ArticlesColombo Today Local News

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

එදා ගිනි මද්දහනේ, ගමේ සතිපොළදී ඇන්ජලීනාට සිය සහෝදරයාව මුණ ගැසුණේය. ඉතින්, සහෝදරයකු සහ සහෝදරියක හමුවීම ඒතරම් පුදුමයට කාරණාවක්ද? නමුත් සතිපොළේ උන් හැමෝම වාගේ මේ ජෝඩුව වට කරගත්තේය. වෙ‍නෙකක් තබා ඇන්ජලීනාද හිටියේ පුදුමයෙන් තක්කු මුක්කුවී ගොසිනි.ඇන්ජලීනාට සිය සහෝදරයා අවසන් වරට හමුවී තිබුණේ මෙයට වසර 18කට පෙරදීය. හරියටම 1962 මැයි දෙවැනිදා උදේ පාන්දර 1.15ට පමණය. එදින ඔහු උන්නේ සති ගාණක් දැඩි වේදනාවෙන් පෙළුණ අභිරහස් රෝගයේ අවසානයට ළඟාවෙමිනි. ක්ලෙයාර් වියස් නාර්සිස්සේ නමැති මේ සහෝදරයා එදා මිය ගියේය. ඊට පසුදා ඔවුන් මේ සහෝදරයාගේ සිරුර ඉස්ටේරේ ටවුමේ පොදු සුසාන භූමියේ වළ දැම්මා ඇයට හොදටම මතකය.

නමුත් දැන් මෙන්න ඔහු! නැවතත් ඇගේ ඉදිරිපිට පණ පිටින්ම.ඔහුගේ දෙනෙත් තිබිය යුතු තැන කෙවෙණි තුළ දෑස් තිබුණේ නැත. ඔහු ගමන් කළේ හීනෙන් ඇවිදින්නාක්මෙන් උඩින් උඩින් බරසාර අඩිය තබමිනි. ඒ මදිවාටදෝ තමන් යක්දෙස්සකු විසින් වළෙන් නැගිට්ටවා බලෙන් උක්වතුයායක වහල් සේවයේ යොදවා ඇති බවද ඔහු හීනෙන් දොඩවන්නාක් මෙන් දොඩවමින් කීවේය.ඔහු මේ කියන කතාවට අනුව නම් දැන් ඔහු ඇවිදින මළ මිනියකි. නැතිනම් පිල්ලියකි. ඇන්ජලිනා, ජීවත්වූ හයිටියේ ඇත්තට මෙබඳු කතා හොඳට අසා හුරු පුරුදුය. නමුත් ඇවිදින මළ මිනියක්, එහෙමත් නැත්නම් පිල්ලියක්, නැතිනම් ඔවුන්ගේ රටේ කියනා පරිදි සොම්බි, වරයෙක් මුහුණට මුණ ගැසීම සුලබ නැත. මේ නිසා හැමෝම නාර්සිසේගේ ආගමනයෙන් කැලඹීටම පත්ව උන්හ. ඔහුගේ මේ ආගමනය පිළිබඳ කතාව හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය කරා ද පැතිර ගියේය.

මහාචාර්ය වේඩ් ඩේවිස් මේ ඇවිදින මළ මිනිය පිටුපස ලුහුබැඳ ගියේය. ඔහුට අන්තිමේදී හමුවූ‍ෙය් අමුතුම මිනිසෙකි. ඔහු ෆ්‍රැන්කොයිස් මැක්ස් ගෙස්නර් බියෝවර් නැමැත්තෙකි. පසුකාලීනව හයිටියේ අඳුරු මායා කර්ම සහ වෙදැදුරුකම් පිළිබඳ රජු බවට පත්වූයේ ඔහුය. හයිටියටම අනන්‍යවූ සංස්කෘතික පසුබිම ගොඩනැඟීමේ ලා ඔහු ගත් වෙහෙස හේතුවෙන් ම මැක්ස් හයිටිගේ අඳුරු මායාකර්ම හෙවත් වූඩූ රජා එසේ නැත්නම් ගෝඩ්ෆාදර්, නැතිනම් වූඩූ පාප්, ලෙසද හැඳින්වෙන්නට ගනියි.16 වැනි සියවසේ හයිටිය වෙත වහලුන් ලෙස ගෙන ආ බටහිර අප්‍රිකානුවන් අතරින් පැන නැඟුණු මේ ගුප්ත විද්‍යාව මුල්කරගත් සංස්කෘතිය මළ මිනි නැඟිට්ටුවීම් මෙන්ම ජීවත්වන අය අර්ධ මළ මිනිසුන් බවට පත්කර තමන්ගේ අණසක අනුව ක්‍රියාකරන්නන් බවට පත්කිරීමේ හැකියාව සහිත විස්මිත හාස්කම්වලින් සපිරුණකි. ඇවිදින මළ මිනී හෙවත් සොම්බි ලෙස හැඳින්වෙන මේ අවසඟ මිනිසුන් බිහිකරනා රහස මැක්ස්’ මහාචාර්ය වේඩ් ඩේවිස් වෙත හෙළිදරව් කළේ මායා කර්ම ඇදුරු මාර්සල් පියේරේ ය. ඒ අපූරු මායාකර්ම පිළිබඳ ඩේවිස් ලියූ ග්‍රන්ථය වන Serpent and th Rainbow බටහිර ලෝකය කැඩවාලූ, හොලිවුඩ් චිත්‍රපට ධාරාවේ එතෙක් යටගොස් පැවැති සංත්‍රාසය භීතිය කැටිකොටගත් ‘සොම්බිවරුන් පිළිබඳ කතා ඇතුළත් වෙනම සිනමා ෂානරයක් ද ගොඩ නැඟුණි.

දේශීය වූඩූ ශිල්පය සංචාරක ආකර්ෂණයක් බවට පත්කරන්නේ ඔහුය. 1975 දී බිල් හා හිලරි ක්ලින්ටන් යුවළ මධු සමය ගත කරන්නට ආසමයේ ඔහු වූඩූ ශාන්ති කර්මයක හාස්කම ඒ අයට පෙන්වා දුන්නේය. කතාවට කියන්නේ මැකස් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව දෙදෙනාම බන්ධනය කර ගත්බවය. ක්ලින්ටන් සිය My Life නමැති මතක එකතුවේ හයිටියේ මැක්ස්’ සමඟ ලද වූඩූ අත්දැකීම ගැන කියයි.ඉන්දිරා ගාන්ධි මැතිනිය උදෙසා ද මැක්ස් සත්ත්ව බිලි පූජා ශාන්ති කර්මයක් පවත්වා තිබේ.‘හයිටියේ මෙම ගුප්ත විද්‍යාධරයා හෙවත් මායා කර්ම රජු මහාචාර්ය ඩේවිස් හට හඳුන්වාදුන් මාර්සෙල් පියේ‍ෙර් මිනිසුන් අර්ධ මළමිනී බවට පත්කරනා මෙන්ම මළමිනි ඇවිද්දවන රහස ඔහුට පෙන්වා දුන්නේය. ඒ සඳහා උපයෝගි කරගන්නා වූඩූ පවුඩර් නමැති සංයෝගයේ වට්ටෝරුව ඔහු මහාචාර්යවරයාට ලබාදී තිබුණි.

මිය ගිය ළදරුවකුගේ කුඩු කරන ලද හිස්කබල් කොටස්, අලුත මරණ ලද නිල් කටුස්සෙකු, වේලන ලද මුහුදු කූඩැල්ලකුගෙන් වෙලන ලද මියගිය ‍ෙගම්බෙක්, මෙන්ම කහඹිලියා මෑ වැල් මේ වට්ටෝරුවට අයත්ය. එහි ඇති වඩාත්ම හානිදායි ද්‍රව්‍ය වන්නේ පිම්බෙන මාළුන්ගේ අක්මාවෙන් සහ ප්‍රජනක පද්ධතියෙන් ලබා ගන්නා හලාහල විෂකි. එය සයනයිඩ් මෙන් දහස්ගුණයක් විෂවූවකි.මේ කියන විෂ වට්ටෝරුවෙන් සෑදූ වූඩු පවුඩර්’ කොටසක් මහාචාර්ය ‍ඩේවිස් කොලොම් බියා, ප්‍රෙස්බිටීරින් කොලිජියේ මහාචාර්ය ලියොන් රොසින් වෙත පර්යේෂණ සඳහා යවා තිබේ. එයින් ලද ප්‍රතිඵලය අතිශය විශ්මය ජනක විය.

පර්යේෂණාගාර මීයන්ගේ ඇගේ රෝම ඉවත්කර මේ පවුඩරය ආලේප කළ විට ඌහු අන්දමන්දව විස්මෘති තත්ත්වයට පත්ව තිබේ. ඉන්පසු අධික ලෙස උත්තේජනය කළ පසුව පමණක් උන් වැනි වැනි රූකඩමෙන් ක්‍රියාකරන්නට ගත්හ. පැය හයකට පසුව ඔවුන් කිසිදු සෙලවීමක් නොදැක්වූයේ මළාක් බඳුම විය. නමුත් ඔවුන්ගේ හද ගැස්ම ඉතා සියුම් ලෙස පැවැති අතර මොළයේ තරංග ක්‍රියාකාරිත්වයද පවතින බව උපකරණ ආධාරයෙන් සොයාගන්නට හැකිවිය.මේ පර්යේෂණ ප්‍රතිඵල ගැන විස්තර කරන මහාචර්ය ඩේවිස් වූඩු ගුප්ත ශාස්ත්‍රය සහ ඇවිදින මළ මිනි යනු තවදුරටත් මිත්‍යාවක් නොවන බව පෙන්වා දෙයි. සමාජයේ කරදරකාරයන් අපරාධකාරයන් සහ නාහෙට නාහන උදවිය වූඩූ මායාකරුවන් මේ බඳු ඖෂධ සංයෝග යොදාගනිමින් තවදුරටත් සමාජයට වින නොකරන ඒ වෙනුවට ලබාදෙන අණ අනුව අත්‍යවශ්‍ය සේවා සපයා දෙන පණ ඇති රූකඩ හෙවත් ඇවිදින මළමිනි බවට පත්කර ගන්නට ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

නමුත් වූඩූ ගුප්ත ශාස්ත්‍රයේ හාස්කම් මඟින් මළමිනි පවා ඇවිද්දවන්නට හැකියාව තිබූ මැක්ස් බියෝවර් ද සියල්ල අනියත යන දහමට හිස නමා පසුගිය දිනක මිය ගියේය. ඒ අභිරහස් රෝගයකිනි. ඔහු කැඳවා තිබූ රාජකාරිය ඔහු ඉතා විශිෂ්ට අන්දමින් ඉටුකර තිබූ බව හයිටියේ ජනාධිපතිවරයා කියා තිබුණි. ඔහු නොසිටින්නට මේ වූඩූ ගුප්ත ශාස්ත්‍රයද මියගිය ශාස්ත්‍රයක් වන්නට තිබුණි. දැන් එයට පණ ලබාදී ඔහු මිය ගොසිනි.

ඩොන් ශ්‍යාම්

Related posts

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන තීරණයට යුරෝපා සංගමයෙන් විරෝධය…

colombotoday

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

colombotoday

නකල්ස් අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. කබීර් හෂීම්-කිරිඇල්ල අක්කර විසිඑක්දාහක් නෑ හිතවතුන්ට දෙයි…

colombotoday