Colombo Today Local News

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැනිව අලුත් සම්ප්‍රදායක් ඇති නොකරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා අගමැති රනිල් වික්‍රමසිංහ හා සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහත්වරුන්ට පාර්ලිමේන්තුවේදී ඊයේ (7දා) නියෝග කළේය.

ඉඩම් ඇමැතිවරයාගෙන් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ (එ.ජ.නි.ස.) අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේ අවස්ථාව අගමැතිවරයා විසින් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සේවා නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට පැවැරීමෙන් පසු විපක්‍ෂයෙන් මතුවූ විරෝධයත් සභාවේ නොසන්සුන්තාවත් මැද කතානායකවරයා එම නියෝගය කරමින්.

‘ස්ථාවර නියෝග අනුව කටයුතු කරගෙන යමු. සභාව ආපසු විහිළුවක් කරගන්න එපා’ යැයිද අවවාද කළේය.

දිවුලපිටිය ආසනයේ පවතින රජය සතු ඉඩම් ප්‍රමාණය කොපමණද එයින් ආයෝජන හා පදිංචිය සඳහා බදුදී හෝ පවරාදී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද යනාදී වශයෙන් ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයාගේ ප්‍රශ්නයෙන් සඳහන් විය.

එම ප්‍රශ්නය විමසීමට සුළු වේලාවකට පෙර ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක හා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා සිය ආසනය අසලට කැඳවූ අගමැතිවරයා කිසියම් උපදෙසක් ලබා දෙනු දක්නා ලදී. ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා අත තිබූ ලිපිගොනුවක්ද රැගෙන නියෝජ්‍ය ඇමැතිවරයා සිය ආසනයට ගියේය.
කතානායකවරයා ප්‍රශ්නය විමසන ලෙස ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයාට නියම කළේය. එම අවස්ථාවේ පිළිතුරු දීමට ඉඩම් ඇමැති ජෝන් අමරතුංග හෝ නියෝජ්‍ය ඇමැති ටී.බී. ඒකනායක හෝ සභාවේ නොසිටියේය. ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක පැවැසීය.

ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන්නේය. ‘ඉතිරි ඒවාට උත්තර පසුව දෙනවා… දිවුලපිටිය තනිකර විනාශකර තිබෙනවා. පස් හොරු ඉන්නවා’ යැයි පැවැසීමත් සමඟ විපක්‍ෂයේ විරෝධතාවක් මතුවිය. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු ආසනවලින් නැඟී සිට නියෝජ්‍ය ඇමැතිවරයාට විරෝධය දැක්වූහ.

  • අනුර කුමාර දිසානායක
    මේ ප්‍රශ්නය අසා තිබෙන්නේ ඉඩම් ඇමැතිගෙන් එතුමා නැතිනම් ඉඩම් නියෝජ්‍ය ඇමැතිට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගමැතිට පුළුවන්. නැත්නම් සභානායකට පුළුවන්. එහෙමත් නැතිනම් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකට පුළුවන්. සම්ප්‍රදාය එහෙමයි. මේ කොහෙවත් නැති නියෝජ්‍ය ඇමැති කෙනෙක් කොහොමද පිළිතුරු දෙන්නෙ. අලුත් සම්ප්‍රදායක් හදන්න එපා යැයි කීවේය.
  • සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල
    මේක කාලීන ප්‍රශ්නයක්. මන්ත්‍රිවරු හැටියට අපට ඇත්ත දැන ගන්න ඕනෑ. උත්තර දෙනවාට ඇයි බය?
  • අගමැති රනිල් වික්‍රමසිංහ
    ස්ථාවර නියෝග 27 යටතේ මට පුළුවන් පිළිතුරු දීම පවරන්න. මේ අවස්ථාවේ මා පිළිතුරු දීම රන්ජන් නියෝජ්‍ය ඇමැතිතුමාට බාර දුන්නා. යැයි ස්ථාවර නියෝග පුස්තකය උපුටා දක්වමින් පැවැසුවේය.

කොහේ තියෙන බලයක්ද ඒ. ස්ථාවර නියෝගවල එහෙම නැහැ. මේක අලුත් සම්ප්‍රදායක්. යැයි විපක්‍ෂ මන්ත්‍රින් ඝෝෂා කරන අතර රන්ජන් රාමනායක ඇමැතිවරයාද පස් කැපීම් ගැන හඬ නැඟීය.

  • කතානායක කරු ජයසූරිය
    හරි හරි ස්ථාවර නියෝග අනුව අපි කටයුතු කරමු. අලුත් සම්ප්‍රදායක් ඇති කරන්න ඕනෑ නැහැ.

කතානායකවරයාගේ එම ප්‍රකාශයත් සමඟ ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රිවරු මේස මතට තට්ටු කරමින් සතුට පළ කළහ.

  • සභානායක
    අලුත් සම්ප්‍රදායක් නොවේ. අගමැතිතුමාට පුළුවන් බලය පවරන්න.
  • අගමැති
    මට ඕනෑ ඇමැතිවරයකුට පවරන්න පුළුවන්.
  • සභානායක
    අගමැතිතුමාට බලය තියෙනවා පවරන්න.
  • කතානායක
    මම නියෝගයක් දුන්නා. ඒ අනුව කටයුතු කරන්න. මම මේ පුටුවේ ඉඳගෙන ඉන්නකල් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් කඩන්නෙ නැහැ. අගමැතිතුමා කරුණාකර ස්ථාවර නියෝග අනුව පිළිතුරු දෙන්න.
  • විපක්‍ෂ මන්ත්‍රි පිරිස් නැවතත් මේස මතට තට්ටු කරමින් ඝෝෂා කළ අතර සභානායකවරයා නැගී සිටියේය.
  • සභානායක
    අගමැතිතුමාට බලය තියෙනවා පවරන්න.
  • කතානායක
    ස්ථාවර නියෝග අනුව සභාවේ වැඩ කරන්නෙ කවුද? ආපසු මේ සභාව විහිළුවක් කර ගන්න එපා.
  • සභානායක
    ඔබතුමා පිළිගත්තෙ නැතත් කමක් නැහැ. හැබැයි අගමැතිතුමාට බලය තියෙනවා ප්‍රශ්නය පවරන්න.
  • කතානායක
    බලය තියෙනවා. නමුත් එතුමා පටන් ගත්තෙ ප්‍රශ්නයට උත්තර දෙන්න නොවේ. ඒකයි මම කියන්නේ. ඒ නිසා මමත් අපහසුතාවට පත්වෙනවා. මේ පුටුවේ ඉඳගෙන ඉන්න මා අපහසුතාවට පත් කරන්න එපා. ඇමැතිතුමා ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාට නියම කළේය.

  • ගයන්ත කරුණාතිලක
    මා උත්තර දෙනවා. රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිතුමා මට සහාය වෙනවා.

ඇමැතිතුමාගේ පිළිතුරෙන් පසු කතානායකවරයා අතුරු ප්‍රශ්න අසන ලෙස ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයාට පැවැසුවේය.

  • ඉන්දික අනුරුද්ධ
    ලිපියක් ඉදිරිපත් කරමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිතුමා එතුමාට උදව් කළ අයට කළුගල ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අවස්ථාවේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාද උස් හ¾ඩින් කතා කරන්නට පටන් ගත්තේය. සභාවම එකම ඝෝෂාවක් බවට පත්විය.

  • ඉන්දික අනුරුද්ධ
    මෙවැනි ලියුමක් දුන්නාද නැද්ද කියා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න.
  • රන්ජන් රාමනායක
    පස් කියුබ් 50 කට අවසර ලබාගෙන කියුබ් 61000ක් කපලා තියෙනවා.
  • ඉන්දික අනුරුද්ධ
    කළුගලක් ඉල්ලා ලියුමක් එල්.ආර්.සී. එකට දුන්නාද?
  • රංජිත් සොයිසා (එ.ජ.නි.ස.)
    අසභ්‍ය වචන නියෝජ්‍ය ඇමැතිතුමා ප්‍රකාශ කළා. හැන්සාඩ් වාර්තාවෙන් ඒවා ඉවත් කරන්න.
  • කතානායක
    එවැනි වචන පාවිච්චි කරන්න එපා. ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියෝග කරනවා.

දයා පෙරේරා – ජේ.ටී. ද සිල්වා
– මව්බිම

Related posts

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

colombotoday

“කංසා වගාවට ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිදුවන්නේ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Admin

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

Admin

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

ETCA හොදයි.. සුපිරියි.. කියන ප්‍රචාරක මෙහෙයුම සජිත්ට භාරදෙයි !

colombotoday

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday