Colombo Today Local News

දේශපාලනිකව පරද්දන්න බැරි මහින්දව හතුරු වෙඩි උණ්ඩයේ ගොදුරක් කරන්න හදනවා.. කැතයි, ලැජ්ජයි, නින්දිතයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව පැරදවීමට නොහැකි බව වටහා ගෙන සිටින වත්මන් පාලකයන් දැන් ඔහු සතුරු වෙඩි උණ්ඩයකට විවෘත කරවීමට සූදානම් වන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඊයේ (02) බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය,

“ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කැම්බල් පිටියට රාජ්‍ය බලය යොදවලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා ගෙනාපු සෙනගට වඩා කිරුළපනට ආපු සෙනග අතිවිශාල ලෙස වැඩියි, කියලා පොලිස් වාර්තාවලත් සදහන්ව තිබෙනවා. කිරුළපනට ජනතාව ආවේ ලංගම බස්වලින් නොමිලේ නොවෙයි. තමන්ගේ අතින් වියදම් කරගෙන, සල්ලි එකතු කරලා පෞද්ගලික බස්රථ අරගෙන.

බලවත්ම ත‍්‍රස්තවාදී සංවිධානයක් ජරාජයට පත් කළ ජනාධිපතිවරු අතුරින් අද ජීවතුන් අතර සිටින ලෝකයේ එකම හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ත‍්‍රස්තවාදය පරදවපු ජනාධිපතිවරයකුගේ ආරක්ෂාව, ත‍්‍රස්තවාදීන් හුරතල් කරපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සමග සන්සන්දනය කරන්න බැහැ. ඒක ඕනෑම මෝඩ, තකතීරුවකුට තේරෙන්න ඕනේ. ඔහු මේ රටේ ත‍්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දීපු කෙනා, සේනාධිනායකයා. ඔහු අපි සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාව සලසපු නායකයා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ඇමති කාලේ එතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙඩි නොවදින කාර් එකක් දුන්නා. එදා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාව මරාගෙන මැරෙන්න හදපු කොටියා කඩා පනින්න සැලසුම් කර තිබුණේ එතැනදී නොවෙයි. ඊට කලින් ඔහු සහාභාගී වූ උත්සවයකදීයි. එම උත්සවයට හිටපු ජනාධිපතිතුමා සහභාගී නොවුණත් තමන්ට හිමි ආරක්ෂාව එම උත්සවයට යොදා තිබුණා. එවැනි දැඩි ආරක්ෂාවක් උත්සව භූමියේ තිබුණු නිසා ඒ කොටි ත‍්‍රස්තවාදියාට තම උත්සාහය අත් හරින්න සිදු වෙනවා. ඒ නිසයි ඔහු වෙනත් ස්ථානයකදී ගොදුරට කඩා පනින්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා තමන්ගේ සහෝදර ඇමතිවරයාට සැලකුවේ එහෙමයි.

ඒ විදිහට තම සහෝදර ඇමතිවරුන්ගේ පමණක් නොවෙයි මුළු රටේම ජීවිතාරක්ෂාව සලසපු නායකයාට ආරක්ෂාව සලසන්න අද නිකම් කොස්තාපල්වරුන් පිරිසක් දීලා හරි යනවාද ? මහින්ද රාජපක්ෂ මැතිතුමා ළග හිටියේ යුද හමුදා කමාන්ඩෝ බලකායේ ප‍්‍රභූ ආරක්ෂාව පිළිබද විශේෂ පුහුණුව ලැබූ නිලධාරීන්. ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස යුද්ධය පැවැති කාලයේ සිට මේ දක්වා එතුමාගේ ජීවිතය ආරක්ෂා කළා. එහෙම ආරක්ෂාව සලසපු, ඒ රාජපකාරිය කරන්න දීර්ඝකාලීන හැකියාවක් තිබෙන ඒ පිරිස අද සිට ඉවත් කරලා.“ යැයි හෙතෙම සඳහන් කළේය.

“අපේ මැයි දිනයේ සාර්ථකත්වය දැකලා, වියරු වැටිලා එවැනි තුට්ටු දෙකේ ප‍්‍රතික‍්‍රියාවක් අද සිදුකරලා තිබෙනවා. අපි කියනවා අගමැතිතුමන්ට සහ ජනාධිපතිතුමන්ට ‘ කරුණාකරලා දේශපාලනයේ අවම සදාචාරයවත් රකින්න ’ කියලා. අවම සදාචාරය රකිනවා කියන්නේ කුමක්ද ? තමන්ගේ ප‍්‍රතිවාදියා වුණත් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත බේරපු නායකයාට නිසි ගෞරවය ලබාදීම. රනිල් වික‍්‍රමසිංහ යාපනයට ගිහිල්ලා, පොංගල් බත් කන්නේ, ජනාධිපතිවරයා හිටපු ගමන් මාසයකට දෙවතාවක් පමණ මහේෂ්වරන් මැතිනියත් මුණගැහිලා, ගෙයින් ගෙට ගිහිල්ලා දෙමළ ජනතාවගේ දුක සැප බලලා එන්නේ මේ නායකයා යුද්ධය අවසන් කරපු හින්දා.

දැන් මේ ජනාධිපතිතුමා ලොකුවට කියනවා ‘ හමුදා ආරක්ෂාව මටවත් නැහැ. මට තියෙන්නෙත් පොලිස් ආරක්ෂාව, අගමැතිතුමාට තියෙන්නෙත් පොලිස් ආරක්ෂාව’ කියලා. හරි මහත්වරුනි ඔබ දෙපළට පොලිස් ආරක්ෂාව නොවෙයි ග‍්‍රාමාරක්ෂක ආරක්ෂාව හෝ අරගෙන ජීවත් වෙන්න වටපිටාව හැදිලා තියෙන්නේ මේ නායකයා නිසයි. මේ දෙදෙනාට අද කිසිම තර්ජනයක් නැහැ. මේ දෙන්නා ග‍්‍රාමාරක්ෂක ආරක්ෂාව ලබා ගත්තත් අපි පුදුම වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය ඉවර වුණාට පස්සේ දෙමළ ජාතික සන්ධානය සමග දේශපාලන හවුල් හැදුවේ නැහැ. දෙමළ ඩයස්පෝරාව සමග යටිකූට්ටු වැඩ කෙරුවේ නැහැ. ඒ නිසා ඒ දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ට මේ නායකයා සමග තිබුණු වෛරය නැති වුණේ නැහැ. අදත් මේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සෙරෙප්පුවෙන් ගහන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පින්තූරයට. ඒ නිසා ඒ වෛරය තවමත් තිබෙනවා. අද මරාගෙන මැරෙන ඇදුම් කට්ටල රටේ යම් යම් තැන්වලින් හමුවෙනවා. එහෙම තියෙද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හමුදා ආරක්ෂාව ඉවත් කරලා පොලිස් කොස්තාපල්වරුන් පිරිසක් එවනවා.

මහින්ද රාජපක්ෂ මැතිතුමාව දේශපාලනිකව පරද්දන්න බැහැ කියලා පෙනෙන හින්දා දැන් හදන්නේ ඔහුව හතුරු වෙඩි උණ්ඩයකට විවෘත කරවීමටයි. ඒ පාපතර ක‍්‍රියාමාර්ගයයි මේ ගනිමින් සිටින්නේ. කිරුළපන මැයි රැලියේ සාර්ථකත්වය හමුවේ මේ නායකයන් එවැනි තැනකට අද ඇදවැටී තිබෙනවා. ‘ කැතයි, ලැජ්ජයි, නින්දිතයි ’ කියලයි අපට මේ තීරණය ගන්න අය ගැන කියන්න තියෙන්නේ. ‘අවම සදාචාරයක්වත් තිබෙනවා නම්, දේශපාලන භේදයකින් තොරව මේ රටේ සෑම කෙනෙකුටම ආරක්ෂාව සලසපු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රභූ ආරක්ෂාව සදහා සිටි කමාන්ඩෝ බලකායේ නිලධාරීන් ඉවත් කිරීමේ තීරණය අවලංගු කරන්න. ඔවුන් යළි හිටපු ජනාධිපතිතුමන්ගේ ආරක්ෂාව සදහා ලබා දෙන්න’ කියලා අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලනවා. ’’ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද? මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද?- ප්‍රසන්න රණවීර අසයි

colombotoday

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

colombotoday

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනය මෙතරම් අකාර්යක්ෂම ඇයි?

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

colombotoday