Colombo Today Local News

බිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ශ්‍රීලනිප මහ ලේකම්ට එරෙහිව ජනිපෙ අල්ලස් කොමිසමට යයි

duminda dissanayake
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයෙන් ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ ගනුදෙනුවෙන් ලැබුණු කෝටි ගණන් මුදලක් කෘෂිකර්ම අමාත්‍ය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මැයි 01 වැනිදා ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිය සඳහා වැයකර ඇතැයි චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (28දා) පැමිණිල්ලක් බාර දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ දූෂිත ගනුදෙනුවෙන් ලැබුණු කෝටි සංඛ්‍යාත මුදල කෘෂිකර්ම අමාත්‍ය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මැයි 01 වැනිදා ගාල්ලේ පැවැත්වෙන ‘රූකඩ නාඩගම’ සඳහා වැයකර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ ද පැවසීය.

‘‘අපි අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමසම ඉදිරියට ආවේ මේ යහපාලන ආණ්ඩුවේ නිරුවත හෙළි කරන තවත් මහා පට්ටපල් හොරකමක් හෙළිදරව් කරන්න. කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී සිදු වූ රාජ්‍ය මුදල් අවභාවිත වීම පිළිබඳව අපි අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු කාරක සභා ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම හා අතිරේක කාර්යාල ඉඩකඩ ලබා ගැනීම සඳහා දැනට පවතින කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල පවරා ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශයට සෙත්සිරිපාය නව කාර්යාල සංකීර්ණයෙන් ඉඩ පහසුකම් ලබා දීමටත් පසුගියදා අග‍්‍රාමාත්‍යවරයා කැබිනට් පත‍්‍රකාවක් ඉදිරිපත් කර තිබුණා. නමුත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අදහස වී තිබුණේ සෙත්සිරිපායේ තම අමාත්‍යාංශයට ප‍්‍රමාණවත් ඉඩකඩක් නොමති බවයි. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා ‘රාජගිරිය, කෝට්ටේ, ශ‍්‍රී ජයවර්ධනපුර පාර, අංක 288’ යන ස්ථානය අමාත්‍යාංශය සඳහා තෝරාගෙන තිබුණා. එම ගොඩනැගිල්ල වර්ග අඩි එක්ලක්‍ෂ තුන්දහසකින් (1,03,000.00) සමන්විතයි. මෙම ගොඩනැගිල්ල තෝරා ගෙන තිබුණේ තරගකාරී මිල ගණන් කැඳවීමකින් නොවෙයි. රජයේ තක්සෙරුකරුගේ තක්සේරුව වන්නේ මාසිකව වර්ග අඩියක් සඳහා රුපියල් 150යි. නමුත් මෙම ගොඩනැගිල්ලේ හිමිකරු වන සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුර්ෂයා වන උපාලි ජයසිංහ මහතා විසින් කුලිය වශයෙන් ඉල්ලා සිටිනවා වර්ග අඩියකට රුපියල් 167.50කුත්, වර්ග අඩියකට සේවා ගාස්තුව වශයෙන් රුපියල් 60-50කුත්. ඒ නිසා දුමින්ද දිසානායක මහතා, උපාලි ජයසිංහ මහතාට මේ ගොඩනැගිල්ලේ වර්ග අඩියක් සඳහා මාසිකව රුපියල් 228ක් ගෙවීමට එකග වී තිබෙනවා.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් නියෝජ්‍ය විගණකාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට 2016-03-14 දාතම සහිත ලිපියක් යවා තිබෙනවා. ‘මෙය කිසිසෙත්ම සුදුසු නැති ගනුදෙනුවක්. බත්තරමුල්ල ප‍්‍රදේශයේ හෙක්ටයාරයක පමණ ඉඩමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව තිබෙනවා. එම භූමියේ අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් සෑදීමේ හැකියාවක් තිබෙනවා. අමාත්‍යාංශයේ සේවකයන් 300ක් සිටියදී වර්ග අඩි එක්ලක්‍ෂ තුන්දාහක අතිවිශාල ගොඩනැගිල්ල කුලියට ගැනීම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.’ මෙහිදී රජයේ තක්සේරුකරුගේ තක්සේරුව නොතකා හැර තිබෙනවා. මෙම ගනුදෙනුවේදී රජයේ මුදල් බරපතළ ලෙස අවභාවිතයට ලක් වෙනවා’ යන්න එම ලිපියෙහි සඳහන්.

ඉහත කී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ලිපිය නොතකා හැරලා තමයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මෙම ගොඩනැගිල්ල වර්ග අඩියක් රුපියල් 228ක මාසික කුලියට බලා ගන්නේ. ඒ අනුව මේ ගොඩනැගිල්ලට මාසික කුලිය වශයෙන් රුපියල් දෙකෝටි තිස්හත්ලක්ෂ අසූදහසක් ගෙවීමට එකග වී තිබෙනවා. නමුත් රජයේ තක්සේරුකරුගේ තක්සේරුව අනුව මෙම ගොඩනැගිල්ල කුලියට ගත්තානම් මාසික කුලිය වන්නේ රුපියල් එක්කෝටි පනස්හතරලක්‍ෂ පනස්දහසක් පමණ. ඒ අනුව මෙතැනදී දුමින්ද දිසානායක ඇමතිවරයා මාසිකව රුපියල් කෝටියකට ආසන්න මුදලක් ජනතාවට, රටට අහිමි කර තිබෙනවා.

විගණකාධිපතිවරයාගේ විගණන විමසුම අනුව වසරක් තුළ බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශය සතු හෙක්ටයාරයක භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තිබුණා. නමුත් එසේ නොකොට වසර 5ක කාලයකටයි උපාලි ජයසිංහ මහතාගේ මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ. ඒ විතරක් නොවෙයි ගොඩනැගිලි හිමිකරුගේ සියලූ කොන්දේසිවලට අමාත්‍යවරයා එකග වී තිබෙනවා. මොනවාද ඒ කොන්දේසි? වසර 02ක අත්තිකාරම් ඉල්ලනවා. ඒකත් දෙනවා. 2016 අපේ‍්‍රල් බදු කුලියක් ඉල්ලනවා. ඒකත් දෙනවා. ඒ විතරක් නොවෙයි අවුරුදු තුනකට පස්සේ මාසික කුලී මුදල 15%කින් වැඩිකර දෙන්න කියනවා. ඒකටත් එකග වෙනවා.

‘මාසයකට කෝටියක් වතුරේ යවයි!

2016 අපේ‍්‍රල් මාසයේ 08 වැනිදා වන විට වසර දෙකක මාසික කුලිය සියලූ බදු ද සමග රුපියල් පනස්හත් කෝටි හයලක්‍ෂ විසිඅටදහස් අටසියයක් ද (රු. 57,06,28,800.00) අපේ‍්‍රල් මාසයේ කුලිය වශයෙන් රුපියල් දෙකෝටි තිස්හත්ලක්‍ෂ හැත්තෑහයදහස් දෙසීයක් ද (රු 2,37,76,200.00) උපාලි ජයසිංහ මහතාට ගෙවලා අවසන්. නමුත් අමාත්‍යාංශය තවමත් අදාළ ස්ථානයට ගෙනවිත් නැහැ.

අපි අහනවා ‘දුමින්ද දිසානායක ඇමතිවරයා මේසා විශාල මුදලක් මොකටද ගත්තේ?’ කියලා. මේ අය බලයට ආවේ වංචාව, දූෂණය අල්ලස නැති කරන්න. විනිවිදභාවයකින් පාරිභූද්ධ ලෙස පාලනයක් ගෙන යන්න. ජනාධිපතිපවරයා පැවසුවේ ‘මම පොළොන්නරුවේ ඉදලා රට පාලනය කරනවා’ කියලයි. නමුත් එතුමාත් කොළඹ නිල නිවාස දෙකක් යා කරලා ‘තීන්ත ගාන්න’ රුපියල් මිලියන 260ක් වැය කළා. ඒ චාම් ජනාධිපතිවරයාගේ පක්‍ෂයේ මහලේකම්වරයා මාසයකට රටට රුපියල් කෝටියක් පාඩු කරමින් හදිසියේ මේ ගනුදෙනුව කළේ කුමකටද? මේ මුදල ගියේ කොතැනකටද?

අපි විශ්වාස කරනවා මැයි පළමුවැනිදා ගාල්ල සමනල ක‍්‍රීඩාංගණයේ පවත්වන රූකඩ නාඩගමට තමයි මේ මුදල වැය කරන්නේ කියලා. අපි කියනවා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහ දුමින්දු දිසානායක ඇමතිවරයාට මේවාට උත්තර දෙන්න කියලා. කෝ දැන් දූෂණ විරෝධී පෙරමුණවල්, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාර? නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයලා ඇයි නිහඩ? ගොඩනැගිල්ලක් කුලියට ගන්න කොට මෙහෙම හොරකම් කරනවා නම් මහා පරිමාණ ව්‍යාපෘතියක් කරන්න ලැබුණොත් මේ අය කොහොම හොරකම් කරයිද?

අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියගෙන් ඉල්ලා සිටිනවා, ‘මේ මහා මුදල් නාස්තිය හා දූෂණය පිළිබඳව පරික්‍ෂණයක් සිදු කරලා අදාළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්න. ඒ වගේම වහාම මේ දූෂිත ගනුදෙනුව නැවැත්වීමට පියවර ගන්න’ කියලා. ඒ වගේම අපි ජනතාවට කියනවා ‘මේකයි වික‍්‍රමසිංහ-සිරිසේන පාලනයේ සැබෑ ස්වරූපය. ඊට එරෙහිව වහාම නැගී සිටින්න’ කියලා’’

Related posts

තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්

Admin

කුඩු සලිඳු සහ හරක්කටා රඳවා සිටි CIDයේ කුටි ආශ්‍රීත වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

Admin

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

බැදුම්කර කොමිසම මලික් – කබීර්ගෙන් ප්‍රශ්න කරයි !

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin