Colombo Today Local News

හම්බන්තොට වරාය: කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට.. චීනයට පැවරීම ජූලි 29 දා !

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සඳහා ගිවිසුම් ගතවීම ලබන සෙනසුරාදා (29 දා) සිදුකෙරෙන බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (25 දා) පැවසීය.

හම්බන්තොට වරාය චීන මර්චන්ට්‌ හෝල්ඩින්ග් සමාගමට පැවරීම සඳහා වූ කැබිනට්‌ පත්‍රිකාවට ඊයේ (25 දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට්‌ රැස්‌වීමේදී සියලු දෙනාගේ එකඟතාවය මත ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබාදුන් බවද අමාත්‍යවරයා ඊයේ (25 දා) වරාය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

කැබිනට්‌ අනුමැතිය හිමිවූ කැබිනට්‌ පත්‍රිකාව අද (26 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය අනිද්දා (28 දා) පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන් දැනුවත් වීමට පමණක්‌ බවත් අනුමැතිය සඳහා ඡන්ද විමසීමක්‌ එහිදී සිදුනොකරන බවත් ඇමැතිවරයා කීය.

මෙහි ගිවිසුම් කාලය වසර 99 ක්‌ වන හම්බන්තොට වරායෙන් සියයට 70 ක්‌ චීන සමාගමට ද සියයට 30 ක්‌ වරාය අධිකාරියට අයත් බවද ඇමැතිවරයා පැවසිය.

හම්බන්තොට තෙල් ගබඩා සංකීර්ණය සමඟ චීන සමාගමට හම්බන්තොට වරාය පැවරීමෙන් පසු එහි පරිපාලන කටයුතු පෞද්ගලික සමාගම් දෙකක්‌ යටතේ සිදුකෙරෙන බවද ඉන් එක්‌ සමාගමක්‌ වරායේ සේවාවන් කටයුතු සිදුකරන අතර අනෙක්‌ සමාගම පර්යන්ත කටයුතු පාලනය සිදුකරන බවද ඇමැතිවරයා කීය.

මෙම ගනුදෙනුවල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 1.4 ක්‌ බවද හෙතෙම කීය.

ගිවිසුම ආරම්භ දිනයේ සිට වසර 70 ක්‌ ගත වූ පසු සියලුම කොටස්‌ මිලදී ගැනීමට හෝ වසර 80 ක්‌ ගතවීමෙන් එක්‌ සමාගමක කොටස්‌ වලින් 76.8% ක්‌ සහ අනෙක්‌ සමාගමේ කොටස්‌වලින් 60% ඩොලර් 01 ක මිලට ශ්‍රී ලංකා වරාය අධිකාරියට මිලදී ගැනීමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා කීය.

මෙම ගිවිසුම අත්සන් කරනු ලැබුවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනත, වෙළෙඳ නැව් පනත, ආගමන විගමන පනත, නාවික නියෝජිත බලපත්‍ර සහ අන්තර් ජාතික ගිවිසුම් සහ සම්මුති ගිවිසුම්, රේගු ආඥපනත ඇතුළු ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන අදාළ සියලු නීතිරීතිවලට අනුකූලව හා අනුගතවන ආකාරයට සිදුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා‘ සතියක් නම්කෙරේ… බෞද්ධ කොඩි ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලීමක්…

colombotoday

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

colombotoday

මහින්දයි මෛත්‍රිපාලයි එකතු කරලා අපි අනාගතයේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා

colombotoday

‘දැන් නම් රනිල් – මෛත්‍රීට ඡන්දයකින් දිනනවා තියා හිතන්නවත් බෑ‘ – ආචාර්ය නිර්මාල්

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday