Colombo Today Local NewsHot News

පාඩු ලබන බව පෙන්වා ජාතික ගුවන් සේවය විකුණන් කෑමේ මෙහෙයුම මෙන්න !

අපේ රටේ ජාතික ධජය රැගෙන ලොව පුරා පියාසර කරන ශ්‍රීලන්කන් ගුවන් සේවය පුද්ගලීකරණයට මේ වන විට සියල්ල සූදානම්ය. ඒ සඳහා මුල් පියවරක්‌ ලෙස එම කටයුත්ත සාධාරණීකරණය කිරීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය පාඩු ලබන බවටත්, එය පවත්වාගෙන යා නොහැකි බවටත් දැඩි මතයක්‌ සමාජගත කෙරෙමින් පවතී.

නව ජනාධිපතිවරයෙක්‌ හා නව රජයක්‌ පත්වූයේ දැනට මාස පහළොවකට පමණ පෙරදීය. එම මාස පහළොව තිස්‌සේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් කිසිවක්‌ නොකළ රජය මෙසේ එක්‌වරම නින්දෙන් අවදි වූවාක්‌ මෙන් කෑගසන්නට පටන් ගත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවය පුද්ගලීකරණය සාධාරණීකරණය කරගැනීමට බව එම ගුවන් සේවයේ සේවක මතය වී තිබේ.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය මුළුමනින්ම විකුණා දැමීමට හෝ තවත් ජාත්‍යන්තර ගුවන් සේවාවක්‌ සමඟ ඒකාබද්ධ කිරීමට හෝ නියමිතය.

මේ අතර ශ්‍රීලන්කන් ගුවන් සේවය වසා දමා වෙනත් නමකින් යළිත් ආරම්භ කරන්නට යන බවටද රාවයක්‌ පවතී.

ශ්‍රීලන්කන් ගුවන් සේවය කොටස්‌ පහකට වෙන්කර කොටස්‌ වශයෙන් පුද්ගලීකරණය කරන බවටද පාඩු ලබන කොටස්‌ පමණක්‌ රජය යටතේ පවත්වා ගෙන යන බවටද සේවකයන් අතර දැඩි රාවයක්‌ පවතී. මේ යටතේ ගුවන් තොටුපල සේවා සැපයුම, ඉංජිනේරු, කේටරින්, ගුවන් සේවා පාසැල, ගුවන් ගමන් පවත්වාගෙන යැම ආදී ලෙස කොටස්‌ කීපයකට වෙන් කරන්නට යන බවද පැවසේ.

පසුගිය කාලයේ නවීනතම ගුවන් යානා රැසක්‌ මිලදී ගනිමින් ලොව හොඳම ගුවන් සේවා අතරට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවය එම යානා ද සහිතව මෙසේ විකුණා දැමීම යනු තවත් සමාගමකට මහා ධන නිධානයක්‌ ලබාදීමක්‌ බව ගුවන් සේවා ක්‌ෂේත්‍රයේ අදහසයි.

නව රජය බලයට පත්වූ අවස්‌ථාවේ නිසි පියවර ගෙන එය නිසි කළමනාකාරීත්වයකට ලබා දුන්නේ නම් ශ්‍රීලන්කන් ගුවන් සේවය මේ වන විට මීට වඩා යහපත් තත්වයකට පත්වන්නට ඉඩ තිබිණි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගාස්‌තු සෙසු ගුවන් සේවා හා සසඳන කල ඉතාම ඉහළය. ශ්‍රි ලංකාවේ සිට යුරෝපය ඇතුළු ගමනාන්ත රැසකට Rජු ගුවන් සේවා පවත්වන එකම ගුවන් සේවය එය බැවින් ඒ සඳහා අවස්‌ථාව තිබේ. එහෙත් ඉහළ ගාස්‌තුවක්‌ ගෙවා හෝ ශ්‍රීලන්කන් ගුවන් සේවාව භාවිත කරන්නට ශ්‍රී ලාංකිකයන් කැමැත්තක්‌ දක්‌වන්නේ එය අපේ රටේ අපේම ගුවන් සේවය නිසාය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා බොහෝ අවස්‌ථාවල මගීන්ගෙන් පිරී පවතී. මගීන් අඩු ප්‍රමාණයක්‌ ගමන් ගන්නා අවස්‌ථා ඉතාම අඩුය. මගීන්ගෙන් පිරී යන ගුවන් සේවාවක්‌ වැඩි මිලක්‌ අය කරද්දීත් පාඩු ලැබීම දැඩි ප්‍රශ්නකාරී තත්වයකි.

සත්‍ය වශයෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවය පාඩු ලැබුවේ කුමන හේතු මතද යන්න සොයා බලන විට මුලින්ම නැගෙන චෝදනාව වන්නේ වැඩි මිලට ගුවන් යානා මිලදී ගැනීමය .

ගුවන් යානා යනු ලෝකයේ ප්‍රසිද්ධියේ විකුණන දෙයක්‌ නිසා ගුවන් යානාවක සාමාන්‍ය මිල හා ශ්‍රීලන්කන් ගුවන් සේවය එම යානා මිලදී ගත් මිල පහසුවෙන් පරීක්‌ෂා කර රටට හෙළිදරව් කළ හැක. ලීසිං පහසුකම් මත මිලදී ගත්තේ නම් එම මිලද ජාත්‍යන්තර මිල හා සැසඳිය හැකිය.

එසේ නම් ඒ වැඩි මිලට මිලදී ගත්තේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වා වගකිව යුතු පිරිස්‌ වලට දඬුවම් කළ හැක. නව යානා මිලදී ගැනීමට මුලික හේතුව ලෙස කලින් සිටි පරිපාලනය සඳහන් කර තිබුණේa ඉන්ධන සඳහා යන වියදම අඩු වීමය.

එවකට ලෝක ඉන්ධන මිල බැරලයක්‌ ඩොලර් 140 ක්‌ තරම් ඉහළ මිලක්‌ තිබු නිසා එවකට ඉන්ධන ගැන අවධානය යොමු කිරීම සාධාරණය. එහෙත් නව රජය බලයට පත්වූ පසු ඉන්ධන මිල බැරලයක්‌ ඩොලර් 30 – 40 තරම් පහතට වැටෙද්දී ඉන්ධන වාසිය යනු ඉතාම අඩු අගයක්‌ නිසා නව රජයට මුලින්ම කළ යුතුව තිබුණේ අදාල නව ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීමය. ඒ වෙනුවට තරමක්‌ භාවිතා කළ ගුවන් යානා මිලදී ගෙන ඒවා මුළුමනින්ම අලුත්වැඩියා කළේ නම් ඒ සඳහා වැය වන්නේ නව ගුවන් යානා මිලදී ගන්නට ගිය මුදලෙන් තුනෙන් එකකි. එම මුදල වැය කර නව ගුවන් යානා වලින් සිදුකරන කාර්යයම කළ හැකිව තිබුණි. නව ගුවන් යානයක මිල ඩොලර් මිලියන 120 ක්‌ වන මුත් ටික කලක්‌ භාවිත කල එම වර්ගයේම යානා ඩොලර් මිලියන හතළිහකට මිලදී ගෙන ඩොලර් මිලියන පහක්‌ වැය කර ඒවා සියලුම නවීන පහසුකම් සහිතව මුළුමනින්ම නවීකරණය කරගන්නට අවස්‌ථාව තිබිණ. නව ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කළේ නම් ඒ සඳහා ගාස්‌තුව ලෙස ගෙවන්නට වන්නේ සුළු මුදලකි. එම මුදල බේරා ගන්නට ගොස්‌ මුළු ගුවන් සේවයම අනතුරේ හෙලන්නට නව පරිපාලකයන් කටයුතු කර තිබේ.

මේ තත්ත්වය නව පරිපාලකයන් දැන නොසිටියද ගුවන් සේවයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් දැන නොසිටි බව කිව නොහැක. එම නිසා මේ නිලධාරීන් ඊට වගකිවයුතු නම් ඔවුන්ට දඬුවම් කළ හැක. පසුගිය කාලය පුරා එහි සිටි නිලධාරීන් අදටද එලෙසම එම ගුවන් සේවයේම ඉහල නිලතල දරති. ගුවන් සේවයේ කෝප්පයේ සිට ඉහළම මිලදී ගැනීම් වලදී මහා පරිමාණ කොමිස්‌ ගැසීම් ගැන ඇති චෝදනා පරීක්‌ෂාවට ලක්‌කළ යුතුය.

හිටපු පාලකයන්ගේ ළඟම ඥාතීන්හට හා හිතවතුන් හට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉහළ තනතුරු පිරිනැමීම සාධාරණ බව අප කියන්නේ නැත. එහෙත් වත්මන් රජය එම තත්ත්වයෙන් මිදෙනු වෙනුවට යළිත් එම වරදම සිදු කරමින් ගුවන් සේවා ගැන කිසිදු දැනුමක්‌ නැති ආණ්‌ඩුවේ ප්‍රබලයන්ගේ පාසල් මිතුරකු සභාපතිවරයා ලෙස පත් කරන ලදී. එසේම තවත් ප්‍රධානම තනතුරක්‌ සඳහාද පත් කරන ලද්දේ එලෙසම ප්‍රබල අයගේ සමීපතම ඥාතියෙකි. ඔහු ගුවන් නියමුවෙකු වුවද එවැනි තනතුරකට ඔහුගේ සුදුසු බව ගැන ප්‍රශ්න තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවකයන් පවසන්නේ මෙය ලංගමයේ ප්‍රධානම තනතුරට බස්‌ රියදුරකු පත් කළ විට ඇතිවන තත්ත්වයටය. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධානම තනතුරකට පත්කර ඇති පුද්ගලයකුගේ වැටුප ලක්‌ෂ හතළිහක්‌ බව පැවසේ. සියලු දීමනා හා වරප්‍රසාද සහිතව එය රුපියල් ලක්‌ෂ හැටක්‌ බව කියති.මේ තරම් විශාල වැටුපක්‌ මොහුට ගෙවන්නට හේතුව ඔහුගේ ඇති ඥාති සබඳතා බව පැවසේ. මේ පුද්ගලයාට කළමනාකාරිත්වය සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක්‌ නොමැත. එසේම එවැනි ආයතනයක එවැනි අන්දමේ කිසිදු තනතුරක්‌ හෝ දරා නොමැත. ශ්‍රීලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තරව අයදුම්පත් කැඳවා මෙලෙස එවැනි සුදුසුකම් කිසිත් නැති තැනැත්තකු බඳවා ගැනීම පුදුමයට කරුණකි. ගුවන් සේවයේ මේ තරම් ගැටලු ඇතත් මේ වන විට මේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනාම නිවාඩුය. එක අයකු විදේශගතව සිටින අතර අනෙකා රටවටා සයිකල් සවාරියක යෙදෙන බව සඳහන්ය.

මේ වන විට ඉහළම පරිපාලනය අති විශාල වැටුප් ලබන බැවින් එය වසන් කරන්නට ඉහළ නිලධාරීන්ට වැටුප් ගෙවීම පුද්ගලික සමාගමකට පවරා ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් දැන් මතුව ඇති තත්ත්වය අනුව හයදහස්‌ අටසියයක්‌ පමණ වන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සමස්‌ත සේවක පිරිසේ රැකියා සුරක්‌ෂිත තාවය බරපතළ අවදානමකට ලක්‌ව තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා දැඩි වෙහෙසක්‌ ගනු ලබන්නේ කටාර් ගුවන් සේවයයි. වත්මන් රජය බලයට පත්ව දින ගණනාවකින් කටාර් පාලකයා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ අවස්‌ථාවේද ඔවුන් මේ සඳහා ඇති කැමැත්ත මෙරට පාලකයන් වෙත දැනුම්දී තිබේ.

කටාර් ගුවන් සේවය විසින් අපේ රටේ ජාතික ගුවන් සේවය මිලදී ගතහොත් ශ්‍රීලන්කන් ගුවන් සේවය ජාතික ගුවන් සේවාවක්‌ ලෙස ලොවපුරා සෑම රටකම ගුවන් තොටුපළවල හිමිකරගන්නා ගමන් අවස්‌ථා හිමිකරගන්නට කටාර් ගුවන් සේවයට හැකියාව ලැබේ. රටක ජාතික ගුවන් සේවාවක්‌ නොවන ආයතනයක්‌ ඒ සඳහා ඉල්ලුම් කරන විට ගෙවන්නට වන ඇති විශාල මුදල ඔවුන්ට ඉතිරි වනු ඇත. එසේම ඔවුන් දැනට බොහෝ රටවලට පවත්වා ගෙන යනු ලබන ගුවන් සේවාවන් වඩාත් පුළුල් කරන්නටද ඔවුන්ට මෙයින් අවස්‌ථාව හිමිවේ.

මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මගීන් අතර දැඩි ඉල්ලුමක්‌ තිබූ යුරෝපා ගමනාන්ත නවතා දමන්න්නට ශ්‍රීලන්කන් ගුවන් සේවය කටයුතු කරමින් සිටී. දැනටමත් රෝමය බලා ගමන් කරන සේවාවන් අත්හිටුවන බව ප්‍රකාශයට පත්කර ඇති අතර පැරිසිය (ප්‍රංශය) හා µ්‍රeන්ක්‌µර්ට්‌ (ජර්මනිය) සේවාවන් ඉදිරියේදී නවතා දමන්නට නියමිතය.

මේ සියලු ගමනාන්ත කටාර් ගුවන් සේවය ගුවන් ගමන් වාර පවත්වන ඒවා වන අතර එවිට ශ්‍රීලන්කන් ගුවන් සේවය නවත්වන ගමන් වාර සියල්ලේම වාසිය හිමිවන්නේ කටාර් ගුවන් සේවයටය.

ශ්‍රීලන්කන් ගුවන් සේවය විදෙස්‌ කළමනාකරණයක්‌ තුළ ලාභ ලැබිය හැකි බවට මිථ්‍යා මතයක්‌ මේ වන විට රට තුළ ඇතිකර තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය එමිරේට්‌ස්‌ කළමනාකරණය යටතේ ලාභ ලැබූ බවට ශ්‍රී ලාංකිකයන් තුළ ඇතිකර ඇති මිථ්‍යාව ඊට හොඳම උදාහරණයයි. එමිරේට්‌ස්‌ පාලනය තුළ ශ්‍රීලන්කන් ලාභ ලැබුවේ වසර දෙකකි. ඒ හා පසුබිම් කතාවද අපුරුය. එල්ටී.ටී.ඊ සංවිධානය කටුනායක ගුවන්තොටුපල වෙත එල්ලකළ ප්‍රහාරයෙන් විනාශ කළ ගුවන් යානා සඳහා වන්දි ලැබීම, ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව තිබු ගුවන් යානා විකුණා දමා එම ගුවන් යානා නැවත කුලියට ගැනීම තුළින් අදාළ ගුවන් යානා විකිණීමෙන් ලබාගත් මුදල ශේෂ පත්‍රයේ ලාභය ලෙස පෙන්වීම තුළින් අදාල ලාභය පෙන්වීමට කටයුතු කරන ලදී.

එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව තිබු ගුවන් සේවා සැපයුම් සමාගමක කොටස්‌ විකුණා ලබාගත් ලාභය ද මේ වසර දෙකක ලාභ ලැබීමට හේතුවිය.

අනිත් අතට ශ්‍රීලන්කන් ගුවන් සේවය හා ගිවිසුමට අනුව එමිරේට්‌ස්‌ කළමනාකාරිත්වය වසර දහයකට පමණක්‌ ඔවුන්ට හිමිවූ අතර ඔවුන් අවසන් වසරවල ලාභය පෙන්වුයේ ගිවිසුම දීර්ඝ කර ගැනීම සඳහාය. අදාළ ගිවිසුමේ අවසන් කාලයේ ලන්ඩන් සිට පැමිණෙන ගුවන් ආසන වෙන් කිරීමේ ප්‍රශ්නයක්‌ ඇති වුවද ඒ වන විට ගිවිසුම දීර්ඝ නොකරන්නට තීරණය කර තිබිණි. ආසන වෙන්කිරීමේ ප්‍රශ්නය සහ එහිදී ඇතැමුන් ක්‍රියාකළ ආකාරය රටකට කිසිදු ආකාරයකින් නොගැලපෙන බවද මෙහිදී පෙන්වාදිය යුතුය. එමිරේට්‌ස්‌ කළමනාකාරිත්වය විසින් ප්‍රහාර එල්ලවූ ගුවන් යානා වෙනුවට වෙනත් ගුවන් යානා මිලදී ගැනීම හැර අලුතින් ගුවන් යානා ශ්‍රීලන්කන් ගුවන් සේවයට මිලදී ගැනීම එමිරේට්‌ස්‌ පාලකයන් සිදු නොකළහ. එසේම එමිරේට්‌ස්‌ ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන විවධ මෘදුකාංග හා පරිගණක පද්ධති ඉතාම ඉහල මිල ගණන් යටතේ ශ්‍රීලන්කන් ගුවන් සේවය මගින් මිලදී ගන්නා ලදී.

එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාභ ලැබූ යුරෝපය ඇතුළු ගුවන් ගමන් ගණනාවක්‌ නතර කර ඒවා සඳහා එමිරේට්‌ස්‌ ගුවන් සේවා යොදවන ලදී. එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවයට රටක නිල ගුවන් සේවය ලෙස ගුවන් තොටුපළවල ලැබෙන ගොඩබෑම් අවස්‌ථා හෙවත් ලෑන්ඩින් රයිට්‌ස්‌ එමිරේට්‌ස්‌ ගුවන් සේවාව විසින් හිමිකරගන්නා ලදී.

අනෙක්‌ අතට ශ්‍රීලන්කන් ගුවන් සේවය පිහිටවූ දිනයේ සිටම ඒ සඳහා වාර්ෂිකව රජය විසින් මුදල් ලබාදෙන ලදී. එය එක්‌සත් ජාතික පක්‌ෂ රජයන් මෙන්ම පොදුපෙරමුණු හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයන් යටතේද සිදු කරන ලදී. ඒ අනුව දැනට තරම් නැතත් ජාතික ගුවන් සේවය වසර කීපයක්‌ හැරුණු විට මුල සිටම පැවතියේ රජයෙන් මුදල් වෙන්කර පවත්වාගෙන යන තත්ත්වයකය. එය ලාභ ලැබුවේ වසර දෙකතුනක්‌ පමණි.

පසුගිය වසරවල ශ්‍රීලන්කන් ගුවන් සේවය පාඩු ලැබූ කාලය ලොව ඉහලම ඉන්ධන මිල පැවති කාලය බවද අප මතක තබාගත යුතුය.

දැන් ලොව අඩුම ඉන්ධන මිලක්‌ පවතින මේ කාලයේ ගුවන් සේවයේ ලාභය ඉහළ යායුතුව තිබේ.

එමිරේට්‌ස්‌ පාලන සමයේ මෙන් නොව මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව එමෙන් දෙගුණයක්‌ ගුවන් යානා තිබේ. එම නව යානා මිලදී ගැනීමේ තීරණය වැරදි වුවද එදා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තිබු පැරණි ගු=වන් යානා වෙනුවට දැන් නවීනතම ගුවන්යානා තිබේ. ඒවා බොහොමයක්‌ වසර කීපයක්‌ පමණක්‌ පැරණි ඒaවාය. එම නිසා සේවකයන් හා ගුවන් සේවා අංශවල ප්‍රවීණයන් පවසන්නේ නිසි කළමනාකාරිත්වයක්‌ යටතේ පවත්වා ගෙන ගියහොත් 2018 වසර වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාභ ලැබිය හැකි බවය.

එමනිසා ශ්‍රීලන්කන් ගුවන් සේවය පාඩු බවට මතයක්‌ සාදා එය විදෙස්‌ රටකට විකුණන්නට යැම බරපතල අපරාධයකි.

අනෙක්‌ අතට එය ලොව පුරා ගොස්‌ රටට ගෙනෙන සංචාරකයන් නිසා රටට ඇතිවන වාසිය හා රටේ ජාතික ගුවන් සේවයක ඇති වැදගත්කම පාලකයන් නැවත සිතා බැලිය යුතුය.

අනෙක්‌ අතට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවක සංඛ්‍යාව එහි සිටිය යුතු සේවක සංඛ්‍යාවට වඩා වැඩි බව පැවසේ. එහෙත් ගුවන් ගමන් සඳහා අත්‍යවශ්‍ය වන ගුවන් නියමුවන්, ගුවන් යානා කාර්ය මණ්‌ඩලය, ඉංජිනේරුවන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිඟය. එහෙත් ගුවන් ගමන් සඳහා අත්‍යවශ්‍ය නොවන සේවකයන් අවශ්‍ය ප්‍රමාණය මෙන් කීප ගුණයක්‌ සිටිති. පසුගිය කාලයේ අනවශ්‍ය බඳවා ගැනීම් බොහොමයක්‌ සිදුව තිබේ. ඇතැම් නිලධාරීන්ගේ හිතවතුන්, හිතවතියන්, පෙම්වතියන් පමණක්‌ නොව වෙනත් අවශ්‍යතා සඳහාද බඳවා ගැනීම් සිදුකර තිබේ. එහෙත් සේවකයන් වැඩි බවට දිගින් දිගටම පවසන වර්තමාන පාලකයන්ද තවමත් දිගින් දිගටම සේවකයන් බඳවා ගැනීම් සිදුකරති. එසේ කරමින් ගුවන් සේවය පාඩු ලබන බව පවසති.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අඩුපාඩු, වංචා දුෂණ සොයන්නට විශාල මුදලක්‌ වැයකර සකස්‌කරනු ලැබූ වැලිඅමුණ වාර්තාව හා ඒ මගින් යෝජනා කළ කිසිම දෙයක්‌ තවමත් නව පරිපාලනය විසින් සිදුකර නොමැත.

මේ වන විට නව පරිපාලනය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවකයන් හට පවසා ඇත්තේ ගුවන් සේවය පාඩු ලබන බැවින් මේ වසරේ වැටුප් වර්ධකය ලබා නොගන්නා ලෙසය. ගුවන් සේවයේ ඉහල කළමනාකාරිත්වය අනවශ්‍ය වියදම් රැසක්‌ සිදුකරමින් සේවකයන්ගෙන් මෙබඳු ඉල්ලීමක්‌ සිදුකිරීම දැඩි අසාධාරණයක්‌ බව පවසන සේවකයෝ එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරති.

අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ වර්තමානයේ ශ්‍රීලන්කන් ගුවන් සේවය පත්ව තිබෙන අවාසනාවන්ත තත්වයට හිටපු පාලකයන් මෙන්ම දැනට මාස පහළොවක්‌ පමණ තිස්‌සේ එය පාලනය කළ වර්තමාන පාලකයන්ද එක ලෙස වග කිවයුතු බවය. එබැවින් ආණ්‌ඩුවේ මේ පුද්ගලීකරණ තීරණය සම්බන්ධයෙන් යළිත් සිතා බලා රටෙත් ජාතියේත් මහා සම්පතක්‌ වන රටේ නිල ගුවන් සේවය රජය යටතේම තබාගෙන නිසි කළමනාකරණයක්‌ මගින් පාඩු නොලබන තත්ත්වයක පවත්වා ගෙනයාම රටේ අනාගතයට බෙහෙවින් හිතකර බවය. රටේ ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් පාලකයන් මීට වඩා දුරදිග සිතා කටයුතු කළ යුත්තේ ජනතාව ඔවුන්ට රටේ පරිපාලනය භාරදුන්නේ රටට තවත් දේ ලබාදීමට මිස රටේ ඇතිදේ විකුණගෙන කෑමට නොවන නිසාය.

ජනිත සෙනෙවිරත්න

Related posts

නව සීමානිර්ණ වාර්තාව අගමැතිට භාරදෙයි

Admin

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර නැහැ – අජිත් නිවාඩ් කබ්රාල්

colombotoday

ලංවිම සේවකයෝ 5800ක් ස්ථිර කරනවා – ඇමති සියබලාපිටිය

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

රුපියල බාල්දු වෙයි… ඓතිහාසික වාර්තාවක් තබමින් ඩොලරය නගී

colombotoday