Colombo Today Local News

ගල්කිස්ස පොලීසිය කළ පහරදීමකදී පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගල්කිස්ස පොලීසිය කළ පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඔහුගේ ඥාතීහූ චෝදනා කරති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වන විටත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

කළුබෝවිල පාසල් මාවතේ පදිංචි සුසන්ත දිසානායක නැමැති පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබේ.

කෙසේවෙතත් තමන්ට පොලීසිය පහරදුන් බව පවසමින් අදාළ පුද්ගලයා 21 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප්‍රතිකාර ලබා 25 වැනිදා යළි නිවසට පැමිණ තිබුණි.

අදාළ පුද්ගලයා 30වන දා අලුයම යළි රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඊයේ (31)දින උදෑසන ඔහු මිය ගොස් තිබේ.

පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවය.

දේහය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකෙරුණි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කර සිටියේ මෙවන් අදහසකි.

“ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් පසුගිය 18 වනදා පුද්ගලයෙක් ගංජා ග්‍රෑම් 50ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගනුලැබූ පුද්ගලයා පසුගිය 19 වනදා අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන්. ඒ අනුව ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට රුපියල් 10,000ක දඩයක් අධිකරණය විසින් නියම කර තිබෙනවා. එම දඩ මුදල ගෙවීමෙන් පසු ඔහු 19 වනදා අධිකරණයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වෙනවා. කෙසේවෙතත් මොහු නැවත පසුගිය මාර්තු 21 වන දින රෝහල් ගතවී තිබෙනවා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට. ඉන්පසුව ඔහු 25 වනදා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. නැවත පසුගිය 30වනදා අලුයම් කාලයේදී ඔහු රෝහල්ගත වී තිබෙනවා. ඉන්පසුව ඊයේ දින උදෑසන ඔහු මියගොස් තිබෙනවා. විශේෂයෙන්ම මේ පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ඔහුට ඇපදීමෙන් අනතුරුව දෙවරක් රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ උදෑසන මියගොස් තිබෙනවා. කෙසේවෙතත් මේ මරණය යම් අපරාධ ක්‍රීයාවකින් සිදුවුණාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් විමර්ශන සිදුකරනවා. ඊයේ දින ගල්කිස්ස ගරු මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම මෘත ශරීරය නිරීක්ෂණය කර තිබෙනවා. ඒ වගේම අද දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙම මරණයට හේතුව නිසැකවම අනාවරණය කරගැනීමට හැකියාවත් ලැබෙනවා. ඒ අනුව මේ මරණ යම් සාහසික සාපරාධී ක්‍රියාවකින් සිදුවී ඇති නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අයට එරෙහිව ක්‍රියා කිරීමට බලාපොත්තු වෙනවා. “

Related posts

මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනට

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

පොහොට්ටුවේ ඇමැති ධුර දහය ගන්න හතළිහක් පෝලිමේ

colombotoday

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday