Colombo Today Local News

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

jhuඑළඹෙන සැප්තැම්බර් 24 වනදින පැවැත්වෙන ජාතික හෙළ උරුමයේ 13 වන ජාතික මහා සමුළුව පිළිබඳව හා පවතින දේශපාලන තත්වය පිළබඳව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

එම අවස්ථාවට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් ජාතික හෙළ උරුමයේ වාර්ෂික මහසමුළුව මෙවර ගිහි පැවිදි දහස් ගණනකගේ සහභාගිත්වයෙන් හා “සැවොම දිනන මහ රටක් යන තේමාව යටතේ 2016 සැප්තැම්බර් 24 වන සෙනසුරාදා ප.ව. 02.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කර සිටිහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හැඩිගල්ලේ විමලසාර හිමිපාණන් වහන්සේ –

යුධ ජයග්‍රහණයෙන් පසුව එනම් 2010 වර්ෂයේදී පැවති ජනපතිවරණයෙන් පසුව අපේ රට පංචබල කේන්ද්‍රයක් බවට පත්වෙලා ආසියාවේ බලවත් රටක් බවට පත්වෙතැයි අපි අපේක්ෂා කළා. එනමුත් ඊට පසුව එළෙඹි වසර පහතුළදී ඒ අරමුණින් ඉවත්ව රට ක්‍රමයෙන් ඒකාධිපතිවාදය කරා ගමන් කරන බවක් අපට දැකගන්නට හැකිවුනා. රට පුරාම දූෂණය ඉහවහා ගියා. රට නිවැරදි මගම ගැනිමේ අරමුණින් අප විසින් වගකිව යුතු පාර්ශව සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවත් ඒ සෑම එකක්ම ප්‍රතිඵල රහිතව නිමාවුනා.

අපේ එකම බලාපොරොත්තුව අපේ මාතෘභූමිය බලවක් රටක් බවට පත්වනු දැකීමයි. මෙවර අපේ තේමාව ලෙස සැවොම දිනන මහ රටක් යන්න තෝරාගැනීමට හේතුවූයෙත් එයයි. අපේ රට මහ රටක් කරන්නට නම් රටේ දේශපාලන හා ආර්ථීක ස්ථාවර භාවය ශක්තිමත් කළ යුතුයි. යුද්ධයෙන් පසුව ලැබූ දේශපාලන ස්ථාවරත්වයත් සමඟම ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමට ස්වර්ණමය අවස්ථාවක් උදාවුනා. නමුත් එය එසේ කරන්නට අපොහොසත්වීම කණගාටුවට කරුණක්. දේශපාලන ස්ථාවරය ශක්තිමත් කරන්නට නම් විධායක ජනාධිපතිධූරය රටට හා ජනතාවට වගකියන ධූරයක් බවට පත්කර පවත්වාගෙන යා යුතු බව අපේ ස්ථාවරයයි. පසුගිය කාලයේ විවිධ වාමාංශික පක්ෂ විධායක ජනපතිධූරය අහෝසි කළයුතු බවට යෝජනා කළ මොහොතේ එය අධිකරණයට හා පාර්ලිමේන්තුවට වගකියන ධූරයක් බවට පත්කළ යුතුබව අපේ අදහස වුනා. මෑතකාලයේ සිදුවූ ව්‍යවස්ථා සංශෝධන තුලින් අපේ අදහස දිනවන්නට අපට හැකිවුනා. ඒ වගේම රටේ ආරක්ෂාව හා දේශපාලන ස්ථාවරභාවය රැකගන්න අප ජාතියක් ලෙස එකතුවිය යුතුයි.

ත්‍රස්ථවාදය නිමාවූ පසු යුද්ධය සඳහා වියදම් කළ සුවිශාල ධනස්කන්ධය රටේ සංවර්ධනයට යොදාගනීවී යැයි අපි විශ්වාස කළත් එය එලෙස සිදුවුනේ නෑ. කුමානූකූලව රට ණය බරින් මිරිකෙන රාජ්‍යයක් බවට පත්වුනා. ඒ නිසා රට සංවර්ධනය කරන දුරදක්නා වැඩපිළිවෙලක් අනුගමනය කරන්න අපි කැපවෙනවා.

අද වනවිට ඇමරිකාව හා යුරෝපයටත් ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි වැටෙමින් පවතිනවා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ මෑතක බෝම්බ පිපුරුනා. ඒවගේම පැරිස් අගනගරයත්, බ්‍රසල්ස් නගරයත් එම අනතුරට මුහුණ දුන්නා. එවැනි තත්වයක් තුළ යුරෝපයේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ නොමැති සාමකාමී වාතාවරණයක් අප රටේ දැන් පවතිනවා. එහෙත් ඇතැම් අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් මෙම සංහිදියාව වනසන්නට උත්සහ කරනවා.

අද වනවිට උතුරු නැගෙනහිර දෙපළාතේ ඇතැම් ජාතිවාදී කණ්ඩායම් තම ජාතිවාදී, අන්තවාදි අදහස් වපුරන්න උත්සහ කරන බවක් පෙනී යනවා. අපේ කැපවීමෙන් හා රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් දිනාගත් නිදහස රටේ සෑම කෙනෙකුටම සෑම තැනකම ආරක්ෂා විය යුතුයි. අද උතුරු නැගෙනහිර ප්‍රදේශවල බුදුපිළිමයක් හෝ බෞද්ධ විහාරස්ථානයක් වත් ඉදිකිරිමට නොහැකි තත්වයක් ඇතිවෙලා. 1964 වර්ෂයේදී පුලිය පාදෛ (කොටි මග) නමින් කොටි ත්‍රස්තවාදය ආරම්භවූ මොහොතේ එවකට රජය විසින් එම කණ්ඩායම් මැඩ පැවැත්වූවත් ඊට පසුව එම කණ්ඩායම් යලි සන්නද්ධවීමේ අක්මුල් පහළ වනවිටම ඒවා උදුරා දැමීමට ඒ කාල වකවානු වල පැවති රජයන් ක්‍රියා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස තිස්වසරක යුද්ධයකට මුහුණ දීමටඅපට සිදුවුනා. ඒ නිසා යලි අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් වලට තමන්ගේ අන්තවාදී අදහස් වැපරීමට ඉඩ තොදීමට රජය විසින් වගබලාගත යුතුයි.

මෙවැනි පරිසරයක් තුළ අපේ 13 වන පක්ෂ මහ සමුළුව එළඹෙන 24 වන දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ජාතික හෙළ උරුමය නව මගකට යොමුකරවන ඒ මහ සමුළුවට සහභාගීවන ලෙස අප සියළු දෙනාට විවෘත්තව ආරාධනා කර සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අගයන සෑම කෙනෙක්ම පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් පැවෙත්වෙතැයි බලාපොරොත්තු වෙනවා. එම මැතිවරණය පැවැත්වීම දිනෙන් දින කල්යාම සම්බන්ධයෙන් පලමුවෙන්ම අපගේ කණස්සල්ල ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. නව මැතිවරණ ක්‍රමය යටතේ මෙම මැතිවරණය පවත්වන්නට යාමේදී අතිශය ප්‍රායෝගික ගැටලු ගණනාවක් ඇතිවන බව අපට පෙනීයනවා.

මෙම නව මැතිවරණ ක්‍රමයට අනුව සිමා නීර්ණයේදී ඇතිවූ ගැටලු විසදීමට අශෝක පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටපු කොමිටිය විසින් 2016 මාර්තු 31 දින වනවිට සීමා නීර්ණ කටයුතු අවසන් කරන බව ප්‍රකාශ කර සිටියා. එදින වනවිට එම කටයුතු අවසන් නොවුනු පසු අගොස්තු 31 දින වනවිට අදාල කටයුතු අවසන් කරන බව දැනුවූවත් මේ වනවිටත් එම සීමා නිර්ණය කටයුතු අවසන් කර ඇත්තේ දිස්ත්‍රික්ක 16ක පමණක් බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. දැන් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා ඔක්තොම්බර් 31 දින වනවිට තම කටයුතු නිමා කරනවා කියලා. කොහොම වුනත් මේ ආකාරයෙන් මෙම පළාත් පාලන මැතිවරණය දිගින් දිගමටම කල්දැමීම රටේ දේශපාලන සෞඛ්‍යයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ඒතරම් හිතකර කටයුත්තක් නොවන බව ප්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම මේ වනවිට රටපුරා තිබෙන සියලුම පළාත් පාලන ආයතන විසුරුවා හැර තිබෙන නිසා ඒවායෙහි නිළධාරී පාලනයට යටත්වෙලා තියෙනවා. ඒ නිසා මේ වනවිට හදුනාගෙන ඇති තාක්ෂණික, නෛතික සහ සීමානිර්ණ ගැටලු කඩිනමින් විසදීමට පියවර ගතයුතුයි. එසේ නොකර මෙලෙස වරින් වර දින නියම කරමින් සිදුකරන ක්‍රියාදාමය අපට කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බවත් අප විසින් වැඩිදුරටත් අවධාරණය කරන්නට කැමතියි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී පළාත් පාලන මැතිවරණය පිළිබඳව පසුගිය දා සාකච්ඡාවක් කර තිබුණා. එම සාකච්ඡාවේ අවසානයේ එයට සහභාගි වූ උදය ගම්මන්පිල මහතා විසින් “මේ වසරේ දෙසැම්බර් 31ට පෙර මැතිවරණයක් පිළිබඳ තීරණයක් නොගත්තහොත් මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළ”යැයි මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් සඳහන් කළා. ඊට සුළු මොහොතකට පසුව ගම්මන්පිල මහතා විසින් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව මහින්ද දේශප්‍රිය මහතා විසින් නැවතත් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනවා අප දුටුවා. උදය ගම්මන්පිල මහතා මේ ආකාරයට චේතිය රජ්ජුරුවෝ වගේ දිගින් දිගටම බොරු කියමින් ජනතාව රැවටීම සිදුකරනවා. රටේ ඒකීයභාවය ගැනත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛතාවය ගැනත් මෙලෙසම ජනතාව රවටන බොරු ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළා. හැමදාම ඔහුට මේ විදිහට ජනතාව රැවටිය නොහැකි බව ප්‍රකාශ කළ යුතුයි.

අපේ විමලසාර හාමුදුරුවන් වහ්නසේ සිහිපත් කළා අපේ මෙවර තේමාව සැවොම දිනන මහරටක් කියලා. මහා රටක් කිව්වම හිතන්න පුළුවන් අපි මේ කියන්නේ භූමියෙන් විශාල රටක් ගැනයි කියලා. අපි භූමියෙන් ඉතා කුඩාරටක්. නමුත් මේ පුංචි රට ආර්ථික ශක්තිය අතින් ඔදවත්,තෙදවත්, බලවත් රටක් බවට පත්කරගන්න අපට පුළුවන්. සිංගප්පූරුව කියන්නේ භූමිය අතින් ඉතා කුඩා රටක්. නමුත් ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම තුලින් සිංගප්පූරුව කියන්නේ බලවත් මහා රටක් බව වර්තමානයේ ලෝකයේ අනෙකුත් සෑම රටක්ම පිළිගන්න කරුණක්.  ඒ වගේම කොරියාව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල් මේ ගැන අවබෝධ කරගෙන ආර්ථික ශක්තිය දියුණු කරගන්නා බවක් පෙනීයනවා. ඒ නිසා අපත් දේශපාලනිකව හා ආර්ථික ශක්තිය අතින් බලවත් රටක් ගොඩනැගීමට කටයුතු කළයුතුයි. දිනන්න බැහැයි කියපු ත්‍රස්තවාදය පරදන්න කැපවුනු අප යුධ ජයග්‍රහණයෙන් පසුව බලවත් ජාතියක් ගොඩනැගීමේ කාර්යයට අපගේ දායකත්වය ලබාදීමට තීරණය කළා. එහි ඉදිරි පියවරක් ආරම්භ කෙරෙන ලබන සැප්තැම්බර් 24 වෙනිදට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට පැමිණ සැවොම දිනන මහරටක් ගොඩනගන්නට අප සමග එක්වන්නැයි දේශමාමක සැමගෙන් ඉල්ලා සිටිනවා

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

colombotoday

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

සැර අඩු රසායනික පළිබෝධනාශක ගෙන්වන්න පෞද්ගලික සමාගම් කීපයකට නිර්දේශ දුන් බව ඇමති කියයි

colombotoday

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday