Colombo Today Local News

මෛත්‍රී දිවුරුම්දුන් නැකත හැදූ, රාජිතගේ උපදේශක ජෝතිශ්‍යවේදියා දුම්රියට පැන දිවිනසාගනී

ජ්‍යොතිෂය සහ දේශපාලනය අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධතාවයකි. නිදහසින් පසුව මේ රට පාලනය කළ බොහෝමයක් නායකයන්ට ජ්‍යොතිෂ උපදේශකවරු හා දෛවඥයෝ සිටියහ. පසුගිය ආණ්ඩුව සමයේදී රාජකීය දෛවඥයන් පිළිබඳව අප අසා ඇත්තෙමු. ඒ අතරේ වත්මන් යහපාලන රජය බිහිවීමට වසරකට දෙකකට පෙර සිටම රාජපක්ෂ ආණ්ඩුව පෙරළෙන බව නොබියව කී එක දෛවඥයෙක් සිටියේය. ඔහු අප කිසිවෙක් නොසිතුව ලෙස පසුගිය දා දිවියෙන් සමුගත්තේය. ඒ ප්‍රවීණ දෛවඥ නාත්තණ්ඩියේ පී. ඩී. පෙරේරා මහතාය.

දකුණු පළාතේ මාතර තිහගොඩ සිට නාත්තණ්ඩිය ප්‍රදේශයට පැමිණ පදිංචි වී සිටි ඒ මහතා මුලින් සාමාන්‍ය දෛවඥ කටයුතු සිදුකර තිබිණි. පසුව ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත් දෙක තුනකම දේශපාලන අනාවැකි ලියා පළ කරන්නෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත් විය. නුගේගොඩ නගරය ආසන්නයේ ජ්‍යොතිෂ පිළිබඳ කටයුතු කරන කාර්යාලයක් පවත්වාගෙන ගිය ඔහු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අමාත්‍යංශයේ උපදේශකවරයෙක් වශයෙන්ද කටයුතු කළේය. ඔහු එවැනි ඉහළ තනතුරු රැසක් හොබවා ඇත්තෙකි.

වර්තමාන යහපාලන ආණ්ඩුව ආරම්භක අවස්ථාවේදී රජයේ පාර්ශවයෙන් තමන්ගේ නැකැත් සේවා ලබාගත් බව අප දේශය පුවත්පතට ඔහු විසින්ම පවසා තිබූ කරුණකි. එවැනි ජ්‍යොෂ්ඨ ප්‍රවීණ දෛවඥයකු දුම්රියට පැන දිවි නසා ගැනීම අදහන්නට බැරි තරම් කතාවකි.

ඔහුගේ සමීපතම හිතවතකු සමඟ කී කතාවක් පිළිබඳ තොරතුරක් අපට අසන්නට ලැබිණ. එහිදී තම හිතවතාට හෙතෙම කියා තිබුණේ තමාට මාරක අනතුරක් ඇති බවත් එබැවින් 2018 ජුනි 03 වැනිදා පසු කරන්නට නොහැකි වනු ඇති බවත්ය. මේ අනුව පී. ඩී. පෙරේරා තමුන් මිය යන දිනය ඇතැම්විට කලින්ම දැන සිටින්නට ඇත. එහෙත් දවසේ වැඩි කාලයක් ඉර හඳ තාරකා සහ නව ග්‍රහයන් සමඟ සබඳතා පැවැත්වූ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පී. ඩී. පෙරේරා මෙසේ දිවියෙන් සමුගැනීම දෛවයේ සරදමක් වැනිය.

ජ්‍යොතිෂඥ පෙරේරා මහතා ජීවත්ව සිටි අවසන් දිනයේ සවස් යාමය මීගමුව ප්‍රදේශයේ රැඳී සිට ඇත. අනතුරුව ඔහු කට්ටුව දුම්රිය ස්ථානය දෙසට ගොස් ඇති අතර දුම්රියපොළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ වාඩි ගෙන සිටියදී පස්වරු 6.05ට පමණ හලාවත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් පැමිණ ඇත. එම දුම්රියට පැනීමෙන් ඔහු ජීවිතය අහිමි කරගත් බවට තොරතුරු වාර්තා වේ. අනතුරෙන් පසුව මීගමුව දිසා රෝහලේදී මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර මොහු දිවි හානි කරගෙන ඇත්තේ පසුගිය 28 වැනිදා බවට මීගමුව පොලීසිය සනාථ කළේය.

මාතර තිහගොඩදී උපන් පනාගොඩගේ දයානන්ද පෙරේරා මියයන විට 72 වැනි වියේ පසු විය. ඔහු නාත්තණ්ඩිය ප්‍රදේශයට පැමිණ ජීවත්ව සිටීම හේතුවෙන් ජ්‍යොතිෂ කටයුතු ඔස්සේ ප්‍රසිද්ධ වී සිටියේ නාත්තණ්ඩියේ පී. ඩී. පෙරේරා වශයෙනි. අංක 123, ධම්මිස්සර මාවත, විදුහල් මාවත, නාත්තණ්ඩිය ලිපිනයේ පදිංචිව සිටි ඔහුගේ දිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.

මරණ පරීක්ෂණ අවස්ථාවේදී ඔහුගේ බිරිය විසින් ලබා දී ඇති කට උත්තරය අනුව ඔහු අධික ණය බරින් පෙළී ඇති බවත් එම ආර්ථික ගැටලු උත්සන්න වීම නිසා වූ කලකිරීමෙන් දුම්රියට පැන සියදිවි නසාගන්නට ඇතැයි සැකකරන බවත් හෙළි වී තිබේ. මේ අතර ඔහුගේ ඥාතීන් පවසා ඇත්තේ ණයට මුදල් ලබාදුන් පුද්ගලයන් යළිත් ඔහුගෙන් මුදල් ඉල්ලා ඇවිටිලි කර ඇති බවයි.

ඉකුත් සමයේ දේශපාලන පෙරළි පිළිබඳව ඇතැම් ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදීන් පළ කළ අසාර්ථක අනාවැකි හේතුවෙන් එම වෘත්තිය පිරිහීමට ලක්ව තිබුණු අතර එය එම වෘත්තියේ නිරත වූවන්ට ආර්ථික වශයෙන් හානිදායක තත්ත්වයක් විය. මෙසේ ආර්ථික වශයෙන් බලපෑමකට ලක් වූ පිරිස් හා සංගම් රැස්කරගෙන පී. ඩී. පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡා පවත්වා වෘත්තීය ගැටලු විසඳීමට උත්සාහ කළේය.

පී. ඩී. පෙරේරා මහතා පළමු වතාවට ප්‍රසිද්ධ රාජ්‍ය නායකත්වයක් සඳහා වන අනාවැකියක් පවසා තිබුණේ 1970 වසරේදීය. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙතය. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ ටී. බී. ඉලංගරත්න මහතා තමා මැතිනිය හමුවට ගෙන ගිය බව ඔහු පවසා තිබුණි. එවක පටන් පී. ඩී. පෙරේරා හඳහන් බැලීමට අමතරව බුලත් උපයෝගී කොටගෙන නිමිති බැලීමේ ද නිරතව ඇත. ඊට සිරිමාවෝ මැතිනිය කැමැත්තක් දැක්වූ බවත් ඒ ඔස්සේ ඇයට අනාවැකියක් කී පී. ඩී. පෙරේරා කියා ඇත්තේ 1970 මැතිවරණයෙන් ඇය විශිෂ්ට ජයක් ලබන බවය.

එහිදී මැතිනිය පවසා ඇත්තේ එම ජයග්‍රහණය ලබන බව ස්ථිරනම් ඊට සුදුසු පෙරනිමිත්තක් කියන ලෙසය. එහිදී පී. ඩී. කියා ඇත්තේ මැතිවරණ නාම යෝජනා බාරගන්නා දිනයේම එක් ආසනයක් නිතරගයෙන් හිමිවන බවකි. ඒ බව සනාථ කරමින් නාම යෝජනා බාරගත් දිනයේ වැලිමඩ ආසනය නිතරගයෙන් හිමි වූයේ ශ්‍රී.ල.නි.පයටය. එවකට එ.ජා.ප. අපේක්ෂකයා වූ පර්සි සමරවීර මහතාට නාම යෝජනාවේ අත්සන තැබීමට අතපසු වීම නිසා එම නාම යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් එය සිදුවිය. එබැවින් ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා නිතරගයෙන් තේරී පත් වූ බව පී. ඩී පෙරේරා පවසා තිබුණි.

ඉන් පසුව දිගින් දිගටම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා එක්ව ජ්‍යොතිෂ කටයුතු සිදු කළ පී. ඩී. පෙරේරා මහතා 1994 ආණ්ඩු පෙරළිය සිදුවීම, 2001 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්වීම මෙන්ම 2015 ජනවාරි 8 වැනිදා නිසැකවම පැවති ආණ්ඩුව මාරු වී අලුත් ආණ්ඩුවක් පත්වන බවට ප්‍රසිද්ධ අනාවැකි පළ කළේය. එමෙන්ම පැවති ආණ්ඩුවේ විනාශය 2012 නොවැම්බර් 14 දින ආරම්භ වු බවද ඔහු කියා තිබිණ. මේ අතර ඔහු කියා තිබුණේ පැවති ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ගිලිහී ගොස් නව ආණ්ඩුවක් පිහිටුවීම ඒකාන්ත බවය. එසේම කිසිවකුත් නොසිතන විශේෂිත පුද්ගලයෙක් ජනපති අපේක්ෂකත්වයට පත්වන බවද පවසා තිබිණ. එය සනාථ කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වීම සිදුවිය.

මේ අයුරින් 2015 වර්ෂයේ ඔහු කී අනාවැකියක් වන්නේ සරත් ෆොන්සේකා මහතාට අහිමි වූ සියල්ල යළි හිමිවන බවය. එය කී අයුරින්ම  සිදුව තිබූ හෙයින් වරෙක පී. ඩී. පෙරේරා කියා තිබුණේ තමා කී පමණටත් බවා ෆොන්සේකා මහතාට අවශ්‍ය දේ ලැබුණු බවකි. මේ අතර ඔහු 2012 දී කී තවත් අනාවැකියක් වූ ගස් බැන්ද අයටම ලිහන්න වෙනවා  යැයි කීම ප්‍රසිද්ධය. ජ්‍යොතිෂය අනුව රටේ යහපතට ඇත්ත කියන්නට ඉදිරිපත් වූ හෙතෙම මෙසේ ද කියා තිබුණි. 2014 – 2017 අතර වර්ෂ කාලයේ රටේ ග්‍රහචාරය අනුව සිදුවන ශනි මාරුවට මහින්ද රාජපක්ෂ ජනපතිකමෙන් විසි වීමත් ඒ හරහා රටේ නායකත්වයේ වෙනසක් සිදුවීම අනිවාර්ය බවත් පවසා තිබුණි. ඒ අතරම ඔහු කියා තිබුණේ එ.ජා.පය සමඟ හවුලක් විසින් රට පාලනය  කරන බවය. සම්මුති ආණ්ඩුව එහි ඵලයකි.

මහින්ද රාජපක්ෂ මහතා යළිත් අගමැති නොවන බවද ඔහු එක හෙළාම පවසා තිබුණි. 2015 ජනාධිපතිවරණය පැවති දිනයේ මහින්ද රාජපක්ෂ මහතාට සුබදායක ලෙස පැවතී ඇත්තේ විනාඩි 4ක් පමණක් බවත් ඉතිරි කාලය ඔහුට මාරක අපල තත්ත්වයක් බවත් පවසා තිබුණි. එබැවින් ඔහුට අසුබ කාලයේ මැතිවරණය පැවැත්වීම තුළ ජනතා මනාපය ගිලිහෙන බව නිසැක යැයි ඔහු ප්‍රකාශ කළේය. මෙමඟින් පවතින විපයට වාසි සහගත තත්ත්වයක් උදාවන බව ද ඔහු කීහ.

ඉන් අනතුරුව පැවති මහ මැතිවරචණයේදී ප්‍රබලයන් පිරිසක් පරදින බවත් තරුණ නායකයන් ඉදිරියට එන බවත් ප්‍රකාශ කළේය. එසේම මහජනතාවට උගත්, බුද්ධිමත් සදාචාර සම්පන්න නායකයන් සොයා කතිරය ගසන බවත් ජනතා විමුක්ති පෙරමුණ නව පිබිදීමක් ලබන බවත් කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් දිවුරුම් දීමේ නැකත නිර්මාණය කොට තිබුණේ පී. ඩී. පෙරේරා මහතා බව කියැවිණි. එම ජනපතිවරයා දීර්ඝ ගමනක නිරත වන බව පවසා තිබෙන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග සම්මත නොවන බවද පවසා තිබිණ. එමෙන්ම රටේ දේශීය නිෂ්පාදනය පහළ වැටීම, ණය තුරුස් ගෙවීමට නොහැකි වීම ඇතුළු ප්‍රශ්න පැන නගින බවට ද ඔහු මත පළ කර තිබේ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

Related posts

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday

එජාපයේ කලු බැටලුවන් ගැන රවී හෙළිකරයි…

colombotoday

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

Admin

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

colombotoday

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday