන්තරය වසර හැත්තෑවක් තිස්සේ මේ දේශපාලනයේ අපි දකිනවා?

ඒක හරි. මේ රටේ තියෙන්නේ අපේ දේශපාලනඥයෝ එන ඡන්දේ ගැන හිතනවා මිසක් රටක් ගැන හිතන්නේ නැහැ. මේක තමයි කරුමය. අවුරුදු 71ක් සුද්දට බැනලා නිදහස ලබා ගත්තා. ගත්තට පස්සේ අපි දන්නේ නැහැ කොහොමද ඒක ආරක්‍ෂා කරගන්නේ කියලා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට හැකියාව නැති එක නෙමේ. ප්‍රශ්නය කරන්න ඕනෑකමක් නැති එකයි. එකමුතු භාවයක් නැහැ. බලාගෙන ඉන්නේ අනෙක් කෙනා පල්ලෙහාට ගේන එක මිසක් ඔක්කෝම එකට උඩට තල්ලු වෙන එක නෙමේ. මේක තමයි වෙනස.

ඔබ මුදල් ආමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව කියනවා. කෙසේ හෝ අමාත්‍ය ධුරය අහිමි වුණා. නමුත් බැඳුම්කර ගනුදෙනුවට අදාළ ප්‍රධාන චූදිතයන් තවමත් නිදැල්ලේ?

මගෙන් අහන්නේ ඇයි. මගෙන් අහන්න එපා. මගේ විෂයක් නෙමේනේ. ඕක තමයි තියෙන ප්‍රශ්නය. ඕගොල්ලොත් දන්නවනේ මොනවද වෙලා තියෙන්නේ කියලා. නැති දෙයක් ඇති කරලා තියෙද්දී මගෙන් අහලා හරියනවයැ.

නමුත් ඔබ එවකට හිටපු මුදල් ඇමැතිනේ?

අපේ සම්බන්ධකමක් නැහැනේ. මට වාණිජ බැංකු තිබ්බෙත් නැහැ. මහ බැංකුව තිබ්බෙත් නැහැ. ඉතින් මං කොහොමද මැදිහත් වෙන්නේ.

මහ බැංකුව තිබුණේ ඔබේ නායකයා යටතේ?

ඒත් ඔබ මගෙන්නේ ප්‍රශ්නය ඇහුවේ.

ඒක හරි. නමුත් මේ ගනුදෙනුවට සම්බන්ධතා ජාලයක් තියෙනවා. ඔබ එවක මුදල් ඇමැතිවරයා, මහ බැංකුව භාරව හිටියේ ඔබේ නායක රනිල් වික්‍රමසිංහ මහතා. ඒ ගනුදෙනුව ගැනයි මං අහන්නේ?

ඉතින් ඔච්චර චෝදනා කරනවා නම් ඇයි මේ ප්‍රශ්නය ඉවරයක් නොකරන්නේ?

ඔක්කෝම කෑගහනවා. ඕගොල්ලෝ උඩ පනිනවා. තියෙන ප්‍රශ්න උඩට ගේන්නේ නැහැ. අහක යන ඒවා තමයි උඩට ගන්නේ.

ඔබ ඔහොම කිව්වට මේ බැඳුම්කර ගනුදෙනුවෙන් රටේ ආ්ර්ථිකයට වැදුණේ ප්‍රබල පහරක්?

නෑ. අමූලික බොරුවක්. ඕක මීට පෙර හිටපු මහ බැංකුවේ නිලධාරීන් දෙන්නෙක්, තුන්දෙනෙක් අතින් තමයි ඔය ප්‍රශ්නය ඇති කරලා තියෙන්නේ. ඒ කාලය තුළ වුණාම තමයි ඔබ කියන ප්‍රශ්නය තියෙන්නේ. ඒක මේ පැත්තෙන් වෙනින් විකෘති කරලා අද වෙනින් දේවල් පෙන්නනවා. බලන්න අපේ කාලේ බැඳුම්කරයක් නිකුත් කළා. 4.4-5.5%ක් අතර අද 7.8%යි. අවුරුදු 10කට මොකක්ද මේ තියෙන්නේ. අද වෙනිසියුලාවේ බලන්න. අද තායිලන්තයේ 2.35%යි. මැලේසියාවේ 3.2% බොස්ටිවානාවේ 4.9යි. ගී්‍රසියේ 3.87%යි. මෙන්න මේකයි කියන්නේ හැමදෙනාම දේශපාලනඥයෝ නොමඟ යවන ක්‍රියාවක් තමයි මහ බැංකුව කරන්නේ. මම මහ බැංකුව ඉලක්ක කරලා තියෙන්නේ. මේ රටේ මුදල් අමාත්‍යාංශයටත් ප්‍රශ්න කරගෙන යන ආයතනයක් තමයි මහ බැංකුව. එහි ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් වෙනින් දේවල් කර කර අන්තිමට අහිංසක ජනතාවට ප්‍රශ්න කර කර ඉන්නවා.

දැන් ඔක්තෝබර් (26) කාලේ මුළු ආර්ථිකයේම ප්‍රශ්නයක්. අස්ථාවර භාවයක් තිබුණනේ. හැබැයි රුපියල අධි ප්‍රමාණය වුණේ ඒ කාලේ. මේවා කෘත්‍රිමව කරන බව පේනවා. මෙතෙක් දුර උද්ධමනය 5.6%යි. මේ ගොල්ලෝ මේ හිතන්නේ කොළේ වහලා ගහන්න පුළුවන් කියලා.

මට තියෙන්නේ අහිංසක ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දී 15-20% ණය ගන්නකොට මොන අපරාධයක්ද?

මම ඔබෙන් අහන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට රතු නිවේදන පවා යොමු කර තිබියදීත් ගෙන්වන්නේ නැහැ.

එවකට විෂය භාර ඇමැති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහටත් චෝදනාව එල්ල වී තිබෙනවා. පක්‍ෂයක් ලෙසින් එ.ජා.ප.යට මෙයින් ගැලවිය හැකිද?

ඔය කියන ප්‍රශ්නය කියනවා නම් බලන්න අද පොලිසිය ජනාධිපති ළඟ ප්‍රශ්න ගණනාවක් කියනවා. මං හිතන්නේ අනවශ්‍ය ලෙස මේවා පුම්බලා.

ප්‍රශ්න තියෙනවා. හැබැයි කියන ප්‍රශ්න නෙමේ කියන්නේ. ඕක තමයි ප්‍රශ්නය. දැන් ඔය බන්දුල ගුණවර්ධනලා කෑ ගහනවා උදේ ඉඳලා රෑ වෙනකම්.

එයාටම එයා අස්සන් කරපු මිලියන 20ක් හොයාගන්න බැරි මනුස්සයෙක් ආර්ථිකය ගැන කතා කරනවා. විළිලැජ්ජාවක් නැද්ද?

රු. 2,500කින් කවන්න හදනවා. මෙන්න මේ වගේ කට්ටිය තමයි අපේ චරිත ඝාතනය කරන්නේ. දැක්කනේ, උසාවියෙන්නේ උත්තර ලැබුණේ. මේ වගේ කට්ටිය තමයි බිලියන ගණන් කිව්වේ. කොහෙද බිලියන ගණන් දාලා තියෙන්නේ මිලියන ගණන් මේවා බොරුවට ප්‍රශ්න ඇති කළා. අවිශ්වාසයක් ඇති කරගෙන කුහකභාවය ඇති කරන්න හදනවා. ඔච්චර දෙයක් කියනවා නම් උසාවිය මෙච්චර කල් හිටියනේ. මොකක්ද එළියට ඇවිත් තිබෙන්නේ? දැන් ඕගොල්ලො උසාවි විශ්වාස කරනවනේ. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැනේ.

ඔබේ ආණ්ඩුව යටතේත් අධිකරණය විශ්වාස කරන්න බැහැ කියලද ඔබ මේ කියන්නේ?

මං කියන්නේ අධිකරණය විශ්වාස කරන නිසා අපි ඇඟිලි ගහන්නේ නැහැ කියලා. ඉතින් කොහෙද මේක තියෙන්නේ. ඔච්චර බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි මේවා උඩට නොගන්නේ?

හරි. මේ සරල කාරණයට උත්තරයක් දෙන්න. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නන්නේ නැතිව කවුද හිරකරලා තිබෙන්නේ?

ඉතින් මගෙන් අහන්න පුළුවන්ද? මං දන්නවද?

ඔබේ අදහස?

එයාට මොනවද කරන්න තියෙන්නේ කියලා නිසි බලධාරීන්ගෙන් අහන්න ඕනෑ. ඒ වගේම උදයංග වීරතුංග මේ ඔක්කොම එකයි. ඕක තමයි මං කිව්වේ ‘මව්බිමේ’ ප්‍රශ්න. එකක් විතරක් අහගෙන යනවා. අනෙක් ඒවා ගැන අහන්නෙ නෑ. මේ ආර්ථිකය කඩා වට්ටලා කඩන් වැටුණට පස්සේ සුද්ද කරන එකාට ගහනවා. වැඩකරන එකාට තමයි ගහන්නේ. ඵල තියෙන රුකට තමයි ගහන්නේ. දැන් නිහඬ වෙන්න බැහැනේ, ඔබට මං ඔහොම උත්තර දෙනකොට.

නිහඬ වෙන්න ඔබටත් බැහැ. මටත් බැහැ?

නැහැ. ඔබතුමිය කිව්වේ මං නිහඬයි කියලනේ.

මෙතැන ප්‍රශ්නයක් තිබෙන බව ඔබ විශ්වාස කරනවද?

නැහැ.

පිළිගන්නෙ නැහැ එතකොට?

නැහැ. බොරුවට ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. වැඩියෙන්ම කරලා තියෙන්නේ මාධ්‍යයෙන්.

එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න ටික රාජ්‍ය නිලධාරීන්ගේ පිට පටවලා අත පිහදාගන්න හදනවා. උදාහරණයක් විදියට අර්ජුන් ඇලෝසියස්ලා ඉදිරියට දාලා මේකට එජාපය සම්බන්ධ නැහැ සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් කියලා ප්‍රශ්නෙන් ගැලවෙනවා. ඒක අසාධාරණයි නේද?

ඇයි මගෙන්ම අහන්නේ. අහන්න අනෙක් කට්ටියගෙන්.

ඇහුවා. ඔබෙනුත් ඇසිය යුතුයි?

50%ක් ප්‍රශ්න අහලා තියෙන්නෙ එක ප්‍රශ්නයක් ගැන. ඕක තමයි ඔබලාගේ ප්‍රශ්නය.

ඒ වගේම මහ බැංකුව නැවත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් වසර පහකට ඩොලර් බිලියනයකුත් වසර 10කට ඩොලර් බිලියන 1.4කුත් නිකුත් කරන්න යනවා. මෙතෙක් කලාපීය රටවල් නොගත් අධික පොලියට (7.85%) මෙම ණය ගන්න කටයුතු කරන්නේ.

මොකක්ද ඒ ගැන අදහස?

අපි ඒක පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

මේක තවත් දූෂිත බැඳුම්කර ගනුදෙනුවක්ද?

නෑ. ඒක දූෂිත කියලා නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නය. ඉතින් ඔහොම නම් ඒ කාලේ 14%ට දුන්නම. ඒ ගැන මොකුත් ප්‍රශ්න අහන්නෙ නැහැ. ඔබතුමියලා ඒ ආණ්ඩුවට උදවු කරන නිසා එහෙම ප්‍රශ්න නැහැ. ඔය වගේ තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ?

ඇයි ඔබ මට එවැනි චෝදනාවක් කරන්නේ?

ඉතින් ඔබ අහනවා පොලිය ගැන. 14%ක් පොලිය අනුපාතයට ගත්තොත් ප්‍රශ්නයක් නැහැනේ එතකොට. ඉතින් මෙතැන තියෙන්නේ ඒ වගේ අඩු පොලියට ගන්න හැකියාවක් තියෙද්දී ඇයි ඊට වැඩියෙන් ගන්නේ කියන ප්‍රශ්නය. ඒකට උත්තර දෙන්නෙ මහ බැංකුවෙ නිලධාරීන්. තව කවුද? ඒකයි මං පෙන්නන්න හදන්නේ.

ඔබ කැබිනට් අමාත්‍යවරයෙක්. ආර්ථිකය සම්බන්ධ හොඳ දැනුමක් ඇති පුද්ගලයෙක්. ඉතින් ඔබෙන් මෙවැනි ප්‍රශ්න ඇසිය යුතුයි කියලා මං විශ්වාස කරනවා?

අනිවාර්යයෙන්.

ඒ නිසාම ඔබ ආවේගශීලී නොවී පිළිතුරු දුන්නොත් හොඳයි?

ආවේගශීලී නෙමේනේ මං. ඔබතුමිය එම ප්‍රශ්නය විකෘති කර එක තැනම කැරකෙනවා.

හරි. අපි පසුගිය බැඳුම්කර ගනුදෙනුවේ මහේන්ද්‍රන්, ඇලෝසියස් දැනට පැත්තකින් තියමු. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න?

ඇයි. ඒ නම් ගේන්නේ මොකටද?

මං එකම ප්‍රශ්නය මතු කළේ නැහැ. ඇමැතිතුමා ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් ගන්නා අලුත් ණය ගැන මං ඔබෙන් ප්‍රශ්න කළේ මේ කාරණා දෙකක්?

නැහැ. මං කිව්වේ පත්තරේ ප්‍රශ්නය තමයි ඕක කියලා.

Related posts

හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‘රා’ වලට ප්‍රමිතියක්

colombotoday

නිදහසේ අවුරුදු කන්න නිදහස් රටක් තනා දී පෝරකය අභියස අද ඔහු සිරබත් කන්නේය !

colombotoday

පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ පාර්ලිමේන්තුවට

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday