Colombo Today Local News

“05 වැනිදාට ඉර පායන්නේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්” – විමල්ගෙන් සහතිකයක්

අප්‍රේල් 05 වැනිදාට ඉර පෑයීම සිදු වන්නේ අගමැති වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින් බවට සහතිකයක් රට හමුවේ තබන බව ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද (02) එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක දී ය.එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.“මේ රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයේ දී මේ ආණ්ඩුව පිළිබඳ තම විශ්වාසය භංග වී ඇති බව මනාව ඔප්පු කර පෙන්වූවා. ඒ අනුව යමින් තමයි, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනකුගේ ද අත්සන් සහිතව අගමැති රනිල් වික්‍රමසිංහ හා මේ අෘණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දුන්නේ.
‘අගමැති ඉත්තා අදින්න එපාලු!’
ශ්‍රී ලාංකේය දේශපාලන දාම්පෙතට නිසලව තිබෙන්න ඉඩ දී බලා සිටීමෙන් ඵලක් වෙන්නේ නැහැ. ඉත්තන් මාරු කරමින් සිදු විය හැකි දේ නිරීක්‍ෂණය කරමින් ඉදිරියට යා යුතුයි. නමුත් සමහරු කියනවා ‘අගමැති ඉත්තා අදින්න එපාෟ එයාට එහෙමම ඉන්න දෙමු!’ කියා. නමුත් එහෙම කරලා හරි යන්නේ නැහැ. අගමැති ඉත්තා මාරු කළොත් තමයි අනෙක් ඉත්තන් එහාට මෙහාට මාරු කළ හැකි වන්නේ. ඒ නිසා ‘විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමෙන් ඒකාබද්ධ විපක්‍ෂය මේ රටේ ජනතාවගේ අභිලාෂය ඉටු කරමින් ඉතාමත් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළා’ කියන නිහතමානී සතුට අප තුළ තිබෙනවා. පෙබරවාරි 10 වැනිදා ලැබුණු ප්‍රතිඵලයත් සමඟ තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයට මේ රටේ පාලන බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. එම ප්‍රතිඵලය විසින් ආණ්ඩුවේ ඇඟ හිරිවට්ටනු ලැබුවා. ඒ නිසා තමයි, අපි මේ භාර දුන් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම පිණිස කැප වී ඉන්නේ.
‘මේ විදියට රටකට පවතින්න බැහැ’
අපි සහතික කොට කියනවා ‘04 වැනිදාට ඉර බැස යන්නේ, 05 වැනිදාට ඉර පායන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරමින්’ බව. අද විශ්ව විද්‍යාල සියල්ල වසා දමලා. ශිෂ්‍යයන් ගෙවල්වල. ඊ.ඒ.පී වැනි මූල්‍ය ආයතන කඩා වැටිලා. ඒවායේ මුදල් තැන්පත් කළ මිනිස්සු කරකියා ගැනීමට දෙයක් නැතිව අඬා වැලපෙනවා. මේ සියල්ල වෙන්නට ඉඩ හැර ආණ්ඩුව බලා ඉන්නවා. අසරණ වූ මිනිස්සු බෙල්ලේ වැල දමා ගන්න යනවා. උතුරේ සහ දකුණේ භේදයකින් තොරව නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා. පාතාල කල්ලි දවසට ජීවිතයක් දෙකක් බිල්ලට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒවාට එරෙහිව කිසිදු පියවරක් ගන්නේ නැහැ. අද කොටින්ම මේ රටේ පාලනයක් නැහැ. පාලනයක් නොමැතිව රටකට පවතින්න බැහැ. මොකටද මෙහෙම ආණ්ඩුවක්? දවසින් දවස පෙනෙන්නේ මේ ආණ්ඩුවේ අසමත්කම, බෙලහීනකම, අමනකම හා තකතීරුකම මිස අන් යමක් නොවෙයි.
අද මේ වැඩබැරි ආණ්ඩුවේ වැඩ බවට පත් වී ඇත්තේ වෙසක්, පොසොන් පෝය දිනවල තොරන් ප්‍රදර්ශනය නතර කිරීම වැනි දේවල්. මේ වගේ අජූත ආණ්ඩුවක් තියාගෙන රටකට ඉදිරියට යන්න බැහැ. ඒ නිසයි අපි මේ ආණ්ඩුවේ ගමන නතර කිරීමට විශ්වාසභංගයක් ගෙන එන්නේ. අද අගමැතිවරයා ඇතුළු ඔහුගේ ගජමිතුරු රෝයල් කොලීජියේ කල්ලිය මේ රට ඔවුන්ගේ පාපන්දුවක් බවට පත්කර ගෙන තිබෙනවා. ඔවුන් හිතෙන, හිතෙන පැත්තට පයින් ගහගෙන යන මේ ගමන අපි නතර කරන්න ඕනෙ.
‘අගමැතිතුමා වෙනුවෙන් හීනියට කඬේ යන විදිහ’
සමහරු කියනවා ‘මේ විශ්වාසභංග යෝජනාව දින්නත් එකයි – පැරදුනත් එකයි’ කියලා. එහෙම කියන අය නොකියා කියන්නේ, ‘මේ අගමැතිතුමා හිටියත් එකයි – නැතත් එකයි’ කියලයි. ඒ අනුව ‘එට්කා ගිවිසුම ගැහුවත් එකයි- නොගැහුවත් එකයි’ කියා පිළිගන්න වෙනවා. ඒ අනුව ‘බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙනවිත් සම්මත් කළත් එකයි – නොකළත් එකයි’කියා පිළිගන්න වෙනවා. ‘රට කෑවත් එකයි – නොකෑවත් එකයි’ කියා පිළිගන්න වෙනවා. මේ තමයි අද ‘හීනියට අගමැතිතුමා වෙනුවෙන් කඬේ යන’ විදිහ. දේශපාලන දාම්පෙතේ ඉත්තෝ ඇදලාම බලන්න ඕනේ අනෙක් ඉත්තෝ කැපෙන්නේ කොහොමද? කියලා. ඒ නිසා අපි අප්‍රේල් 04 වැනිදා පළමුවැනි ඉත්තාව කපනවා. එතකොට පෙනේවි ‘අනෙක් ඉත්තන්ගේ කල දසාව කොහොමද?’ කියලා.
‘පෙරමඟ නිමිති සුබයි!’
අපි පාර්ලිමේන්තුව තුළ අප්‍රේල් 04 වැනිදා ආරම්භ කරන්නේ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ, පෙබරවාරි 10 වැනිදා වෙනසකට කතිරය දුන්නු මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම. ඒක ආරම්භයක් විතරයි. අගමැති ඉත්තාව කැපූ පසු තවත් අපූරු ජවනිකා රැසක් ජනතාවට දැක ගැනීමට ලැබේවි. ලක්‍ෂ 800ට ලක්‍ෂ 10,000ට විකිණෙන මන්ත්‍රී මුහුණු ටික හඳුනා ගැනීමට ලැබෙන අතරේ අප්‍රේල් 04 වැනිදා මේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය, ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්ඩායම, එජාපය අභ්‍යන්තරයේ සිටින විශාල මන්ත්‍රීවරු කණ්ඩායමක් සූදානම්ව සිටින බවත් වාර්තා වෙනවා. එක් එජාප මන්ත්‍රීවරයකු අද (02) මාධ්‍ය හමුවක් පවත්වා ‘විශ්වාසභංගයට සහාය දීමට සූදානම්’ යැයි ප්‍රකාශ කරන බවත් වාර්තා වෙනවා. පෙරමඟ ලකුණු සුබයි. අපි කියනවා ‘රනිල් වික්‍රමසිංහ මහත්තයෝ කරපු පව්වලට විපාක විඳින්න සූදානම් වෙන්න. ඔබතුමාට ආයෙත් කිසි කලක මේ රටේ පාලන සුක්කානම කරකැවීමට වරම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අගමැති පුටුවෙන් බැහැලා යන්න’ කියා. මේ රටේ සිදු වූ මහා බැංකු හොරකමේ දඬුවම් දීමේ ක්‍රියාවලියේ පළමු පියවර තමයි අප්‍රේල් 04 වැනිදා ආරම්භ වන්නේ. මේ වන විට පාර්ලිමේන්තුව තුළ නිරූපණය වෙන්නේ මේ රටේ පොදුජන අරගලයයි, ආණ්ඩුවට විරුද්ධ අරගලයයි. ඒ නිසා ඒ මහා අරගලයට සූදානම් වෙන්න කියා අපි මුළුමහත් ලක්වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday

බස්නාහිර පාසල් වල වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට විෂයන් කල් යයි

Admin

හරීන් අත්අඩංගුවට ගත්තොත් හිරේ යන්න සජිත් සූදානම්

colombotoday

සුනිල් හඳුන්නෙත්තිගේ පාර්ලිමේන්තු සිහිනය මාතරින් බොඳවෙයි

colombotoday

නව තානාපතිවරු දහතුන් දෙනෙක් පත්කෙරේ – සංගක්කාර එංගලන්තය එපා කියයි

colombotoday

21ට කැබිනට් අනුමැතිය

colombotoday