ArticlesColombo Today Local News

“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

gomin d2

පෙඩරල් පාලන ක්‍රමයක්‌ ක්‍රියාත්මක කර ගැනීමට අපේ රටේ සමහර දේශපාලනඥයන් තුළ තිබෙන උවමනාව අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් වරින් වර මතුවී යළි සැඟවී නොනිවී පවතින්නකි. මෙය අපේ රටේ ජනතා අවශ්‍යතාවක්‌ නොව දේශපාලන උවමනාවක්‌ බව පවසන ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ යෝජනාවත් සමඟ යළි දේශපාලන ක්‌ෂේත්‍රයේ කතාබහ වන පෙඩරල් ක්‍රමය පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

පෙඩරල් පාලන ක්‍රමයක්‌ පිළිබඳ දේශපාලන ක්‌ෂේත්‍රයේ යළිත් කතාබහක්‌ ඇතිවී තිබෙනවා?

අද අපේ රටේ විදේශ ප්‍රතිපත්ති සකස්‌ කරන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතුන් විසිනුයි. ඔවුන් කටයුතු කරන්නේ මේ රටේ තිස්‌ වසරක්‌ පැවති යුද්ධය අවසන් කිරීමට අවහිර කළ පිරිස්‌ සහ ඉන්දියාව සමඟයි. මේ පිරිස්‌ සම්බන්ධ කරගෙන ඇත්තේ අපේ රටට කිසියම් ආර්ථික වාසියක්‌ ලබාගැනීමෙන් අරමුණින් යෑයි කවුරුන් හෝ විශ්වාස කරනවා නම් මා නම් දකින්නේ එය මිථ්‍යාවක්‌ ලෙසයි. වර්තමාන විදේශ ප්‍රතිපත්ති අනුව අපේ දීර්ඝකාලීන මිතුරන්ව සිටින රුසියාව සහ චීනය අපෙන් ඈත් කරමින් බටහිර හා ඉන්දියානු බලවේග හා එකතු වී අපේ මහා පරිමාණ වෙළෙඳපොළ වන මැදපෙරදිග අපට අහිමි කරමින් අනාගතයේ අපේ රට අසාර්ථක රාජ්‍යයක්‌ බවට පත්වීමේ පෙරනිමිති පෙනෙන්නට තිබෙනවා. අපේ රටේ පෙඩරල් පාලන ක්‍රමයක්‌ පිළිබඳ යළිත් කතාබහක්‌ ඇති වී තිබෙන්නේ මෙම පසුබිම තුළයි.

අපේ රටේ පෙඩරල් ක්‍රමයක්‌ ඇති කිරීමට සහාය වෙන්නැයි උතුරේ මහ ඇමැතිවරයාත් පසුගියදා ඉන්දියාවෙන් ප්‍රසිදAධියේ ඉල්ලීමක්‌ කළා?

විග්නේශ්වරන්, සම්බන්ධන් හා සුමන්දිරන් වැන්නවුනුත් අභිබවා පෙඩරල් ක්‍රමයක්‌ ඇති කිරීමට කෙළින්ම ඉන්දියාවෙන් සහාය ඉල්ලීම අනතුරු ඇඟවීමක්‌. අද ඉන්දියාව කටයුතු කරන්නේ ගිවිසුම් මාර්ගයෙන් අපි ඔවුන්ගේ යටත් විජිතයක්‌ ලෙස සලකමිනුයි. අපේ වෙළෙඳපොළ උදුරා ගනිමින් අපේ රට ඔවුන්ගේ තවත් ප්‍රාන්තයක්‌ බවට පත් කරගැනීමට කටයුතු කිරීම ඉතාමත් අවාසනාවන්ත දෙයක්‌. අපේ රටේ ජනතාව මේ පිළිබඳ අවබෝධයකින් පසුවිය යුතු බව මගේ අදහසයි.

ඉන්දියාවට ගැලපුණාට පෙඩරල් පාලන ක්‍රමයක්‌ අපේ රටට ගැලපෙයිද?

ඉන්දියාව විශාල භූමි ප්‍රදේශයකින් යුත් රටක්‌. මේ නිසා ඒකීය රටක්‌ ලෙස පැවතීමට ඉන්දියාවට අපහසුයි. බ්‍රිතාන්‍යය ඔවුන්ට පෙඩරල් ක්‍රමයක්‌ හඳුන්වා දුන්නේ ද ඒ නිසයි. විවිධ ජන කොටස්‌ ජීවත් වන කුඩා රටක්‌ වන අපට බ්‍රිතාන්‍යයන් ඒකීය රාජ්‍ය ක්‍රමයක්‌ හඳුන්වා දුන්නේ භූමි ප්‍රදේශය අනුවත් එය අපට වඩාත්ම ගැලපෙන රාජ්‍ය ක්‍රමයත් නිසයි. ඒකීය රාජ්‍ය ක්‍රමය අපේ රටට ඉතාමත්ම ගැලපෙන පාලන ක්‍රමය බව අද ඉතාමත් තහවුරුව පෙනෙන්නේ ත්‍රස්‌තවාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු නිදහස හා සාමය වඩාත්ම උදාවී ඇත්තේ දෙමළ ජනතාව වැඩිවශයෙන් ජීවත් වන උතුර හා නැගෙනහිර පළාත්වල වීමයි. තමන් කැමැති පක්‌ෂයකට ඡන්දය ප්‍රකාශ කරමින් නිදහසේ ජීවත්වීමට අද ඔවුන්ට අවකාශ ලැබී තිබේ. ඇත්තවශයෙන්ම ෆෙඩරල් ක්‍රමයක්‌ අවශ්‍ය වී තිබෙන්නේ උතුරේ හා නැගෙනහිර ජීවත්වන ජනතාවට නොවේ. දේශපාලනඥයන්ටය. ෆෙඩරල් ක්‍රමයක්‌ තුළින් මීට වඩා යහපත් තත්ත්වයක්‌ උදා වනු ඇතැයි මේ දේශපාලනඥයින් විසින් දෙමළ ජනතාව තුළ මිථ්‍යා විශ්වාසයක්‌ ගොඩනඟා තිබෙනවා. එය මිථ්‍යාවක්‌ බවත් පෙඩරල් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීම තුළින් අපේ රටේ ජාතික සමගිය බිඳවැටෙන බවත් දෙමළ ජනතාවට අවබෝධ කර දීම ආණ්‌ඩුවේ කාර්යභාරයක්‌.

එය එසේ වුවත් ආණ්‌ඩුව නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට පියවර ගනිමින් සිටින්නේ ඒ හරහා අපේ රටේ පෙඩරල් පාලන ක්‍රමයකට අවශ්‍ය ව්‍යවස්‌ථාමය බලයක්‌ ලබාදීමට බව ඇතැමුන් ප්‍රකාශ කරනවා?

නව ව්‍යවස්‌ථාවක්‌ ඇතිකිරීමට දරන ප්‍රයත්නය තුළ එබඳු අරමුණක්‌ ඇතැයි මගෙත් විශ්වාසයයි. නමුත් මේ ආණ්‌ඩුව තුළ අද ඇති අර්බුදකාරී තත්ත්වය මත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට ඔවුන්ට හැකියාවක්‌ ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ. අද ආණ්‌ඩු පක්‌ෂය තුළම සිටින විපක්‌ෂයේ කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත්ව යැමට සුදුසුම මොහොත එළඹෙන තෙක්‌ කල්මරමින් සිටී. එසේම ආණ්‌ඩු පක්‌ෂයේ සිටින සමහරුත් ඒ මොහොත උදාවන තෙක්‌ සිටින බව පෙනෙන්නට තිබේ. ඒ අනුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම වැනි බැරෑරුම් කාර්යයක්‌ සඳහා විශ්වසනීයත්වයකින් යුතුව යා යුතු ඉදිරි ගමනක්‌ මේ ආණ්‌ඩුව සතුව ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ. පසුගිය ආණ්‌ඩුවට මෙන්ම මේ ආණ්‌ඩුවටත් සතුරන් කවුද මිතුරන් කවුදැයි හරිහැටි අවබෝධ කරගෙන කටයුතු කිරීමට හැකියාවක්‌ ඇතැයි පෙනෙන්නට නෑ.

අපේ රටේ හමුදාවේ ශක්‌තිය සියයට තිහකින් අඩු කළ යුතු බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී කළ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක්‌ පසුගියදා මාධ්‍ය ඔස්‌සේ පළවුණා. එසේම විග්නේශ්වරන්, සම්බන්ධන්, සුමන්දිරන් වැන්නන් පෙඩරල් ක්‍රමයක්‌ පිළිබඳ වරින් වර කරන ප්‍රකාශ ජනතාව තුළ යම් කැළඹීමක්‌ ඇති කර තිබෙන බව පෙනෙනවා.

අපේ රටේ ත්‍රස්‌තවාදී යුද්ධය පැවති සමයේත් ඊට ආධාර උපකාර කළ දේශීය හා විදේශීය සියලූ කණ්‌ඩායම්වල උවමනාව වූයේත් මෙරට හමුදා ශක්‌තිය හීන කිරීමයි. මේ වනවිටත් අපේ රටේ හමුදාවේ පිරිස විවිධ අවස්‌ථාවලදී අඩුකර තිබෙනවා. තවදුරටත් හමුදාවේ ශක්‌තිය හීන කිරීමට කරන යෝජනා ජනතාව තුළ යම් යම් සැක සංකා ඇතිකිරීම සාධාරණයි. උතුරේත් දකුණේත් ඇතැම් දේශපාලනඥයන් කරන ප්‍රකාශ නිසා ත්‍රස්‌තවාදය පරාජය කළ අපේ රට තුළ යළිත් ත්‍රස්‌තවාදය හිස ඔසවාවිද යන සැකයක්‌ අද ජනතාව තුළ ඇතිවී තිබෙනවා.

සාකච්ඡා කළේ – පාලිත සේනානායක

Related posts

සැඟව සිටි පලස්තීනුවෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතුයි දේශපාලනය කළ යුතු නැහැ – ජනපති

colombotoday

පාර්ලිමේන්තු ගුටි කෙළියේ සංස්කරණය නොකල සජීවී දර්ශන මෙන්න (VIDEO)

colombotoday

රනිල් – මෝදි ගිවිසුමට අත්සන් තබයි.. ලංකාවේ ඉන්දියානු ක්‍රියාකාරකම් ගැන එකගතාවකට එයි !

colombotoday

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday

“පවතින අභියෝග ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන්” – ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

colombotoday