Colombo Today Local News

“අනුර දිසානායක අද ඇක්ට් කරන්නේ පොළේ මුදලාලිගේ කොල්ල‍ගෙ පාට් එක” – ජානිපෙ

jnp 3අද දේශමාමක දේශපාලනඥයන් සිරගත කරන FCID දඩයම සාධාරණීකරණය කරන එහි ප්‍රවර්ධන නිලධාරියා බවට ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද(05) පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

අද වන විට රට තුළ මහා භීෂණයක් ක්‍රියාත්මක වෙනවා. රටේ දේශමාමක නායකයන් සිරභාරයට ගන්නවා. 2015 ජනවාරි 08 වැනිදා මේ ආණ්ඩුව හදන්න 62 ලක්‍ෂයක් ජනතාව සිහින දකිමින් සිටියා. මහින්ද රාජපක්‍ෂ පාලනයට වඩා යහපත් පාලනයක් ගෙන ඒමේ සිහිනය ඒ අයට තිබුණා. ඒ සිහිනය වෙනුවෙන් ඒ අය ඡන්දය පාව්චිචි කළා. මාස 18ක් තුළ ඒ සිහිනය ඉතාමත් වේගයෙන් කඩා වැටිලා. අද ඒ 62 ලක්‍ෂයම මේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින තත්වයක් ඇති වෙලා තිබෙනවා.

මේ ආණ්ඩුව හදන්න කැපවුණු අලුත් පරපුර වැනි කලාකරුවෝ, සිවිල් සංවිධාන අද එයට එරෙහිව නැගී සිටිනවා, විවේචනය කරනවා. වැට් බදු ඉහළ දැමීමෙන් මුළු රටම පීඩාවට පත් වෙලා. අද රට පුරාම ව්‍යාපාරික ප්‍රජාව වැට් බද්දට එරෙහිව කඩ වහලා, පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. මේ අතරේ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ මේ දිනවල පැවැත්වෙන සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කියනවා ශ්‍රී ලංකාවේ යුද සමයේ පැවැති තත්වය සම්බන්ධයෙන් විදේශ විනිසුරන් සහිත යුද අපරාධ අධිකරණයක් පිහිටුවනවා. යුද අපරාධ අධිකරණය පිහිටුවීමට අදාළ ප්‍රතිපාදන ඒ රටේ ඉදිරියේදී ජනමතවිචාරණකින් සම්මත කරන නව ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා කියලා. හුසෙන් කුමාරයා කොහොමද ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාවට ඇතුළත් වන කරුණු ගැන, පැවැත්වීමට නියමිත ජනමතවිචාරණය ගැන කියන්නේ? හැබැයි අද හුසේන් කුමාරයා ඒ ගැන ලොව ඉදිරියේ කියමින් සිටිනවා. නමුත් ආණ්ඩුව ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ, ජනමතවිචාරණයක් පවත්වලා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර ගන්නවා කියලා. අද ආණ්ඩුව කරමින් ඉන්නේ ජනමතවිචාරණයක් ආවොත් ඒකට මුහුණ දීමට අවශ්‍ය අඩුමකුඩුම ටික ලෑස්ති කරන එක.

මේ රට බෞද්ධ සංස්කෘතියක් ඇතුළේ ඉදිරියට ආපු රටක්. ඒ බව නොතකා හරිමින් නව ව්‍යවස්ථාවක් සම්මතකර ගන්න ආවොත් ඒකට විරුද්ධව පාරට බහින පළමු කණ්ඩායම මේ රටේ මහා සංඝරත්නයයි. මහා සංඝරත්නය හිරේ දමන එක මේ ආණ්ඩුව දැනටමත් ආරම්භ කරලා තිබෙනවා අලි පැටවකු ළඟ තබා ගත්තා කියලා උඩුවේ ධම්මාලෝක හිමියන්ව අත්අඩංගුවට ගත්තා. එවැනි විවිධ චෝදනා යටතේ මහා සංඝරත්නය හිරේ දැමීම මේ ආණ්ඩුව කර ගෙන යනවා.

ඒ වගේම මෙවැනි ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මතකර ගැනීමේ ජනමතවිචාරණයක් ආවොත් ඊළඟට විරුද්ධවන පිරිස වන්නේ දේශමාමක දේශපාලනඥයන්. ඒ අය බොරු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමත් දැන් ඇරඹිලා තිබෙනවා. පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල, අපේ පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු දැනටමත් ඒ මර්දනයට ගොදුරුව තිබෙනවා. මේ ආකාරයට තමන් ගෙන ඒමට බලාපොරොත්තු වන ව්‍යවස්ථාවට එරෙහි වන මිනිසුන් ටික හිරේ දාලා ඉදිරියට යන ගමනක් මේ ආණ්ඩුව අද අරඹලා තිබෙනවා.

JVP:FCID ප්‍රවර්ධන නිලධාරී

මේ ආකාරයට රටට ජනතාවට එරෙහි ගමනක් යන්න යම් ආණ්ඩුවක් හදනවානම් ඒකට එදා පළමුවෙන්ම විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණ. පළමුවෙන්ම ඒ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කළේ, පාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්, සෝමවංශ අමරසිංහයන් වැනි නායකයන්ගේ කාලයන් තුළ ඒ දෙය සිදු වුණා. නමුත් අද ඒ දෙය සිදුවන්නේ නැහැ. අද සිදුවන්නේ කුමක්ද?

අද ජනතා විමුක්ති පෙරමුණ FCIDයේ ප්‍රවර්ධන නිලධාරියා බවට පත්වෙලා. දේශමාමක දේශපාලනඥයන් FCIDය විසින් අත්අඩංගුවට ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණ එය සාධාරණීකරණය කරමින් ප්‍රචාරක කටයුතුවල නිරත වෙනවා.

අපි දන්නවා, මහජන පොළවල්වල එළවළු විකුණනකොට මුදලාලි වෙනම ඉන්නවා. සහායට කොලුවෙක් කෑගහනවා. මෑ ලාබයි, මෑ ලාබයි කිලෝව 8යි කියලා. අද ජවිපෙ නායකයා. අනුර දිසානායක අර පොළේ කෑගහන කොල්ලගේ මට්ටමට පත්වෙලා තිබෙනවා. මෙයා අද FCIDය වෙනුවෙන් ඒ විදියට කඬේ යනවා.

රෝහණ විජේවීරයන්ගේ සමයේ ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන නායකයන් නැක්සලයිට් චෝදනා යටතේ සිරගත කරන විට ජවිපෙ ඊට එරෙහිව හඬ නැඟුවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන වෙලාවේ ඊට එරෙහිව හඬ නැඟුවා. එදා ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්සන්දනාත්මකව බලන විට අපට කියන්න තියෙන්නේ, අද ජනතා විමුක්ති පෙරමුණ ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, හරියටම ගහ මුලත් නැහැ, දෙල්කඳ පොළෙත් නැහැ කියලයි.

මේ තත්වය යටතේ මේ රටේ සියලු දේශමාමක බලවේග පෙරට එන්න ඕනෙ. මේ ආණ්ඩුවට ඡන්දය දුන් 62 ලක්‍ෂයක ජනතාවට දැන් එයට එරෙහි වෙමින් සිටිනවා. 58 ලක්‍ෂයක ජනතාව 2015 ජනවාරි 08 වැනිදාට පෙර සිටම මේ ආණ්ඩුවට එරෙහිව සිටිනවා. දැන් මේ සියලු ජනතාව එකුතවෙලා මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න සූදානම්. නමුත් මැතිවරණයක් ලබා දෙන්නේ නැහැ. විවිධ හේතු දමමින් මැතිවරණය කල් දමමින් සිටිනවා. බටහිර බලවේග හා දෙමළ ඩයස් පෝරාව විසින් මෙහෙයවන මේ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ජනතාව නුදුරේදීම පාරට බහීවි කියන විශ්වාසය අපට තිබෙනවා

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

ඇවන්ගාඞ් සභාපති ඇතුළු 13 කට එරෙහිව විශේෂ මහාධිකරණයේ නඩු පවරයි. ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ගොනු කළ නඩුව

colombotoday

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday

කොරෝනා ආසදිතව මිය ගිය බිලිදාගේ නඩුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වෙයි

colombotoday

මිය ගිය කැස්බෑවන්ගේ සිරුරුවල කොටස් විදේශ රටකට

colombotoday

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

colombotoday