Colombo Today Local News

බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණ වලින් මාව බිය ගැන්වීම සිහිනයක් පමණි – ගෝඨාභය

රටට හැමදාමත් අවංකව සේවය කළ තමා බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණවලින් බිය ගැන්වීමට හැකි යැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ රජය සිතන්නේ නම්, එය සිහිනයක් පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සඳහන කරන්නේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇමෙරිකාවට යමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ හමුවීමට බවත්, වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොළේදී නතර කරවාගෙන ප්‍රශ්න කිරීමෙන් රාජපක්ෂ රෙජිමය කැලඹීමකට පත්ව ඇති බවටත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා කර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මාධ්‍ය ඒකකය මඟින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇමෙරිකාවට යමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂ හමුවීමට බවත් වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොළේදී නතර කරවාගෙන ප්‍රශ්න කිරීමෙන් රාජපක්ෂ රෙජිමය කැලඹීමට පත්ව ඇති බවටත් ප්‍රකාශයක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න විසින් කර ඇති බව පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රචාරය වී තිබිණි.
මෙය පසුගිය වසර 3 පුරා රාජිත සේනාරත්න අමාත්‍යවරයා හා තවත් රජයට සම්බන්ධ විවිධ දේශපාලනඥයන් විසින් මා සම්බන්ධයෙන් කර ඇති පදනම් විරහිත ප්‍රකාශ ගොන්නට එක්වන තවත් එක් අභූත චෝදනාවක් පමණි. උදයංග වීරතුංග මහතාට මා හමුවීමට විශේෂ අවශ්‍යතාවක් ඇතැයි මම නොසිතමි. ඔහුගේ පෞද්ගලික ගමන් මට අදාළ නොවේ.

ඒ කෙසේ වෙතත් උදයංග වීරතුංග මහතාගේ නම භාවිත කරමින් රජය විසින් දිගින් දිගටම කරගෙන යන මඩ ප්‍රචාරවලට පිළිතුරු දීමට ඇති හොඳම ක්‍රමය වීරතුංග මහතා සිය කැමැත්තෙන්ම ලංකාවට ගොස් පොලිසියට අවශ්‍ය සාක්ෂියක් ලබාදී තමන්ට එරෙහිව ඇති චෝදනාවලට පිළිතුරු දීම යැයි මම කවදත් විශ්වාස කළෙමි. නීතිය අවනීතිය වී ඇති යුගයක රජයේ මර්දනය පිළිබඳ චකිතයකින් මෙම අභියෝගය මඟහැර සිටීමෙන් වන්නේ රාජිත සේනාරත්න වැනි දේශපාලනඥයන්ට දිගින් දිගටම තම සුපුරුදු මඩ ප්‍රචාරයේ යෙදී සිටිමින් ජනතාව නොමඟ හැරීමේ අවස්ථාව තවදුරටත් ඉතුරු වීම පමණි.

පසුගිය වසර 3 පුරා මා අපකීර්තියට පත්කිරීම සඳහා වත්මන් රජය විසින් විවිධ පරීක්ෂණ ආරම්භ කරන ලදී. රක්නා ලංකා ආරක්ෂක සේවය, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ඇවන්ගාර්ඩ් නාවුක සේවා වැනි පරීක්ෂණ රාශියකදී මා විසින් සාක්ෂි ලබාදී ඇති අතර ඉදිරියේදීද ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට නොපැකිළෙමි. මෙතෙක් මට විරුද්ධව නැඟූ කිසිදු චෝදනාවක් ඔප්පු කරගත නොහැකිවූ රජය තවදුරටත් අලුත් හේතු සොයමින් සිටිනා බව නම් පැහැදිලිය.

රටට හැමදාමත් අවංකව සේවය කළ මා බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණවලින් බියගැන්වීමට හැකි යැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ රජය සිතන්නේ නම් එය සිහිනයක් පමණි. එමෙන්ම ඔවුන් තවමත් වටහා ගෙන නැත්තේ රටේ ජනතාව අද දේශපාලනඥයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි. රටට වැඩක් නොකර බොරුවෙන් හා මර්දනයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන රජයට ජනතාව සුදුසු අවස්ථාවේ පිළිතුරු දෙනු ඇත.

මීට අමතරව මෙවර ලංකාවට ආපසු පැමිණි පසු රජයේ බොරු චෝදනා හා අසත්‍ය ප්‍රචාර පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.

ගෝඨාභය රාජපක්ෂ
(හිටපු ආරක්ෂක ලේකම්
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට)

Related posts

මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි..

Admin

සීෂෙල්ස් අධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ.

colombotoday

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

Admin

පොහොර හිඟයට කැබිනට්ටුව ඇවිස්සෙති – ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday