Colombo Today Local News

විල්පත්තු සංහාරය ගැන ජනපති ගත් දැඩි තීන්දුව මෙන්න !

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලූම වන බිම් ද ඇතුළත්වන ආකාරයට වනජීවි කලාපයක් ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලූ වනාන්තර නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩ මුදල හා සිර දඬුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.

මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශව එල්ලකරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වන ජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්, පරිසර සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනමාධ්‍යවේදින් ද මෙම නිරික්ෂණ කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙහිදී නිලධාරින් ජනාධිපතිතුමා වෙත පෙන්වා දුන්නේ විල්පත්තුව අභයභූමිය තුළ කිසිදු පරිසර විනාශයක් සිදුනොවන බවයි. ඇතැම් ජනමාධ්‍ය සහ පරිසර සංවිධාන පෙන්වා දෙන සිදුවීම් විලපත්තුව අභය භූමි කලාපයෙන් පිටත ප්‍රදේශවල සිදු වූ සිදුවීම් බවත් එම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ පසුගිය රජයේ පාලන සමයට අයත් 2007 වර්ෂයේ දී බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

එම ප්‍රදේශවල වුවද නීති විරෝධි අන්දමින් වන විනාශයන් සිදුකරනවා නම් ඊට එරෙහිව නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අලූතෙන් ඉඩම් වෙන් කිරීමේදී වනාන්තර ප්‍රදේශවලින් දුරස් වූ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමටත්, එම ඉඩම් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

මන්නාරම, මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු වූ කැලෑ කැපීමකට අදාළව සිදු කළ වැටලීමකදී බැකෝ යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් ද සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට පසුගියදා කටයුතු කළ බවද නිළධාරින් පෙන්වා දුන්හ.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, තිරසර සංවර්ධන හා වන ජීවි අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, අතිරේක ලේකම් එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල අමරරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

ජනපතිවරණයට දින 55 යි. ගැසට් නිවේදනය මෙම මස අගදී

colombotoday

බුදුපිළිමයක් පොළොවේ ගසා කුඩු කළ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

“මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වානම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ”- නිලන්ත ජයවර්ධන

colombotoday

තායිවානයේ බැංකු සොරකමක් මාට්ටුයි.. ජනපතිවරණ “හංසයා” පක්ෂයේ සභාපති අත්අඩංගුවට !

colombotoday

දළදා මාලිගාවටත් ඉහළින් යන පල්ලියක් හදන්න ගිය අයට මල්වතු අනු නාහිමි කීව දේ – සම්පූර්ණ වීඩියෝව

colombotoday