Colombo Today Local News

ලාංකික තරුණියන් ඕමාන් කෝටිපති ව්‍යාපාරිකයන්ට විකිණූ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

ශ්‍රී ලාංකික තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන ගොස් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු පෙරේදා (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

44 හැවිරිදි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නමැති මෙම පුද්ගලයා ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති අතර මොහු වත්තල සහ දෙහිවල පල්ලියදොර පාරේ පිහිටි නිවාස දෙකක කාන්තාවන් දෙදෙනෙකු සමග වාසය කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු කපිල කරුණාරත්න පවසයි.

මොහු අත්අඩංගුවට ගැනීමට කිහිප අවස්ථාවක ම මෙම ලිපිනයන්හි පිහිටි ඔහුගේ නිවෙස් වෙත ගිය ද, ඔහු ඒ වන විටත් විදේශගත වී සිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද කපිල කරුණාරත්න මහතා පවසයි.

මොහු විසින් කොළඹ – මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යනු ලබන විදේශ රැකියා නියෝජිත ආයතනයෙන් සහ තවත් රට පුරා පිහිටි විදේශ රැකියා ආයතන කිහිපයකින් මෙම කාන්තා මිනිස් ජාවාරම සඳහා ළාබාල තරුණියන් ඕමානය වෙත ගෙන්වා ගෙන තිබූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අබුඩාබි, ඩුබායි ඇතුළු තවත් මැදපෙරදිග රටවල නගර වෙත ගුවන් මගින් සංචාරක වීසා මත ගෙන්වා ගන්නා මෙම ශ්‍රී ලාංකික ළාබාල සුරූපී තරුණියන්, දේශසීමාව තරණය කරමින් බස් රථ මගින් ඕමානය වෙත ගෙන්වා ගෙන මෙම තරුණියන් රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ විසි පහ දක්වා මුදලකට ගණිකා වෘත්තියේ නියැළීමට සහ වෙනත් අකටයුතුකම් සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීම කර තිබේ.

මේ පිළිබඳව පැමිණිලි 8ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලැබී තිබූ අතර ඒ පිළිබඳව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව, මෙම ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් සිටින පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නියෝග කර තිබිණි.

මෙම විමර්ශනයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ද මේ පිළිබඳව ඕමානය වෙත ගොස් විමර්ශනයක් කරනු ලැබ තිබිණි. මේ වන විට අබුඩාබි, ඩුබායි සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුබද්ධිතව පවත්වාගෙන යන රැඳවුම් මධ්‍යස්ථානවල මෙම සිදුවීම්වලට ගොදුරු වූ තරුණියන් විශාල පිරිසක් රඳවා තබා ගෙන සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසුව මොහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ගොනු කිරීමටද බලාපොරොත්තු වන බව කපිල කරුණාරත්න මහතා වැඩිදුරට ත් පැවසීය.

මෙම ප්‍රධාන සැකකරු පෙරේදා අලුයම 12.55ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. – 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මොහු ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැමිණ භාර ගන්නා තෙක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය තුළ ආරක්ෂිතව රඳවා තැබීමට පියවර ගෙන තිබිණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු කපිල කරුණාරත්න මෙම සැකකරු මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රීමාල් අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී මෙම සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකාර මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් මෙම නොවැම්බර් මස 24 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මේ අතර, ඕමාන තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික නිලධාරීන්ට ද මේ ජාවාරම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වන අතර එක්තරා නිලධාරියෙකු කාන්තාවකට ලිංගික ක්‍රියාවක් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඔහුගේ සේවය තහනම් කොට ඔහු මෙරටට කැඳවීමට ද, විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

Related posts

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

Admin

සංචාරන සීමා මැද කොළඹට ඇතුළුවූ වාහන ගණන මෙන්න | 3,528 කට එන්න හේතුත් නෑ

colombotoday

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

පැකට් කළ ආහාරවලට පාලන මිලක් එයි

colombotoday

අද රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය !

colombotoday