ArticlesColombo Today Local News

ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !

ෆෙස්‌බුක්‌ අද තරුණ පරම්පරාවේ ජනප්‍රියම මාධ්‍යයි. ෆෙස්‌බුක්‌ ගිණුමක්‌, ට්‌විටර් ගිණුමක්‌ නැති තරුණයකු තරුණියක නගරයක නම් හොයා ගන්නටවත් නැති තරම්ය. ඇතැම් තරුණ තරුණියන්ගේ දවස පටන්ගන්නේත්, දවස ගෙවෙන්නේත්, දවස නිමාවෙන්නේත් මේ සමාජ ජාල මාධ්‍යයත් සමඟමය.

සම්රා කෙසිනොවික්‌ ද ෆෙස්‌බුක්‌ එකට ඇබ්බැහිව උන් එවැනි නවයොවුන් තරුණියකි. ඇගේ වයස අවුරුදු දාහතකි. ෆෙස්‌බුකියෙන් ඇයට බොහෝ මිතුරු මිතුරියන් මුණ ගැසිණ. මේ මිතුරන් අතර ඇයට වෙනස්‌ම ආකාරයේ මිතුරෙකුද මුණ ගැසිණ. ඔහු වියානාවේ වෙසෙන -අබු තෙ-මා-ය. අබු තෙඡ්මා බොස්‌නියානු ඉස්‌ලාමික දේශකයෙකි.

අබු තෙඡ්මා ඔහුගේ දේශනාවලින් පළමුවෙන්ම සම්රාව ඉස්‌ලාම් ආගම වෙත ආකර්ෂණය කරගත්තේය. ඉන්පසු ඇය උපතින් ලැබූ කතෝලික ආගම අත්හැර ඉස්‌ලාම් ආගම වැළඳ ගන්නට ඇයව පෙලඹවීය. ඉන් ද නොනැවතී රැඩිකල් ඉස්‌ලාමයට ඇයව යොමු කරමින් ඇගේ මනස අන්තවාදී අදහස්‌වලින් සෝදා දැම්මේය. සම්රා අධ්‍යාත්මික විමුක්‌තියට මග හොයන ඉස්‌ලාමික අන්තවාදිනියක වූවාය. ඇය අන්තවාදියකු වූයේ තනිවම නොවේ. ඇගේ පහලොස්‌ හැවිරිදි මිතුරිය -සබීනා සෙලිමොවික්‌- ද ඇගේ පාරේම ඈඳාගෙනය.

රැඩිකල් ඉස්‌ලාමිකයන් වූ ඔවුන්ට ෆෙaස්‌බුකියෙන් ඔවුන් වැනිම තවත් රැඩිකල් ඉස්‌ලාමික මිතුරු මිතුරියන් මුණ ගැසිණ. ඔවුන් කතා කළේ ඔවුන්ගේ අධ්‍යාත්මික ගමනේ ඊළඟ පියවර වූ ජිහාඩ් යුද්ධය ගැනය. -කµaරිර්ලා හෙවත් වෙනත් ආගම් අදහන මිත්‍යදෘෂ්ටිකයන්ගෙන් තොරවූ ඉස්‌ලාමික රාජ්‍යයක්‌ නිර්මාණය කර දෙවියන්ට සේවය කරන ආකාරය ගැනය. ඒ ඉස්‌ලාමික රාජ්‍යය නිර්මාණය කරන්නට සටන් කරන අයගේ වීඩියෝ පට දහස්‌ ගණිනින් ඔවුන් අතර හුවමාරු විය. දෙවියන් වෙනුවෙන් සටන් කරන්නට යැමෙන් ස්‌වර්ගයට ළඟා විය හැකි බව ඔවුන්ට හමුවුණ ජිහාඩ් මිතුරන් විසින් පහදා දෙන ලදී. ඒ සඳහා ශුද්ධ වූ ජිහාඩ් යුද්ධයක්‌ පවතින රටකට යා යුතු බව මේ ජිහාඩ්වාදීන් විසින් සම්රාටත් සබීනාටත් කියා දුන්හ. දෙවියන්ට සේවය කරන්නට අයි.එස්‌.අයි.එස්‌. සංවිධානයට එක්‌ වීමේ අරමුණින් සිරියාවට යන්නට අවුරුදු දාහතක්‌ වයසැති සම්රාත්, අවුරුදු පහළොවක්‌ වයසැති සබීනාත් තීරණය කළේ මේ අනුවය. අපි ගැන හොයන්න එපා. අපි අල්ලා දෙවියන්ට සේවය කරන්න යනවා. අපි දෙවියන් වෙනුවෙන් අපේ ජීවිත පූජා කරනවා.- කියා ලියා තියා ගෙවල්වලින් නික්‌මුණු මේ ළාබාල තරුණියෝ තුර්කි දේශ සීමාව හරහා සිරියාවට ඇතුළු වූහ.

සිරියාවේ රක්‌කා නගරයට ගිය විගසම සම්රාටත් සබීනාටත් අයි.එස්‌. සටන්කරුවන් දෙදෙනකු සමඟ විවාහ වෙන්නට සිදුවිය. හිස සිට දෙපතුල දක්‌වා බුර්කාවක්‌ද හැද, ඒ.කේ. 47 රයිµaලයක්‌ද අතින් ගෙන, අවිගත් සොල්දාදුවන් පිරිවරාගෙන ගත් ඔවුන්ගේ ඡායාරූප අන්තර්ජාලයටද එක්‌ කොට තිබිණ.

-මෙහේදි මට නිදහසේ මගේ ආගම අදහන්න පුළුවන්. වියානාවේදි වගේ කරදරයක්‌ නෑ.- කියා ට්‌විටර් ගිණුමේ සටහනක්‌ තබා තිබූ සබීනා දින කිහිපයක්‌ යන්නට කලියෙන්ම නගරයේදී කෙරුණු සටනකදී මිය ගියාය.

ඒ වන විටත් සම්රාට අයි. එස්‌. ත්‍රස්‌තයන්ගේ ම්ලේච්ඡත්වය එපාවී තිබිණ. ඇයට නැවතත් තමන්ගේ රටට යන්නට උවමනා වී තිබිණ. එනිසා සම්රා රක්‌කා නගරයෙන් පැන යන්නට උත්සාහ කළාය. අයි. එස්‌. සංවිධානයෙන් පැන යන්නට තැත් කළ වරදට ඇගේ සහෝදර අයි.එස්‌. සෙබළුන් විසින් ඇයව පහර දී මරා දමන ලදී.

සම්රා සහ සබීනාගේ කතාව අයි.එස්‌. ත්‍රස්‌තවාදයේ ඩිජිටල් ප්‍රචාරණයේ ගොදුරු බවට පත් වූ දහස්‌ ගණන් බටහිර තරුණ තරුණියන්ගේ සත්‍ය කතන්දර අතර එක්‌ කතාවක්‌ පමණකි.

ලෝකයම එකම ඉස්‌ලාමික රාජ්‍යයක්‌ කිරීමේ අරමුණින් අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීන් ගෙනයන සටන තුළදී අයි.එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් යොදා ගන්නා ප්‍රබල අවියක්‌ වනුයේ ඔවුන්ගේ ප්‍රචාරක ක්‍රියාවලියයි. ඉතා ඉක්‌මනින් හා පහසුවෙන් විශාල පිරිසකට තොරතුරු සම්ප්‍රේෂණය කළ හැකි මාධ්‍යයක්‌ ලෙසින් අයි. එස්‌. සංවිධානය තෝරාගෙන ඇත්තේ සමාජ ජාල වෙබ් අඩවි සහ අන්තර්ජාල වීඩියෝ පටයි.

මේ සමාජජාලා වෙබ් අඩවි හා යූ ටියුබ් වීඩියෝ හරහා අයි. එස්‌. ත්‍රස්‌තයන් විසින් ගෙන යන ආක්‍රමණය මේ වන විට ඔවුන්ගේ අතිශය සාර්ථක මෙන්ම ප්‍රබල අවියක්‌ බවට පත් වෙමින් පවතියි.

නව යොවුන් තරුණ තරුණියන්ගේ ජනප්‍රියතම මාධ්‍යය ෆෙස්‌බුක්‌, ට්‌විටර් වැනි සමාජජාල මාධ්‍ය වන නිසා ඔවුන්ගේ මනස්‌වලට ළං වීමට හොඳම මාර්ගය ඇත්තේ ඒ හරහාය. එසේම යම් මතවාදයකට පහසුවෙන් නම්මා ගත හැක්‌කේ අත්දැකීම් අඩු මේ තරුණ පරපුරේ නැවුම් මනස්‌ය. එනිසා මේ සමාජජාල වෙබ් අඩවි ඔස්‌සේ තරුණ තරුණියන්ගේ මනස්‌වලට තම සංවිධානයේ අරමුණු කා වැද්දවීමට අයි. එස්‌. ත්‍රස්‌තයෝ කටයුතු කරති.

මේ ප්‍රචාරක කටයුත්ත ඔවුන්ගේ අන්තර්ජාල යුද්ධයයි. ඒ යුද්ධයෙන් ඔවුන් දැනටමත් විසල් ජයග්‍රහණයන් අත්පත් කොට ගෙන ඇත.

වර්තමානයේ මේ සමාජජාලා වෙබ් අඩවි වලින් කරන ලද ප්‍රචාරක යුද්ධයේ ප්‍රතිඵල ලෙසින් බටහිර රටවල තරුණ තරුණියන් සිය දහස්‌ ගණනක්‌ තම ආගම් අත්හැර ඉස්‌ලාම් ආගම වැළඳගෙන තම මව්පියන් නෑ හිතවතුන් පමණක්‌ නොව උපන් මව්බිමද අත්හැර ඉස්‌ලාමික රාජ්‍යයක්‌ වෙනුවෙන් සටන් වදින්නට අයි. එස්‌. සංවිධානය වෙත එක්‌වෙමින් සිටිති.

මෙසේ අයි. එස්‌. සංවිධානය වෙත බැඳෙන්නට තම රට අත්හැර සිරියාවට පලා යන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වෙමින් පවතින බව ඒ ඒ රටවල බලධාරීහු පවසති.

ආචාර්ය රොබින් ටොරෝකෝ අන්තර්ජාල ආරක්‌ෂාව සම්බන්ධ විශේෂඥ වරියකි. 2010 වසරේදී ඇය විසින් කළ සමීක්‌ෂණ වාර්තාවකට අනුව මෙසේ තරුණ තරුණියන් අයි. එස්‌. සංවිධානයට බඳවා ගන්නටම ෆෙස්‌බුක්‌, ට්‌විටර් වැනි සමාජජාල වෙබ් අඩවිවල රැඳී සිටින මේ පිළිබඳ මනා දැනුමක්‌ හා දක්‌ෂකමක්‌ ඇති අයි. එස්‌. ත්‍රස්‌තයෝ සිටිති. මේ ත්‍රස්‌තයින්ට නියමව ඇති රාජකාරිය වනුයේද මෙම සමාජජාල වෙබ් අඩවිවල රැදී සිටිමින්, ඒවායේ සැරිසරණ තරුණ තරුණියන්ව අධ්‍යයනය කරමින් ඔවුන්ව තම සංවිධානය වෙත බිලී බා ගැනීමය. නිරතුරුවම ෆෙස්‌බුක්‌ වැනි සමාජජාල වෙබ් අඩවිවල සැරි සරමින් කාලය ගෙවන මේ ත්‍රස්‌තයෝ මේවායේ ඉන්නා ළාබාල යොවුන් සාමාජිකයන්ගේ හැසිරීම් ගැන අවධානයෙන් සිටිති. එසේ ඉලක්‌ක කොට ගන්නා තරුණ තරුණියන්ගේ මානසික තත්ත්වයන් හා අවශ්‍යතාවන් තේරුම් ගනිති. එසේ තේරුම් ගනිමින් ඒවාට ගැළපෙන ලෙසින් ඔවුන් සමඟ කතාබහට යොමු වෙති.

මේ ත්‍රස්‌තයන් වැඩිපුරම ඉලක්‌ක කොට ගන්නේ අවුරුදු විස්‌සට අඩු තරුණ තරුණියන්ය. එයින්ද ඔවුන්ගේ පහසු ගොදුරු බවට පත් වන්නේ ළාබාල තරුණියන්ය.

මේ ආකාරයෙන් පසුගිය වසර තුළදී ඇමරිකාවෙන් පමණක්‌ තරුණ තරුණියන් සියයකට අධික සංඛ්‍යාවක්‌ අයි. එස්‌. සංවිධානයට බඳවාගෙන ඇත. උපතින්ම ඉස්‌ලාම් ආගම අදහන පිරිසට වඩා මෙම උගුලට හසුවන්නෝ වෙනත් ආගමක සිට ඉස්‌ලාම් ආගම වැළඳගෙන අලුතින් ජිහාඩ්වාදීන් බවට පත් වෙන යෞවනයෝය. තම අලුත් ආගම ගැන ඔවුන්ගේ කුතුහලය හා භක්‌තිය වැඩිය. වැරදි මාර්ගයකට ඔවුන්ව යොමු කරවීමට පහසුය. ඒ නිසා ඔවුන්ව ජිහාඩ් සටන දෙසට මෙහෙයවීම පහසුය. ලොව පුරා සිටින මුස්‌ලිමුන්ට දැනට වඩා හොඳ පරිසරයක්‌ නිර්මාණය කරන්නටත්, දෙවියන්ගේ නීතිය වන ශාරියා නීතියට අවනත පාලනයක්‌ සෑම රටකටම ගෙන එන්නටත් සටන් කිරීම තමන් හට දෙවියන්ගෙන් පැවරුණු වගකීමක්‌ බව ඔවුන් හට ඒත්තුගැන්වීම පහසුය.

ඒ හැරුණු කොට අයි. එස්‌. සංවිධානයට එක්‌ වන අයට ලබා දෙන්නේ යෑයි මේ ෆෙස්‌බුක්‌ අයි. එස්‌ නියෝජිතයන් පොරොන්දු වන ප්‍රතිලාභද රැසක්‌ ඇත.

-ඒ ගොල්ලො පොරොන්දු වුණා අයි. එස්‌. සංවිධානයට එන හැමෝටම ත්‍රාසජනක අත්දැකීම් ගොඩක්‌ එක්‌ක හොඳ අපූරු සංචාරයක්‌ ඒ ගොල්ලො ගානෙ දෙනව කියලා. ඒක අල්ලා දෙවියන්ට සේවය කරන්න එන අයට ලැබෙන එක තෑග්ගක්‌ විතරයි. විදුලියට, වතුරවලට කිසිම අයකිරීමක්‌ නැති, ගෙවල් කුලී නැති හොඳ ගෙදරක්‌, හොඳම වර්ගවල ඇඳුම් පැලදුම්, සබන්, ශැම්පු, සුවද විලවුන් හැම දේම නොමිලේ දෙනවා. තනි පාවිච්චියට හොඳ වාහනේකුත් දෙනවා. ඒ ඔක්‌කොමත් දීලා ලොකු පඩියකුත් දෙනවා කියල පොරොන්දු වුණා. 2013 වසරේදී අයි. එස්‌. සංවිධානයට බැඳෙන්නට ස්‌කොට්‌ලන්තය අත්හැර දමා පලා ගියද ඉන් පසු අයි. එස්‌. සංවිධානය එපා වී ජීවිතයත් මරණයත් අතර සටනක්‌ කොට නැවත බ්‍රිතාන්‍යයට පලා ආ අක්‌සා මොහොමඩ් නම් දහනව වියෑති තරුණයා මාධ්‍යයට පවසා තිබිණ.

යූ ටියුබ් වෙබ් අඩවිය තුළ ඇති අයි. එස්‌. සංවිධානයේ ම්ලේච්ඡ ක්‍රියා අඩංගු වීඩියෝ පටද අයි. එස්‌. සංවිධානය කෙරේ තරුණ ප්‍රජාව ආකර්ෂණය කරගන්නට ලොකු බලපෑමක්‌ සිදු කරයි. ඉතා ඉහළ තාක්‌ෂණයක්‌ භාවිතා කරමින් සැකසූ මේ වීඩියෝ තරුණ මනසට ඇති කරන බලපෑම සුලුපටු නොවේ. පසුබිමින් ගැයෙන ආගමික යාතිකා සමඟ විරුද්ධවාදීන්ගේ බෙලි කැපීම්, එක පෙළට තබා වෙඩි තැබීම්, පණපිටින් ගිනි තැබීම් වැනි අති ම්ලේච්ඡ දර්ශන මේ වීඩියෝවල පෙන්වන්නේ අයි. එස්‌. ත්‍රස්‌තයින්ට වීරත්වයක්‌ ආරෝපණය කරමිනි. එවන් වීරත්වයක්‌ තමන් වෙතද ලබා ගන්නටත්, අන්තර්ජාලය හරහා ක්‌ෂණික ජනප්‍රියතාවක්‌ ලබා ගන්නටත් කැමැත්තෙන්ම මේ සංවිධානවලට බැඳෙන තරුණයෝද සිටිති.

සිරියාව, ඉරාකය, තුර්කිය වැනි රටවල සිට මෙසේ අන්තර්ජාලය හරහා තම සංවිධානයට සාමාජිකයන් එකතු කරගන්නට කටයුතු කරන අයි. එස්‌. ත්‍රස්‌ත සාමාජිකයන් කිහිපදෙනකු ගැනම තොරතුරු Fඊෂ සතුව ඇති මුත් මේ ක්‍රියාවලිය නවත්වන්නට ඒ රටවල බලධාරීන් හට කළ හැකි දෙයක්‌ද නැති ගානය. අයි. එස්‌. සංවිධානයේ අන්තර්ජාල දඩයම අද ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, කැනඩාව වැනි රටවලට පමණක්‌ නොව ඉන්දියාව, ශ්‍රී ලංකාව, වැනි ආසියාතික රටවලටද තර්ජනයක්‌ වෙමින් පවතියි.

මේ වන විට ශ්‍රී ලාංකික සමාජය තුළින්ද අයි. එස්‌. සංවිධානයට බැඳෙන්නන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර එයට සමාජජාල තුළින් ඇතිවෙන බලපෑමද සුලුපටු නොවේ. හැම පාසලකම, හැම විශ්වවිද්‍යාලයකම වගේම හැම සමාජ ස්‌ථරයකම වැඩිහිටියන්ට විශාල වගකීමක්‌ තියෙනවා මේ මිනීමරු ත්‍රස්‌තවාදීන් අපේ තරුණ දරුවන්ගේ ඔළුවලට විෂ පුරවන එකෙන් දරුවන්ව බේරාගන්න පෙරමුණ ගන්න එක. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේය. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, වැනි බටහිර රටවල දෙමාපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට මෙන්ම ශ්‍රී ලාංකික වැඩිහිටියන්ටද ඒ ප්‍රකාශය වැඳගත්ය. පරිගණක තිරය මැදින් ගෙට එන අයි. එස්‌. ත්‍රස්‌තවාදී ආක්‍රමණය දැනටමත් ඔබේ දරුවාගේ අසලටද පැමිණ සිටිය හැකි බැවිනි.

නිම්මි මුදිතා හේරත්

 ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන්ගේ Facebook මෙහෙයුම්

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

Related posts

මහා සංඝරත්නයේ ඉල්ලීමට හිස නමා විමල් ආහාර වර්ජනය අතහරී !

colombotoday

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

කාදිනල් තුමන් මුණගැසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැරසෙති

colombotoday

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

colombotoday

ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday