Colombo Today Local News

කොටි මිනීමරුවන් 74ක්‌ බේරාගැනීමට 39 වැනි ජිනීවා සැසිවාරයට බොරු වාර්තා…

ò ජනාධිපති සමාවටද ජිනීවා මැදිහත් වෙයි

ò රිවිරැස මෙහෙයුමින් යාපනය මුදාගත් ජෙනරාල් රොහාන් දළුවත්තගේ අභාවය

ò යාපනය මුදාගැනීමට එරෙහිවූ රාධිකා ආරක්‍ෂක සමුළුවේ

ò මර්සුකි දරුස්‌මාන් සහ රාධිකා මියන්මාර් හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරයි

ò සැප්තැම්බර් 3 වැනිදා තවත් මානව හිමිකම් විමර්ෂකයකු වූ ජුවාන් බොහොලොව්ස්‌කි මෙරටට පැමිණෙයි

“ජනතාව රැවටිය හැක්‌කේ එක්‌ වතාවක්‌ පමණකි. හැමවිටම ජනතාව රැවටිය නොහැකිය” – හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්

genewaශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයෙන් ඉවත්කර ඇති බව පැවසුවේ සාධාරණ සමාජය සහ පුරවැසි බලය නමින් අටවාගත් සංවිධානයයි. එහෙත් 39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධව විමර්ශන වාර්තා දෙකක්‌ ඉදිරිපත් කර ඇත.

මින් එක්‌ වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත්තේ අන්තෝනියෝ ගුවාරා – එලිනා ස්‌ටෙනට්‌ – ලී ටූමේ – සියෝන් හොන්ග් සහ රෝලන්ඩ් ඇඩිජෝව් යන එක්‌සත් ජාතීන්ගේ නියෝජිත කණ්‌ඩායමයි.

මෙම එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමට එම වාර්තාව කෙටුම්පත් කිරීමට මාස 7 1/2 ක්‌ ගතවිය. ඔවුන්ගෙන් තිදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත. බලහත්කාරයෙන් රඳවා ගැනීම්, අවසන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව වහාම ප්‍රතිසංස්‌කරණ ක්‍රියාත්මක කළ යුතු බව දක්‌වමින් සකස්‌වූ මේ වාර්තාවෙන් ප්‍රථම වරට ජනාධිපති බලතල වලටද මැදිහත් වී ඇත. පිටු 22 කින් සමන්විත මේ වාර්තාවේ ඇති කරුණු මෙරට ජනතාවගේ අවධානය උදෙසා අපි අද විශේෂයෙන් හෙළිකරන්නෙමු.

පස්‌දෙනකුගෙන් සමන්විත එම එක්‌සත් ජාතීන්ගේ විශේෂඥයන්ට එකී වාර්තාව කෙටුම්පත් කිරීමට ඉඩ ලැබුණේ යහපාලන රජය ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණ රහස්‌ පොලිසියේ සිට හමුදා කඳවුරු දක්‌වාද දොර විවෘත කරදීම නිසාය.

ඉන්දියාව සහ මියන්මාරය එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ට තම රටේ ආරක්‍ෂක මර්මස්‌ථානවල දොර විවෘත කිරීම ප්‍රතික්‍ෂේප කළ අතර යහපාලන රජය ඒ ගැන තැකීමක්‌ නොකර කඳවුරු නිරීක්‍ෂණයටද ඉඩදුන්නේය.

මේ විශේෂඥ කණ්‌ඩායම වැලිකඩ සිරගෙය, වැලිකඩ කාන්තා සිර අංගනය, මැගසින් සිරගෙය, පොලිස්‌ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් රහස්‌ පොලිසිය, ත්‍රස්‌ත මර්දන ඒකකය, කොල්ලුපිටිය පොලිසිය, කොම්පඤ්ඤවීදිය පොලිසිය, පනාගොඩ හමුදා මූලස්‌ථානය, මීගමු සිරගෙය, අනුරාධපුර සිරගෙය, අනුරාධපුර පොලිසිය, නොච්චියාගම පොලිසිය, වව්නියා ජෝශප් හමුදා කඳවුර, ත්‍රිකුණාමල නාවික කඳවුර, ත්‍රිකුණාමල වරාය පොලිසිය ඇතුළු ස්‌ථාන 30 කට අධික සංඛ්‍යාවක්‌ විමර්ශනයට ලක්‌කළ අතර රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි අපරාධකරුවන් 86 ක්‌ හමුවී ඇත. මොවුන් තම විමර්ශන වාර්තාවෙන් පැවසුවේ ත්‍රස්‌ත මර්දන පනත යටතේ 86 ක්‌ රැඳවුම්භාරයේ සිටින බවත් ඉන් 74 ක්‌ ද්‍රවිඩයන් බවත්ය.

genewa1ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන ත්‍රස්‌ත මර්දන පනත අහෝසිකළ යුතු බවද දක්‌වන එක්‌සත් ජාතීන්ගේ නිරීක්‍ෂකයෝ එම හිටපු කොටි ක්‍රියාකාරීන් වෙනුවෙන් සාධාරණ නඩු විභාග පැවැත්විය යුතු බව දක්‌වා තිබේ.

එසේම විවිධ ත්‍රස්‌තවාදී කටයුතු සම්බන්ධයෙන් පුන්තෝටම් පුනරුත්ථාන කඳවුරේ රඳවාසිටින හිටපු කොටි ක්‍රියාකාරීන් අටදෙනෙක්‌ වහාම නිදහස්‌ කළ යුතු බවද එම කඳවුර වසා දැමිය යුතු බවද සඳහන් කර ඇත.

එහෙත් රැඳවුම්භාරයේ සිටින මේ හිටපු කොටි ක්‍රියාකාරීහු සිදුකළ යුද අපරාධ ගැන එම නිරීක්‍ෂණ කණ්‌ඩායම විමර්ශනය කර නැත.

කටුබැද්ද – පිළියන්දල බස්‌ බෝම්බ පිපිරීම් වල සිට මගී යානා මිසයිල ප්‍රහාර මගින් වැනසීමේ චෝදනාද මොවුන්ට එල්ල වී ඇත.

එහෙත් නිරීක්‍ෂණ කණ්‌ඩායම සිය වාර්තාවෙන් සත්‍ය සෙවීමේ කොමිසමක්‌ වහාම ස්‌ථාපිත කරන ලෙසත් ශ්‍රී ලංකා හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට වගවීමේ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරන ලෙස රජයට නිර්දේශ කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ විශේෂඥයෝ මේ දක්‌වාම ජනාධිපති සමාව ලබාදීම ගැන මැදිහත්වුණේ නැත. එහෙත් තම වාර්තාවෙන් ඔවුන් නිර්දේශ කර ඇත්තේ ජනාධිපති සමාවට අදාලව ක්‍රමවේදයක්‌ නීතිගත කරන ලෙස සහ මරණ දඬුවම අහෝසි කරන ලෙසයි.

මේ විමර්ශන වාර්තාව මෙරට අභ්‍යන්තර කටයුතු වලට මුළුමනින්ම මැදිහත්වීමක්‌ බව එහි අන්තර්ගත කරුණු වලින් තහවුරු වේ.

එම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත.

genewa3“නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්, ආරක්‍ෂක හමුදාව, අධිකරණ සහ අනිකුත් නිලධාරීන් විසින් පුද්ගලික නිදහස සඳහා වූ අයිතියට තවමත් ගරුත්වයක්‌ ලබාදී නොමැති බවත් 1979 සිට ක්‍රියාත්මක වන ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කළ යුතු අතර රැඳවියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස්‌ ස්‌ථානවල නීතිඥයකු සිටිය යුතුවේ.

එසේම මෙම වාර්තාවේ බලහත්කාරයෙන් රඳවාගෙන ඇති බවට දක්‌වන්නේ හිටපු කොටි ක්‍රියාකාරීන් බව පැහැදිලි වේ. මේ කොටි ක්‍රියාකාරීන් කවුරුන්ද?

2005.10.10 විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට සැලසුම් කිරීම, මුත්තයියා, ඉසිවර් ආරෝ කියානාදන් 2005.03.24 හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට උත්සාහ කිරීම, පොන්නසාමි කාර්තිකේසු, සිවාජිලිංගම් අරුන් නිල්වාල්, පද්මන් අයිසර්, චන්ද්‍රබෝස්‌ සෙල්වචන්ද්‍රන්

24.11.2009 හිටපු ජනාධිපති ඝාතනය කිරීමට උත්සාහ කිරීම, කැන්දවන් ගෝකුලනන්දන්, ජයරාම් රාමනන්දන්, ෂන්මුගම් දේවගන්

2009.09.08 හිටපු අමාත්‍ය ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය කිරීමට සැලසුම් කිරීම – තම්බයියා ප්‍රකාශ්

හිටපු හමුදාපති ඝාතනය කිරීමට උත්සාහ කිරීම – සූරියකුමාර් ෂන්මුගම්, 14.08.2008 නියෝජ්‍ය අමාත්‍ය දමු දසනායක ඝාතනය කිරීමට සැලසුම් කිරීම – මැල්කම් ටිරන් හෙවත් ප්‍රසන්න, 20.08.2009 කටුබැද්ද බස්‌ රථ පිපිරීම – එස්‌. කුගදාසන්, 27.04.2008 ක්‌ලේමෝ ප්‍රහාරයකින් බස්‌ මගීන් 28 ක්‌ ඝාතනය කිරීම – එස්‌. සචිතානන්දන්, අනුරාධපුර ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කිරීම – රාසවලන් තබෝරුබන්, අරවින්දන් පුරුශෝත්නම්, හම්බන්තොටදී ප්‍රභූන් වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කිරීම – නන්දවේලු සෂිකලා, විල්පත්තුව වනයේදී ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට තැත්කිරීම – සිරිල් රාසමනි, මුත්තු මරික්‌කාර් – සින්නප්පන් පාක්‍යනාදන්, ස්‌ටැනිෂ් රමේෂ්, රුගවන් සුරේෂ්, සිවප්‍රකාශන් සිවසීලන්.

ගාලු නාවික කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම – නිශාන්ත ඉදිරිසිංහ, වස්‌රමුත්තු සරෝජා, දකුණු පළාතේ පිපිරීම් සිදුකිරීමට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම – තංගවේලු සිවකුමාර්, සාමි සිවලිංගම් මේ හැර විවිධ අපරාධ සිදුකළ තවත් ත්‍රස්‌තවාදීන් රැසක්‌ රැඳවුම් භාරයේ සිටී. මොවුන් මුදාගැනීම සඳහා සත්‍යවේල් පියනම, ද්‍රවිඩ සන්ධානය සහ උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන්ද දැඩි උත්සාහයක්‌ ගනු ලැබීය.

මේ අතර යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළටද පොලිස්‌ දෙපාර්තමේන්තුව දෙකඩ කිරීමේ වගන්ති ඇතුළත් කර ඇත. එම වගන්ති යටතේ ජාතික පොලිසිය සහ පළාත් බද පොලිසිවලටද බලය හිමිවේ. එසේම ජාතික පොලිසියට හිමිවන අවි ආයුධද පළාත් බද පොලිසි වලට ලැබීම ව්‍යාර්ථ කිරීම සඳහා රජයට ඉඩ නොලැබේ.

මේ ව්‍යවස්‌ථාව මත ජාතික පොලිසියට කටයුතු කළ හැකිවන්නේ සීමිත චෝදනා කීපයකට පමණකි.

මෙය මෙරට ජාතික පොලිසිය මුළුමනින්ම බලරහිත කිරීමේ උත්සාහයකි. එහෙත් යහපාලන රජය ඒ ගැන අවධානය යොමුකර නැත.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන රටවල් නවයක්‌ මානව හිමිකම් උල්ලංඝනය කරන බව මානව හිමිකම් කවුන්සිලය අනාවරණය කර ඇත.

genewa4මෙම රටවල් නම් බුරුන්ඩි – ඊජිප්තුව, කියුබාව, වෙනිසියුලාව – චීනය, ඉන්දියාව, සවුදි අරාබියාව සහ එක්‌සත් එමීර් රාජ්‍යයයි.

මේ හැර ඇල්ජීරියාව – බහරේන්, එරිටියා – හොන්ඩුරාප් – ඉරාකය – ඊශ්‍රායලය, මොරිටානියා, මෙක්‌සිකෝ, මොරොක්‌කෝ, මියන්මාරය, ඕමානය පාකිස්‌ථානය, දකුණු සුඩානය, ශ්‍රී ලංකාව, සුඩානය, ටජිකිස්‌තානය, තායිලන්තය, තුර්කිය, ටර්ක්‌මෙනිස්‌තාන් සහ උස්‌බෙකිස්‌තාන් යන රටවල්ද මානව හිමිකම් උල්ලංඝණය කරන බව මානව හිමිකම් කවුන්සිලය හෙළිකර ඇත.

එහෙත් මානව හිමිකම් කවුන්සිලය ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව ප්‍රකාශ කර නැත.

මේ පසුබිම මැද 1995 වසරේදී යාපනය අර්ධද්වීපය ජයගැනීමේ රිවිරැස මෙහෙයුම දියත්කළ ජෙනරාල් රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත විය. මෙම රිවිරැස මෙහෙයුම දියත් කිරීමට පෙර එක්‌ හමුදා නිලධාරියෙක්‌ පැවසුවේ උතුර ජයගත නොහැකි බවත් උතුර ජය ගැනීමට නම් පන් ලක්‍ෂයක හමුදාවක්‌ අවශ්‍ය බවත්ය.

එහිදී 50000 කට අධික සෙබළුන් මියයන බවත් එම හමුදා නිලධාරියා තවදුරටත් කියා සිටියේය. මෙම ප්‍රකාශය නිසා කෝපයට පත් එවකට නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ යුද්ධ කිරීමට බැරි නම් හමුදාවෙන් ඉල්ලා අස්‌විය හැකි යයි පවසනු ලැබීය.

රිවිරැස මෙහෙයුම දියත්වන අවස්‌ථාවේ ඉතා රහසිගතව මෙරටට එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරයක්‌ ගෙනවිත් තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කොකර්ඩයිල් හෙවත් එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටරයක්‌ ඇති බව ප්‍රභාකරන්ට අවබෝධවූයේ යාපනයේදී ජාතික ධජය ඔසවන අවස්‌ථාවේ අහසේ සැරිසරමින් ආරක්‍ෂාව ලබාදීමට එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරය ක්‍රියාත්මක වීමෙනි.

ඉන්දියානුවන් මේ හෙලිකොප්ටරය හඳුන්වනු ලැබුවේ ‘අක්‌බාර්’ නමිනි. මුලින්ම අක්‌බාර් යනු මුස්‌ලිම් හමුදා නායකයෙක්‌ බව ප්‍රභාකරන් සිතුවත් වැල්වැටිතුරේ කොටි කඳවුර බිමට සමතලා වූයේ අක්‌බාර් නිසාය. අක්‌බාර් යනු ප්‍රහාරක හෙලිකොප්ටරයක්‌ බව ප්‍රභාකරන් දැනගත්තේ එදාය.

රිවිරැස මෙහෙයුම මෙන්ම වන්නි මෙහෙයුම ජයගත් ‘අක්‌බාර්ලා’ රැසක්‌ දැන් පියාසර කළ නොහැකි තත්ත්වයන් මත ගුවන් කඳවුරක රඳවා තිබේ. ඊට මූලික හේතුව නිසිකල එම ප්‍රහාරක හෙලිකොප්ටර් නඩත්තු නොකිරීමයි.

කෙසේ වෙතත් යාපනය අල්ලා ගැනීමට දියත්වූ රිවිරැස මෙහෙයුමින් හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා ඉල්ලන් කනු ඇතැයි බලාපොරොත්තු වූ පාර්ශව පසුව ලඡ්ජාවට පත්වූහ. රිවිරැස මෙහෙයුම දියත් කළ ජෙනරාල් දළුවත්තගේ අභාවය ගැන කොටි සතුට පළකර තිබේ. ඔහු යුද අපරාධකරුවකු ලෙසට නම් කර ඇත.

මේ හැර එක්‌තරා බලවත් දේශපාලන කාන්තාවක්‌ සහ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ බලවත් කාන්තාවක්‌ද රිවිරැස මෙහෙයුම නතර කිරීමට ගත් උත්සාහයද ව්‍යාර්ථ විය. මේ අතර මෙවර ආරක්‍ෂක සමුළුවේ එක්‌ මාතෘකාවක්‌ වන්නේ ඩයස්‌පෝරා ප්‍රජාවයි.

එහෙත් මේ ඩයස්‌පෝරාව යනු කොටි ඩයස්‌පෝරාවයි. ආරක්‍ෂක සමුළුවට සම්බන්ධ දේශකයා මේ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් හඳුනාගෙන තිබේද?

2009 මැයි 19 දා කොටි සංවිධානය පරාජයවීමත් සමඟම කොටි ඩයස්‌පෝරාව බලවත් ලෙස ශක්‌තිමත් විය. බ්‍රිතාන්‍ය ප්‍රංශය, ස්‌විට්‌සටර්ලන්තය, නෝර්වේ, ජර්මනිය, කැනඩාව සහ ස්‌වීඩනය යන රටවල ක්‍රියාත්මක වූ මේ ඩයස්‌පෝරාවේ ඒජන්තවරු උතුරේද ක්‍රියාත්මක වේ.

මෙම ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ගේ අද බලවත්ම පුද්ගලයා මරියදාස්‌ ඇන්තනියි. ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන මරියදාස්‌ අබිරහස්‌ පුද්ගලයෙකි. ඉතා සූක්‍ෂම ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා මෙහෙයවන මරියදාස්‌ට තමිල්නාඩුවේ සිටින කොටි හිතවාදීන්ද ජිනීවා මානව හිමිකම් සමුළුවලට ගෙනඒමේ හැකියාව ඇත. එසේම ඔහු සතුව අතිවිශාල මුදල් සම්භාරයක්‌ද ඇත. මේ මුදල් ලැබෙන්නේ කෙසේද යන්න හෙළිවී නැතත් කොටි ජාත්‍යන්තර ජාලය සතුව ගිණුම් ස්‌විස්‌ බැංකුවක ඇති බව හෙළිවී තිබේ.

එසේම ස්‌විට්‌සර්ලන්තයේ ප්‍රාන්ත 19 ක ස්‌විස්‌ ඊලම් ජාලය ක්‍රියාත්මක වේ. සුරිච් බර්න්, වවුද්, ලුසර්න්, ආගාවු, සැන්ටි ගැලන්, බාසල්, චූර්, ආර්ගාවු, ෂොප්හසන්, ස්‌ලාරාස්‌, ටිසිනෝ පුවස්‌, සුග්, නිච්චාවල්, ප්‍රිබුග්, චැලයිස්‌ සහ ජුරා යන ප්‍රාන්තවල කොටි ඊලම්වාදීන් විසිරී සිටිති.

මේ පසුබිම මැද ඩයස්‌පෝරාව සම්බන්ධව දේශනයක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවට ඇරයුම් කළේ එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌වූ රාධිකා කුමාරස්‌වාමියි. ඇය කවුරුන්ද? ඇගේ ක්‍රියාවන් මේ සතියේදී අනාවරණය විය. ඒ මියන්මාරයේ රොහින්ගියා මුස්‌ලිම් ජනතාව මරාදැමූ බව කියමින් මියන්මාර් හමුදා ප්‍රධානියා ඇතුළු ජෙනරාල්වරු පස්‌දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට රාධිකා කුමාරස්‌වාමි සහ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත දරුස්‌මාන් මර්සුකි තීන්දු කිරීමයි.

මෙම දරුස්‌මාන් මර්සුකි යනු ශ්‍රී ලංකාව 40000 ක්‌ ද්‍රවියන් සමූල ඝාතනය කළ බවට දක්‌වමින් දරුස්‌මාන් වාර්තාව සකස්‌ කළ තැනැත්තායි. දරුස්‌මාන් බංගලාදේශයේ කොක්‌ස්‌බසාර් ප්‍රදේශයට ගොස්‌ රොහින්ගියා මුස්‌ලිම් ජාතිකයන් 875 කගෙන් සාක්‌කි ලබාගෙන මියන්මාර් හමුදාව යුද අපරාධ කළ බවට වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ. මේ වාර්තාවෙන් මියන්මාරයේ රොහින්ගියා මුස්‌ලිම් ජාතිකයන් සමූල ඝාතනය වී ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත. එසේම දරුස්‌මාන් සහ රාධිකා කුමාරස්‌වාමි තම වාර්තාවෙන් මියන්මාර් ජෙනරාල්වරු හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයා යුතු බව පවසා ඇත. මියන්මාරයද බෞද්ධ රටකි. ශ්‍රී ලංකාවද බෞද්ධ රටක්‌ වේ. මර්සුකි දරුස්‌මාන් ජිනීවා වාර්තාව සහ මියන්මාර් වාර්තාව කෙටුම්පත් කළේ මන්දැයි ඉන් සනාථ වේ.

එසේම ශ්‍රී ලංකා හමුදාව රිවිරැස මෙහෙයුම මගින් යාපන අර්ධද්වීපය අල්ලා ගැනීමට විරුද්ධ වූයේද රාධිකා කුමාරස්‌වාමි බව අමතක කළ යුතුද? හමුදා ආරංචි මාර්ග දක්‌වන්නේ ඇයව දේශනයක්‌ පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ හමුදා පුහුණු අධිකාරිය බවයි.

එක්‌සත් ජාතීන් වෙනුවෙන් කටයුතු කරන එවන් කාන්තාවක්‌ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සමුළුවේ දේශනයක්‌ ඇරයුම් කිරීම හමුදාවට සිදුකළ සරදමක්‌ නොවේද?

මෙය පුදුමයක්‌ නොවේ. කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ප්‍රධාන අමුත්තා ලෙස එන්. ජී. ඕ. ප්‍රධානි පාක්‍යසෝති සවරිමුත්තු හෙවත් පී. සරා කැඳවා තිබුණි.

එසේම මියන්මාරය හෙවත් බුරුමය සමඟ ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව දැඩි සබඳකම් පවත්වා තිබුණි. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ මර්සුකි දරුස්‌මාන් මියන්මාර් හමුදා නායකයන්ට යුද අධිකරණයට ගෙන යාමට උත්සාහ කරද්දී රාධිකා කුමාරස්‌වාමි හමුදා ආරක්‍ෂක සමුළුවට කැඳවීම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් කිසිසේත් අනුමත කර නැත.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන්එමර්සන් ශ්‍රී ලංකාවට එරෙහිව තවත් වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත.

නීති පොතෙන් ඉවත්කර නැති ත්‍රස්‌ත මර්දන පනත යොදාගනිමින් හිටපු කොටි ක්‍රියාකාරීන් තවදුරටත් තම වාර්තාවේ සඳහන් කර තිබේ.

එසේම ආරක්‍ෂක අංශ සංශෝධනයට ලක්‌කළ යුතු වුවත් එම ක්‍රියාදාමය මුළුමනින්ම නතර වී ඇති බව පළකරන එමර්සන් යුද අපරාධ චෝදනා ගැන ක්‍රියාකිරීමද ඉටුවී නැති බව කියා සිටී. තමා මෙම වාර්තාව 2019 වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ 40 වැනි සැසියට ඉදිරිපත් කරන බවද පවසන එමර්සන් රැඳවුම්භාරයේ සිටින අයගෙන් සියයට 80 ක්‌ම තමන් වධබන්ධනවලට ලක්‌කර ඇතැයි පැමිණිලි කළ බවද දක්‌වා ඇත.

බෙන් එමර්සන් තම වාර්තාවෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශ 22 ක්‌ ඉදිරිපත් කර ඇත.

එම නිර්දේශ අතරින් ඔහු දක්‌වා ඇති ප්‍රධාන නිර්දේශය නම් පාපොච්චාරණ ලබාගෙන ඇති රැඳවියන් (කොටි) ලබාදුන් පාපොච්චාරණ අහෝසි කිරීමයි.

මේ පාපොච්චාරණ අහෝසි කළහොත් බිහිසුණු අපරාධ සිදුකළ හිටපු කොටි නිදහස්‌ වේ.

එසේම පාපොච්චාරණ යටතේ දඬුවම් ලැබුවන් ගැන නැවත පුනරීක්‍ෂණයක්‌ කළයුතු බවද ඔහු වැඩිදුරටත් දක්‌වා තිබේ.

මෙවන් පසුබිමක්‌ මැද කොටි සිදුකළ යුද අපරාධ ජාත්‍යන්තර ප්‍රජාවට හෙළිකිරීමේ යුද අපරාධ ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 සහ 26 යන දෙදින තුළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති පාද තුනේ පුටුව අසලදී පැවැත්වීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය කටයුතු යොදා ඇත.

පෙරවරු 9 සිට සවස 4 දක්‌වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නිසා ජිනීවා නුවරට එන සංචාරකයන්ට කොටි සිදුකළ බිහිසුණු අපරාධ ගැන අනාවරණය වනු ඇත.

මෙවර කෝකිලායි නයාරු ධීවරයන් සමූල ඝාතනයේ සිට සියලුම යුද අපරාධ හෙළිකිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ක්‍රියාකෙරේ. මෙතෙක්‌ ශ්‍රී ලංකා රජය මෙවන් ප්‍රදර්ශනයක්‌ ජිනීවාහිදී පැවැත්වීමට ක්‍රියාකර නැත.

කීර්ති වර්ණකුලසූරිය – ඉරිදා දිවයින

Related posts

කදවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පුර්ණයෙන් තහනම්-සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා

colombotoday

පහන් දල්වා මල් පුදා යාපනය සරසවියේත් මියගිය කොටින් සමරයි

colombotoday

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

“අසාධ්‍යයි“.. වෙබ් අඩවි කියද්දී ජනපති තරු හෝටලේ මුසම්මිල්ගේ පාටියේ

colombotoday

කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා

colombotoday

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

Admin