Colombo Today Local News

යුද බිය තුරන් කර සාමය කැන්දූ සේනාධිනායකයා අද 71 සමරයි !

mahindaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබේ.

ඒ නිමිත්තේ හිටපු ජනාධිපතිවරයාට ආශිර්වාද පතා අද දිනය පුරාම දිවයින පුරා ස්ථාන කිහිපයකම පින්කම් රැසක් සංවිධානය කර තිබේ.


මේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් තැබෙන සටහනකි.

ජීවිතය ඇරඹෙන්නේ 40 දී යැයි කතාවක් තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ජීවිතය ඇරඹුවේ ඔහු 24 හැවිරිදි වියේදීය. අද සිය 70 වැනි ජන්ම දිනය සමරන මහින්ද රාජපක්ෂ සිය දේශපාලන ජීවිතය ඇරඹුවේ බහ තෝරන වියේ සිට සිය පියාවූ පසුකලෙක වැඩබලන ඉඩම් ඇමැතිවරයාද වශයෙන් කටයුතු කළ ඩී. ඒ. රාජපක්ෂ සමගය.

සිරිමා බණ්ඩාරනායක රජය මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1972 ඉදිරිපත් කිරීමේදී එම යෝජනාව පිළිබඳ මුල් යෝජනාව 1970 ජූලි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂය. වර්තමාන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේද ඔහුය. පාර්ලිමේන්තු ඉතිහාසයේ ළාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූයේ හම්බන්තොටින් 1947 දී පත්වූ 21 හැවිරිදි ලක්ෂ්මන් රාජපක්ෂ, නිකවැරටියෙන් 1956 දී පත්වූ 22 හැවිරිදි මුදියන්සේ තෙන්නකෝන්, හේවාහැටින් 1977 දී පත්වූ 22 හැවිරිදි අනුර ඩැනියෙල්ය.

මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කිසිදු තීරණාත්මක අවස්ථාවකදී ඔහු චිත්ත ධෛර්යය අහිමිකර නොගැනීමය. බාධාවන්හිදී අපේක්ෂා සුන්කර නොගැනීමය. ඔහුගේ ජීවිතය යනු රිද්මයකි. ජීවිතයේ ගලා බැස්ම දියඇල්ලකට සමානය. ගලා බසින්නේ විටෙක සැඩවය. තවත් විටෙක අහිංසකවය. සමහර විට නිහඬවය. විටෙක ප්‍රචණ්ඩවය. එහෙත් රිද්මයානුකූලවය. එමෙන්ම එය මී වදයක් සේ ඉමිහිරිද නැත. කොහොඹ දලු සේ තිත්තද නැත.

හැටේ දශකයේ නාලන්දාවේ විදුහල්පති වශයෙන් සේවය කළ ලියුම්කරුගේ පියාවූ ගුණපාල වික්‍රමරත්න සමග නාලන්දාවේ ආදි සිසුවෙකු වූ මහින්ද රාජපක්ෂගේ සම්බන්ධය පසුකලෙක සිදුවිය. ඉනික්බිති අසූව සහ අනූව දශකයන්හි මාධ්‍යවේදියකු වශයෙන් මහින්ද රාජපක්ෂ සමග කටයුතු කිරීම පිළිබඳව ලියුම්කරුට ඇත්තේ අසිරිමත් මතකයකි. භගවත් ගීතාවේ සඳහන් කළ පරිදි ඔහු වැඩකළේ ඉන් ලබන ප්‍රතිඵලය බලා නොවේ. ඔහු තමන් තේරුම් ගත්තේය. තම සතුරා තේරුම් ගත්තේය. සටන් දහසක් කර ජයග්‍රහණ දහසක්ද ලබා ගත්තේය. එහෙත් ඔහුට මිතුරු වෙසින් සිටි සතුරන් හඳුනා ගැනීමට නොහැකි විය. ගුරු මුෂ්ටිකයෙක් නොවන නිසා මූසිලයන් බවට පත්වූ ගෝලයින් පිළිබඳව කම්පාවක්ද ඔහුට නොමැත. පැරණි කියමනකට අනුව සංසාරය නමැති විෂ ගසේ මිහිරි ගෙඩි දෙකකි. ඉන් එකක් කියමන්වල රස විඳීමය. අනෙක හොඳ මිනිසුන් සමග ඇසුරය.

රජයේ සේවකයකුට වසරකට වැඩ කිරීමට තිබෙන්නේ දින 365 කි. ඉන් රජයේ නිවාඩු දින සහ සෙනසුරාදා, ඉරිදා අතහැරි විට ඉතිරි වන්නේ දින 261 කි. එයින්ද දින 42 අනුමත නිවාඩු ඇත. එවිට හැම රජයේ සේවකයෙකුටම වැඩ කළ යුත්තේ දින 219කි. ඒ අනුව වැඩ කළ යුත්තේ සියයට 60 කි. සියයට 40 ක් නිවාඩුය. ලෝක බැංකු උපදේශය වූයේ රාජ්‍ය සේවය රටට බරක් බැවින් එය කප්පාදු කළ යුතු බවය.

අලුතින් බඳවා නොගත යුතු බවය. එහෙත් අලුයම ලූ කෙළ පිඬක් මෙන් මහින්ද එම උපදෙස් බැහැරලීය. ලක්ෂ 7 රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 13 කින් ඉහළ නැංවීය. රැකියා විරහිත උපාධිධාරියකු බෙහෙතකටත් සොයා ගැනීම අසීරු විය.
ලංකාවේ සම්පත් බහුල බවද ජනතාව බුද්ධිමත් බවද මහින්දගේ දැක්ම විය. රාජ්‍ය සේවය පුළුල්වූයේ ජනතාවට වඩා ගුණාත්මක සේවයක් ලබාදීමටය. එහෙත් දැන් යළිත් රැකියා විරහිත උපාධිධාරින් 35,000 කට ආසන්න ප්‍රමාණයක් සත්‍යග්‍රහ, පිකට්, පෙළපාළි යති. මුල්වරට 1971 දී නිකුත් වූ ආයතන සංග්‍රහය ප්‍රතිව්‍යුහාත්මක වෙනසක් කිරීමට මහින්ද සමත් වූයේ නම් මැදි ආදායම් රටකට ගැළපෙන පරිදි රටේ සංවර්ධන අපේක්ෂාවන් තවත් ඉහළින්ම ඔප් නැංවීමට ඉඩ තිබිණි.

ඔහු රටේ සංවර්ධනයට සෑම කොටසක්ම එක්කර ගත්තේය. උඩරට හත්මාලුවද, මාතර ඇඹුල්තියල්ද, පුත්තලමේ බටු මෝජුවද, යාපනයේ එළුමස් වරුවල්ද, කැකිරාවේ කුරක්කන් පිටිද අනුභව කරන්නෝ එක පවුලක කොටස්කරුවන් බවට පත්වූහ. දෙමළ බෙදුම්වාදය සුනු විසුනු කළේය. තිස් වසරක යුද්ධයට තිත තැබුවේය. එහෙත් දෙමළ බෙදුම්වාදීන්ද ඔවුන්ගේ ගැත්තන් සහ ඉත්තන්ද, බටහිර අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන්ද එයට කැමැති වූයේ නැත. ඒ සිය ආයුධ ජාවාරමට තිත වැටී තිබූ නිසාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වීම ප්‍රතිගාමී බලවේගයන්ට දැනුණේ අසීමිත සතුටක් වූවාට සැක නැත. මහින්ද සිය විශිෂ්ටත්වය උදාකර ගත්තේ සිය ජීවිතයේ මැදියම් කාලයේදීය. අන්ධකාරය වනාහී අරුණෝදයේම කොටසකි.

කිසිවකුට රාත්‍රී මාවතේ ගමන් නොකොට අරුණෝදය කරා ගමන් කළ නොහැක. වසර 2005 දී දිළිඳුකමේ අනුපාතය සියයට 15.2 ක් විය. එය 2012 වසරේදී සියයට 6.5 ක් දක්වා අඩුවිය. විරැකියා අනුපාතය 2005 වසරේදී සියයට 7.2 ක් විය. එය 2012 වසරේදී සියයට 4 දක්වා පසුබැසීය. වතුකරයේ දුප්පත්කම් වසර 2005 දී සියයට 32 ක් වූ අතර එය 2012 සියයට 6.2 දක්වා අඩුවිය. මේවා මහින්දගේ නායකත්වයෙන් රටට හිමි වූ ප්‍රතිලාභයන්ය. දුෂණ පිළිබඳව කන්දක් මෙන් මහින්දගේ පාලනයට එරෙහි නැගුණු චෝදනා හිස් ප්‍රලාපයන් බවට පත්වෙමින් පවතී. යහපාලනය යසපාලනයක් බවට පත්වී ඇත. දැන් මණ්ඩලේ කචල්ය. තෙවන කැලෑසියේ දරුවන් මෙන් මැති ඇමැතිවරුන්ද ගොඩින් නොව මඩින් බැස සටනේය. ‘මහත්තයෝ අපිට වැරදුනා‘ කියා මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසා ඇතැයි කියනු ලබන්නේද එබැවිනි. හිරු අවරගිරින් බැස යන බව සැබෑය. එහෙත් යළි හෙට උදේ පායනු ඇත්තේ නැගෙනහිරින්මය.

‘ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇතැයි‘ කීවේ ෆිදෙල් කැස්ත්‍රෝය. ඔහු මේ බව පැවසුවේ ලතින් ඇමෙරිකාවේ අතිශයින් දරුණු ආඥාදායක පාලකයාව සිටි බැටිස්ටාගේ මර්දන යාන්ත්‍රණයට බද්ධව පැවති මොන්කාඩා බැරක්කයට ප්‍රහාර එල්ල කළැයි විත්ති කූඩුවට නැංවූ අවස්ථාවේදීය. මහින්ද රාජපක්ෂටද එල්ල වූ චෝදනාවලින් ඉතිහාසය විසින් දැන් නිදොස් කරමින් සිටී. ස්වාධීන රූපවාහිනියේ රුපියල් දසලක්ෂ 101 ක් අපහරණය කළැයි පැවරූ නඩුව රුපියල් දසලක්ෂ 4 කට බැස ඇත. එය ඍන ගණනක් වුවද පුදුමයක් නැත. ඇතැම් වාමාංශිකයින්ගේ නවීන සමාජවාදයේ අලුත්ම පන්තිය ලෙස ධනේශ්වර ක්‍රමයේ අර්බුදය වෙනුවට දැන් පත්ව ඇත්තේ ඇවන්ට්ගාඞ් අර්බුදය වීම වාම ඉතිහාසයේම ඛේදවාචකයකි.

ලොව ප්‍රධාන නායකයින් දෙකොටසකි. එක් වර්ගයක් අයත්වන්නේ තමන් ගෙන ගිය වැඩ කොටස ඉවත්වීමෙන් පසුවද අනුප්‍රාප්තිකයන් ඒවා ක්‍රියාත්මක කරන්නන්ය. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා, මලයාසියාවේ මහතීර් මොහොමඞ් මෙන්ම මහින්ද රාජපක්ෂද එම ගණනයට අයත්ය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, නුවර අධිවේගී මාර්ගය, ග්‍රාමීය යටිතල පහසුකම් සකස්කිරීම වැනි මහින්දගේ සෑම ව්‍යාපෘතියක්ම අදටද වලංගුය. එම වැඩසටහන්හි නාමයන් වෙනස්වූවද ජහුටා කෝලම රඟදැක්වූවද අවසාන ප්‍රතිඵලය එකමය. බුදුන් වහන්සේගේ කියමනක් අනුව දිගුකාලීනව සැඟවිය නොහැකි 3 කි. ඒ ඉර, හඳ සහ සත්‍යය වේ. සත්‍යය තේරුම් ගෙන ඇති රට වැසියෝ අදටද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් බාධක සහ අභියෝගවලට මුහුණ දෙමින් පෙනී සිටින්නේ එබැවිනි. ‘මහින්ද මහත්තයාට ජයවේවා යැයි‘ කියමින් මහින්ද රාජපක්ෂ සැදූ අධිවේගී මාර්ගය ආරාධිත ප්‍රභූවරුන් ඉදිරියේ අම්මාවරුන් විසින් විවෘත කරන්නේ හිරේ විලංගුවේ වැටෙන බව නොදැන නොවේ. ඒ ඔබ අභිමානවත් මව්බිමේ අපරාජිත දේශපාලනඥයා බවට දැන් පත්වී තිබෙන බැවිනි.

අලුත් ජීවයකින් මහපොළොව ප්‍රබෝධවත් වන්නේ වැසි වැටෙන තරමටය. එවිට අලුත් පැළ ඉපදේ. කුඩා පැළ අතු රිකිලි දරා නැගී සිට මහා වෘක්ෂයක් බවට පත්වේ. මේ මහපොළොව අලුත් කළ යුතුමය. ඒ සඳහා තව තවත් වැසි ඇවැසිමය. අලුත් අනාගතයක පෙරවදන වන්නේද එයයි. ඒ සඳහා අභිමානවත් මව්බිමේ අපරාජිත දේශපාලනඥයා වශයෙන් පියවර දස දහසක් ඉදිරියට තබන්නට මහින්ද රාජපක්ෂට හැකියි. හැත්තෑ එක් විය සපුරන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රගතිශීලින්ගේ පැතුම එය වනු ඇත.

ධර්මන් වික්‍රමරත්න

Related posts

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහ රෑ ඇවිත් CIDයෙන් අරන් යයි !!

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6ක් දිවයිනට

colombotoday

“වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.. රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ”

colombotoday

මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක් අල්ලයි

Admin

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

මුදල් ඇමති “සර්“ටත් පොලිස්පතිගෙන් ඇමතුමක්.. නාමල් ගැනත් කියයි ! (Video)

colombotoday