Colombo Today Local News

Facebook පෙම්වතුන් සමඟ දීගකන්න ගිය සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට

පාසල් යෑම අතරමඟ නවතා දමා සිය නිවෙස්වල තිබූ රන් ආභරණද සොරාගෙන මුහුණු පොතෙන් හමුවූ පෙම්වතුන් දෙදෙනා සමඟ පැන ගිය උසස් පෙළ සිසුවියන් දෙදෙනකු පෑලියගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මහව පොලිසිය පවසයි.
මේ තරුණියන් දෙදෙනා මුහුණු පොතෙන් හඳුනාගත් පෙම්වතුන් දෙදෙනාද සමඟ පළමුව කෙටි පණිවුඩ හුවමාරු කරගනිමින් තොරතුරු දැනගැනීමෙන් පසුව පාසල් යෑම අතරමඟ නවතා රැකියාවක් කිරීමේ අරමුණින් පෑලියගොඩ ප්‍රදේශයට පලාවිත් කුලී නිවෙසක ජීවත්ව තිබේ. නිවෙසින් හොරෙන් රැගෙන ආ රන් ආභරණ වේයන්ගොඩ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට අලෙවි කර ඇති අතර එම මුදලින් කුලී නිවෙසට අවශ්‍ය උපකරණ මිලදී ගෙන තිබේ.
පෙම්වතුන් දෙදෙනාගෙන් එක් අයකු නාවික හමුදාවේ සේවය කොට ඉන් ඉවත්වූ අයකු බවත් අනෙක් පුද්ගලයා විවාහක එක් දරු පියකු බවත් තොරතුරු අනාවරණය වී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිලි දෙකක් මත පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මේ සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් එක් සිසුවියකගේ කලින් පෙම්වතාගේ මාර්ගයෙන් උපාය දූතයකු යොදවා මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකිවූ බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.
මේ සිසුවියන් දෙදෙනා මහව නාගොල්ලාගම හා මොරගොල්ලාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් අනාවරණය කර ගෙන තිබේ. සිසුවියන් දෙදෙනා නාගොල්ලාගම ප්‍රදේශයේ විදුහලක උසස් පෙළ හදාරමින් සිටි 17 හැවිරිදි වයසේ පසුවන අයවලුන් බවත් පෙම්වතුන් දෙදෙනා අවුරුදු 20 හා 21 වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි. සැකකරුවන් ඉකුත්දා මහව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව, මහව සහකාර පොලිස් අධිකාරී අජිත් වංශනාථ මහතාගේ උපදෙස් මත මහව මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. ජයන්ත මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උ. පො. රත්නායක, ජයතිලක, පො. සැ. තිලකරත්න (22575) හා පො. කො. පණ්ඩිතරත්න යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Related posts

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

ඇමති ගයන්ත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය හමුවේ

colombotoday

විශ්වාසභංග ජයෙන් පසු සිරස ප්‍රධාන කාර්යාලය වටලා පහරදෙති..

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

colombotoday

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

colombotoday